Home » අමෙරිකා එක්සත් ජනපදයට සහ චීනයට සාර්ථක වීමට මිහිතලය ‘ප්‍රමාණවත්’

අමෙරිකා එක්සත් ජනපදයට සහ චීනයට සාර්ථක වීමට මිහිතලය ‘ප්‍රමාණවත්’

චීන නායකයා කියයි

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර වසරකට පසු මුහුණට මුහණලා පැවති ප්‍රථම හමුව සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට පිටතදී ඉකුත් බදාදා සිදු විය. ආසියා-ශාන්තිකර ආර්ථික සහයෝගිතා සමුළුවට සමගාමීව පැවති මෙම හමුව, දිගින් දිගටම වර්ධනය වන ආතතීන් මධ්‍යයේ ඉහළ මට්ටමේ සන්නිවේදනය වැඩි කිරීමට වොෂිංටනයට සහ බෙයිජිං පාලනයට ඇති අභිලාෂය පිළිබිඹු කරයි.

ලොව අංක එක සහ දෙක ආර්ථික අතර “තරගය ගැටුමකට නොයන බවට අපි සහතික විය යුතුයි,” බයිඩන් හමුව ආරම්භයේදීම පැවසීය. “දේශගුණික විපර්යාසයේ සිට මත්ද්‍රව්‍යවල උවදුර සහ කෘත්‍රිම බුද්ධිය දක්වා අපි මුහුණ දෙන තීරණාත්මක ගෝලීය අභියෝග, අපගේ ඒකාබද්ධ උත්සාහයන් ඉල්ලා සිටී.”

“චීනය සහ එක්සත් ජනපදය වැනි විශාල රටවල් දෙකක්, එකිනෙකාට පිටුපෑම විකල්පයක් නොවේ,” ෂී සිය ආරම්භක අදහස් දැක්වීමේදී පැවසීය. “දෙරටටම සාර්ථක වීමට මිහිතලය ප්‍රමාණවත් තරම් විශාලයි”, ඔහු කියා සිටියේ ය.

දෙරට අතර සුහදතාවේ සංඥා පසුගිය සති කිහිපය තුළ දක්නට ලැබිණ. චීන ජනාධිපතිවරයා හෙන්රි කිසින්ගර්, කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්, එලන් මස්ක් යනාදී පුද්ගලයන් සමඟ මෑතකදී සාකච්ඡා පැවැත්වී ය.

සැන් ෆ්‍රැන්සිස්කෝහි නායක හමුවට පැය කිහිපයකට පෙර, එක්සත් ජනපදය සහ චීනය දේශගුණික ගැටලු සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා ඔවුන්ගේ කැපවීම යළි තහවුරු කළේ ය. දෙරට අතර තවත් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ද එකඟතාව පළ විය.

බීජිං හි ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයකට අනුව, පසුගිය මාසයේ, චීන භාණ්ඩ ආනයනකරුවෝ එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදන තොග වශයෙන් මිලදී ගැනීම සඳහා 2017 පසු මුල්වරට ගිවිසුමකට අත්සන් කළහ.

ෂී 2017 වසරේ එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයාව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ සමාජ ශාලාවට ගිය පසු එක්සත් ජනපදයේ සිදු කළ පළමු චාරිකාව මෙයයි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division