Home » මෙවර අය වැයෙන් රටේ අනාගතය වෙනුවෙන් පියවර රැසක්

මෙවර අය වැයෙන් රටේ අනාගතය වෙනුවෙන් පියවර රැසක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

මේ අය වැය සම්පූර්ණයෙන් අතිශය සාර්ථක අය වැයක් නොවුණත් සියයට සියයක් බැහැර කිරීමට ද නොහැකි සාධනීය ලක්ෂණ ද මේ තුළ වෙයි. ඍණ අගයක පවතින ආර්ථිකයට ධන අගයක් කරා ගෙන යෑමට ආණ්ඩුව යම් පියවර කිහිපයක් ගෙන තිබුණත් එවැනි ආයෝජන සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් මෙවර අය වැය තුළ දක්නට නොලැබෙයි. මේ අය වැයෙන් මහජනතාවගේ සුබ සිද්ධියට සහ රටේ අනාගතය වෙනුවෙන් යම්කිසි සුබවාදී පියවර රැසක් ගෙන තිබෙයි. කෙසේ වුවත් සිරිමාවෝ බණ්ඩාරනායක පාලනයෙන් පසු ජේ. ආර්. ජයවර්ධන මහතා රට භාර ගැනීමෙන් පසු ඉදිරිපත් කරනු ලැබුවේ ද මේ හා සමාන අය වැයකි.

ජාතික ආදායමට සාපේක්ෂව අනුපාතයක් ලෙස අය වැය පරතරය 9.1%ක් වෙයි. මෙය මෑත ඉතිහාසයේ දක්නට ලැබුණු අය වැය අතර විශාලතම පරතරය දක්නට ලැබෙන අය වැයයි. ආදායම හා වියදම අතර පරතරය 33% ඉක්මවා තිබේ. ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ රොනී ද මැල් මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ අය වැයේ ද මේ ආකාර ආදායම හා වියදම අතර පරතරයක් දක්නට ලැබුණු නමුත් විදෙස් රටවල ආධාර උපකාර රජයට හිමි විය. එම අවස්ථාවේදී ජේ. ආර්. ජයවර්ධන පැවැසු ආකාරයට ආර්ථික විප්ලවයකින් එදා මෙරට ආර්ථිකයේ විශාල පිබිදීමක් ඇති විය. එසේ ජනපති රනිල් වික්‍රමසිංහයන් මෙදා ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් දක්වා ගෙන යෑමට සැලසුම් කිරීමක් ද යන්න සිතිය හැකිය. එහෙත් අපේක්ෂිත බදු ආදායම ලබා ගැනීමට නොහැකි වුවහොත් අයවැයෙන් පෙන්වා තිබෙන අය වැය පරතරය තවත් වැඩි වීම මෙහි බැරෑරුම් තත්ත්වයයි. මේ නිසා වියදම් හැකි සීමා කර ගනිමින් බදු ආදායම් බලාපොරොත්තු වන ආකාරයෙන් පවත්වා ගෙන යෑම මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය කරුණකි.

කෙසේවෙතත් ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය ආකාරයට මේ අය වැය අරමුණු සඳහා එල්ල කොට නොතිබීමක් පෙනේ. මහජනතාව සහ වෘත්තීය සමිති අපේක්ෂා කරන දෙයක් සහ ආණ්ඩුව අපේක්ෂා කරන දෙය යනුවෙන් වෙයි. වෘත්තීය සමිති රටේ මහජනතාව අපේක්ෂා කරන යෝජනා මෙහිදී ඉටුවී තිබේ ද යන දේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මහජනතාව, වෘත්තිය සමිති, පෞද්ගලික සේවකයන් බලාපොරොත්තු වෙන්නේ වැටුප් වැඩි කිරීම් භාණ්ඩ මිල අඩු කිරීම්ය. එසේ නොමැති නම් සහනදායී බඩු මලු, රෝගීන්ට කුඩා ළමයින්ට, ගර්භණීභාවයට පත් වූ අයට යම් සහනයක් ලැබේදැයි අපේක්ෂා කෙරෙයි. මෙවැනි යම් යම් සුබසාධන අපේක්ෂා කෙරෙයි. පොදුවේ මහජනතාවගේ අපේක්ෂාව එයයි. ආණ්ඩුව විසින් මේ අයවැයේදී බදු අය කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු බද්දක් ඉදිරිපත් නොවිණි. පෙර පනවන ලද බදු නීති රීති සහ ක්‍රමවේද හැර විශේෂයෙන් යමක් බදු සම්බන්ධයෙන් සඳහන් නොවිණි. අලුත් බදු හඳුන්වා නොදීම රාජ්‍ය සේවකයන්ට ලැබුණ සහනයකි. එසේම වක්‍ර බදු හඳුන්වා දීමක් නොවිණි. ඒ නිසා මෙය සහනශීලි තත්ත්වයකි.

රජය අය වැය දෙස බලන්නේ වෙනත් ආකාරයටයි. රටක් ලෙස ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් ගෙන ඒම ආණ්ඩුවේ වගකීමකි. රජයට අවශ්‍ය වන්නේ ආර්ථික පරිවර්තනයකි. දැනට ඇති පරිභෝජන මට්ටම තවදුරටත් පහත නොවැටී පවත්වා ගෙන යාමට යම් සහනයක් සහ සුබ සාධනයක් ලබා දීමයි. සංවර්ධනය පැත්තට අවධානය යොමු කිරීම ආණ්ඩුවේ එක් අපේක්ෂාවකි. මේ ආකාරයෙන් බැලුවහොත් රුපියල් 10,000කින් වැටුපට ජීවන වියදම් දීමනාවක් වැඩි කිරීම සිදු විය. මෙය රජය විසින් ඉතාම අසීරුවෙන් කරන ලද්දකි. විශ්‍රාම වැටුපට ජිවන වියදම් දීමනාවක් ලෙස 2500කින්ද වැඩි කරන ලදී. රාජ්‍ය සේවකයන් ලක්ෂ 6ක් පමණ වෙයි. විශ්‍රාමිකයන් ලක්ෂ 7ක් පමණ වෙයි. ඍණ ආර්ථික අගයක් තියෙන අවස්ථාවක මේ ජීවන වියදම් දීමනාව වැඩි කිරීම ඇගැයිය යුතු ක්‍රියාවකි. එසේ විශ්‍රාමිකයන් ලක්ෂ හතකටත් 2500ක් වැඩි විය. වැඩිහිටි දීමනා, වකුගඩු දීමනා, අස්වැසුම සඳහා ලක්ෂ විස්සකට ආදී ලෙසින් විශාල සහනයක් ලබා දෙයි. මේ අනුව සෑම කොට්ඨාසයක්ම නියෝජනය වන ලෙස පුළුල් සහන ලබා දී ඇත.

පසුගිය දිනක යෝජනා කළ 15% තිබූ වැට් බද්ද 18% වැට් බද්ද වැඩිවීමක් හැර අය වැයේදි බදු සම්බන්ධයෙන් විශේෂිත යෝජනාවක් නොවිණි. අලුත් බදු හඳුන්වා දුන්නේ නම් එය පෞද්ගලික අංශයට බලපායි. ඒ නිසා මේ අය වැය පොදුවේ මහජනතාවට සහන අය වැයක් වෙනු ඇත. ජනතාවගේ සෑම අංශයක්ම ආවරණය වන පරිදි ලබා දී ඇත.

සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට මේ අය වැය සකස් කර තිබෙයි. අනෙක් අතින් ගත්විට සංවර්ධන ඉලක්කයක් ඇති අය වැයක් ද යන්න මෙහිදී සලකා බැලිය යුතුයි.

ආණ්ඩුවේ මේ අවස්ථාවේදී අරමුණ විය යුත්තේ රටේ ආර්ථිකය ගොඩනැඟීමයි. මිනිසුන්ට සහන සැලසීමෙන් පමණක් රට ගොඩ ගැනීමට නොහැකියි. ආණ්ඩුව පැත්තෙන් ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් දක්වා ගෙන යා යුතුයි. එසේම ආර්ථික වර්ධනය 8% පමණ වර්ධනය විය යුතුයි. එසේම ප්‍රාග්ධන වියදම් බදු ප්‍රතිපත්තිය විදෙස් ඍජු ආදායම් සංවර්ධනය පැත්තෙන් සිදුවන අය වැය යෝජනා වෙයි. රජයේ පැත්තෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5ක් ආයෝජන ලෙස වියදම් කිරීමට යෝජනා කර ඇත. මෙය සැලකිය යුතු ආයෝජනයකි. එසේම දේශීය පෞද්ගලික ආයෝජකයන්ට විවිධ ඉඩ කඩ විවෘත කරන බව සඳහන් කර ඇත.

ආයෝජන කලාප අපනයන ප්‍රවර්ධනය කිරීම වැනි දේ යෝජනා කර තිබුණි. ආණ්ඩුව කොපමණ ආදායම් උපයනවා ද වියදම් කරනවා ද යන්න සැලකිය යුතු කරුණුයි. රුපියල් බිලියන 7000ක් රජයේ වියදම සහ ආදායම බිලියන 4100ක් වෙයි. මේ අය වැය අතර පරතරයක් ඇත. මෙය ජාතික ආදායමේ පරතරයක් ලෙස ගත් විට අය වැය අතර පරතරය බිලියන 2900ක් වෙන නිසා අපිට ණය වීමට සිදු වෙයි. මේවා පියවා ගැනීමට සිදු වෙන්නේ අපනයනයෙන්මයි. ආනයන අපනයන අතර හිඟය බිලියන 2900කි. ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 9.1 වෙයි. මේ 2.9 මෑතකාලීන ලොකුම අය වැය අතර පරතරයයි. මේ හිඟය පියවා ගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි.

මුදල් අච්චු ගැසීම දේශීය විදේශීය ණය ගැනීම්වලින් මෙතෙක් කල් අය වැය හිඟය පියවා ගැනීම් සිදු විය. නමුත් මේ වනවිට මුදල් අච්චු ගැසිමක් කළ නොහැකියි. අය වැය පරතරය මෙවර හුඟාක් වැඩි වන අතර මෙය පියවා ගැනීමට දේශීය වශයෙන් විදේශීය වශයෙන් වෙනදාට වඩා ණය ගැනීමට සිදු වෙයි. බිලියන 2900ක ණයක් මෙවර එකතු වෙයි. බංකොලොත් භාවය නැති කර ගන්න නම් ණය ගැනීම නතර කිරීම සහ පවතින ණය ගෙවීම සිදු කළ යුතුයි. නමුත් මේ අයවැයෙන් එවැනි රටේ බංකොලොත් භාවයකින් මිදිමට කිසිදු විසඳුමක් නැත. එසේ නම් අවධානමකට මෙවර තල්ලු වෙයි. එසේ නම් ණය ගැනීමට සිදු වෙයි. අධික වියදමක් ආණ්ඩුවක් කරන්නේ වැටුප් සුබ සාධනවලට වඩා ණය පොලී සඳහා ගෙවිමටය. වියදම් කරන බිලියන 7000න් ණය පොලීවලට බිලියන 2500ක් ගෙවිය යුතුයි. මේ අය වැයේදී නව විශ්වවිද්‍යාල, රජයේ විශ්වවිද්‍යාල සහ ගුවන් තොටුපල සම්බන්ධයෙන් සකස් කිරීමට කතා කරයි. එසේ නම් රටක් බංකොලොත් වූ විට රටක් වියදම් කළ යුත්තේ ආයෝජන සහ රටේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය කරන ව්‍යාපෘති සඳහායි. ගුවන් තොටුපොළවලට වියදම් කරන්න නම් ආණ්ඩුවට ලොකු ආදායමක් තිබිය යුතුයි. නමුත් අද එවැනි ආදායමක් රටට නැත.

විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත් විට විශ්වවිද්‍යාල අලුතින් ගොඩනැඟීමට යෝජනා කර ඇතත් රජයට මේ අවස්ථාවේදී උපාධිධාරීන්ට රැකියා දීමට නොහැකියි. උපාධිධාරීන් බඳවා ගත හොත් රාජ්‍ය සේවය තවත් පුළුල් වෙයි.

එසේම ගුවන් තොටුපොළ ගොඩනැඟීමට යෝජනා කරයි. ඇතැම් ගුවන් තොටුපොළවලට ගුවන්යානා ගොඩ බැස්සීමක් සිදු නොවී තවත් ගුවන්තොටුපොළ ගොඩනැඟීමට යෝජනා නොකිරීම සුදුසු යෝජනාවක් නොවෙයි. ප්‍රාදේශීය දේශපාලඥයන් පිනවීම නොව රටේ ඉදිරිය ගැන අපි සාකච්ඡා කළ යුතුයි. මෙවැනි යෝජනාවලදී අය වැයේ අරමුණු ඉටු වෙන බවක් අපිට නොපෙනෙයි. ලෝක බැංකුවත් ජාත්‍යන්තර අරමුදලත් සඳහන් කළේ අපේ අය වැය පරතරය සියයට 4ක් දක්වා අඩු කළ යුතු බවයි. මෙවර එය 9 .1 කි. එය ජාතික ආදායම ප්‍රතිශතයක් ලෙස අය වැය විශාල පරතරයකි. එය ආදායම් වියදම් අතර විශාල පරතරයකි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබඳව හැර ණය ගෙවීමට ක්‍රියාදාමක් ඇති වී නැත. රටක් ලෙස එය අවධානම් තත්ත්වයකි. මහ බැංකුවට මුදල් අච්චු ගැසීමට නොහැකියි. එසේ නම් ණයට ගැනීමට සිදු වෙයි. ඇතැම් යෝජනා සම්බන්ධයෙන් අධික වියදමක් රජයට දැරීමට සිදු වෙයි. බිලියන 2500ක ණය පොලී පමණක් ගෙවීමට සිදු වෙයි. ණය වාරික සමඟ ගතහොත් විශාල පොලියක් ගෙවීමට සිදු වෙයි. එසේම රජය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යෝජනා ක්‍රියාත්මක කිරීම අවිචාරවත් යැයි මා සඳහන් කරන්නේ ඒ හෙයිනි. අපි බලාපොරොත්තු වන ප්‍රගතියක් මේ ඔස්සේ ළඟා කරගත නොහැකියි. විශ්වවිද්‍යාල සහ ගුවන් තොටුපොළ ඉදිකිරිම්වලට මුදල් ප්‍රතිපාදන මේ අවස්ථාවේදී වෙන් කිරීම සුදුසු නොවන්නේ ඒ හෙයිනි. මේ වැනි අවස්ථාවක උපාධිධාරින් බිහි කිරීමට විශ්වවිද්‍යාල සඳහා මුදල් වැය කිරීමට වඩා යම් වෘත්තීය පුහුණුවක් ලබා දීම වැදගත් වන්නේ ඒ අනුවයි.

විශේෂ ඉපැයිම් මීට වඩා මුදල් වෙන් විය යුතුයි. මේ වර අය වැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් බොහෝ ක්ෂේත්‍රවල කර ඇත. ඇතැම් ක්ෂේත්‍රවලට වෙන් කළ ප්‍රතිපාදනවලට වඩා අවශ්‍ය කරන අංශ කෙරෙහි අවධානය යොමු කළේ නම් වඩා වැදගත් වෙයි. සම්පූර්ණයෙන් මුඛ්‍ය පරමාර්ථයට පටහැනි අවස්ථා වෙයි. සම ජිවිකතාවක් පවත්වා ගෙන යාමට මේ අය වැයෙන් නොහැකියි. උපයන ප්‍රමාණයට වඩා වැය වැඩි කිරීම මෙහිදී සිදුවී ඇත.

විශ්වවිද්‍යාල නොව ඇති විය විය යුත්තේ වෘත්තීය පුහුණු ආයතනයි. කොරියානු සහ ජපන් භාෂා පුහුණු ආයතන පිහිටුවිය යුතුයි. ආයෝජන ව්‍යාපෘති කිසිවක් මෙහි සඳහන් නොවෙයි. කර්මාන්ත ක්ෂේත්‍ර ප්‍රවර්ධනයක් සම්බන්ධයෙන් පැහැදිලි සඳහන් කිරීමක් නැත. ඇතැම් ක්ෂේත්‍රවල මේ අය වැය පරතරය පියවා ගැනීමට හැකි පියවරක් අපිට දක්නට නැත.

මෙවර අය වැය පරතරය ගැන නොසිතා ඇතැම් යෝජනා කර ඉදිරිපත් කර ඇත. එහෙත් 1978 වසරේ තිබූ ආර්ථිකය වර්තමානයේ නොපවතී. අද ආර්ථිකය බංකොලොත් වී ඇත. මේ අවස්ථාවේ විශාල සහනයක් ජනතාවටත් අවශ්‍යයි. එසේම රට ගොඩනැඟීමද සිදු විය යුතුයි. සහන දීම මෙන්ම රටට ප්‍රතිඵල දායක ව්‍යාපෘති ඇති කළ යුතුයි. ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශ්වවිද්‍යාල ගොඩනැඟීම් නොවෙයි. මේ අවස්ථාවේදී යෝජනා කර ඇති මේ ව්‍යාපෘතිවල අභ්‍යන්තර ඉපැයුම් අනුපාතයක් තිබිය යුතුයි. එහිදී මේ අභ්‍යන්තර ඉපැයුම් අනුපාතය ගණන් හැදිය යුතුයි. වර්ෂයකට කොතරම් ඉපැයුම් තියෙනවාද යන්න පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. අභ්‍යන්තර ඉපැයුම් අනුපාතය කොතරම් ද යන්න ජනතාව නොදනී.

මහජන බදු මුදලින් නඩත්තු වන පාඩු ලබන ආයතන ගැන සැලකිලිමත් විය යුතුයි. මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යය වියදම්වලට පමණක් වැය කළ යුතුයි. විශ්වවිද්‍යාලවල යල් පැනපු උපාධි ඉවත් කොට අදට ගැළපෙන උපාධිධාරීන් බිහි කළ යුතුයි. පුහුණුවක් ලබා දී විදෙස් රැකියාවලට යොමු කළ යුතුයි. අවිචාරවත් වියදම් ප්‍රමාණයක් මේ අය වැයේ සඳහන් වෙයි. ඒ දේවල් ඉවත් කළ යුතුයි. අවිචාරවත් ව්‍යාපෘති ඉවත් කර මිනිසුන්ගේ බදු අඩු කළ හැකියි. බංකොලොත් රටකට ප්‍රවේශමෙන් වියදම් කළ යුතුයි. මෙවැනි වෙලාවක මුදල් ඉපයීමට අපි ක්‍රමවේදයන් සෙවිය යුතුයි.

බදු අය කරගත යුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් බදු අය කර ගැනීමට කටයුතු කළ යුතුයි. මිනිසුන්ගේ සියලු බලාපොරොත්තු අය වැයකින් ඉටුකළ නොහැකි වුවත් ආර්ථික අර්බුදය අවස්ථාවේදී යම් සහනදායී වැඩපිළිවෙළක් සකස් කර ඇති අතරම ඇතැම් අංශවලට අවිචාරවත් වියදම් ප්‍රමාණයක් මේ අය වැයේ වෙන් කොට ඇති බව ද සඳහන් කළ යුතුයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division