සිළුමිණ පුවත සත්‍ය කරුණු මත පදනම් වූ සාධාරණ විවේචනයක් | සිළුමිණ

සිළුමිණ පුවත සත්‍ය කරුණු මත පදනම් වූ සාධාරණ විවේචනයක්

සිළුමිණට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැනවූ වාරණ නියෝගය ඉවත දමමින් විනිසුරු කියයි

ක්‍රිකට් යනු ක්‍රීඩා ලෝලීන් දේවත්වයෙන් අදහන ක්‍රීඩාවකි. සිය දෛනික සියලු කටයුතු පසෙක ලා ක්‍රිකට් තරගාවලි නැරඹීමට සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අසීමිතව ආදරය කරන්නට ඔවුන් පෙලඹී ඇත්තේ එබැවිනි. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ සියලු දෙනා ඊට ගෞරවයෙන් භක්තියෙන් ,විශ්වාසනීයත්වයෙන් සහ අවංකභාවයෙන් කටයුතු කරනු ඇතැයි ක්‍රීඩාලෝලීහූ තරයේ විශ්වාස කරති. එබැවින් ඊට සම්බන්ධ කවරකුගේ හෝ වරදක් හෝ දුර්වලතාවක් හෝ අවභාවිත වනු දකින්නට ඔවුහු රිසි නොවෙති.

ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ එම සිතැඟි සඵල කිරීමට කටයුතු කරන පිරිස අතර මාධ්‍ය සහ මාධ්‍යවේදීහු ඉහළ තැනක් ගනිති.

තමන්ට දැන ගැනීමට සහ සෙසු පිරිස දැනුම්වත් විය යුතු කරුණු සම්බන්ධයෙන් හෙළි කිරීමට මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දෙස් විදෙස් නඩු තීන්දු ගණනාවක් මඟින් සහතික කර ඇති බව පෙන්වා දුන් නියෝගයක් පසුගිය 06 වැනිදා කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා විසින් සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලක් පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

සිළුමිණ පුවත්පතේ සහ එම වෙබ් අඩවියේ පළවූ පුවතක ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ උප සභාපති රවීන් වික්‍රමරත්න විසින් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණි.

ඉකුත් ජුනි මස 26 වැනිදා එම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශ්වය කරුණු ඉදිරිපත් කළේය. එම සලකා බැලූ අධිකරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් වන කරුණු සහ ප්‍රකාශ ප්‍රචාරය කිරීම සහ ප්‍රසිද්ධියට පත් කිරීමෙන් සිළුමිණ පුවත්පත, www.silumina වෙබ් අඩවිය සහ ඊට අදාළ සමාජ මාධ්‍ය ගිණුම් වළක්වමින් වාරණ නියෝගය තුනක් නිකුත් කළේය.

මෙම වාරණ නියෝග සිළුමිණ පුවත්පත, www.silumina.lk වෙබ් අඩවිය සහ මෙහි විත්තිකරුවන් විසින් පවත්වාගෙන යන සියලුම සමාජ මාධ්‍ය ගිණුම්වලට අදාළ වන පරිදි නිකුත් කළ අතර, පසුව නඩු වාර දෙකකදී එම වාරණ නියෝග දීර්ඝ කරන ලදී.

අනතුරුව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ඉකුත් ජූලි මාසයේ 25 වැනිදා මෙම වාරණ නියෝගයට සහ නඩුවට එරෙහිව විරෝධතා ඉදිරිපත් කළේය. මෙම නඩුව විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස එමඟින් ඉල්ලා තිබිණි.

‍ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සිය පුවත්පත මඟින් ලිපි පළ කිරීම මහජන යහපත උදෙසා වන කරුණු හෙළිදරව් කිරීමක් පමණක් වන බව එමඟින් පෙන්වා දෙන ලදී. මහජනයා සතු කරුණු දැන ගැනීමේ අයිතිය උදෙසා සාධාරණ විනිශ්චයක් ලබා ගැනීම සඳහා මෙම ලිපි පෙළ පළ කර ඇති බව එම විරෝධතා මඟින් පෙන්වා දී තිබුණි. ඒ හැර පැමිණිලිකරුවන්ට හෝ වෙනත් කිසිවකුට හිංසනයක් කිරීමේ අභිප්‍රායක් එහි නොවූ බව එහි සඳහන් විය.

එසේම 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 (T20) ලෝක කුසලාන තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරන ලද ක්‍රිකට් කණ්ඩායම සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විවිධ චෝදනා පරීක්ෂා කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබුණි.

පැමිණිලිකරුවන් විසින් අභියෝගයට ලක් කරන ලද ලිපි පළ කර ඇත්තේ ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ වාර්තාව මත පදනම් ව බවට එම විරෝධතාවල සඳහන් විය.පැමිණිල්ල මඟින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගයට අදාළව ඔවුන් විසින් ඉදිරිපත් කළ කරුණු සහ විත්තිකාර පාර්ශ්වයේ එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව අතුරු තහනම් නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් වන නියෝගය ඉකුත් 6 වැනිදා කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී පිටු 14 කින් යුත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරු සඳුන් විතාන පෙන්වා දී ඇත්තේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් මහතාට එරෙහිව බැලූ බැල්මටම ජයගත හැකි නඩුවක් අනාවරණය කර ගැනීමට පැමිණිලිකාර පාර්ශ්වය අපොහොසත් වී ඇති බවය.

එබැවින් මීට පෙර නිකුත් කර තිබූ වාරණ නියෝග විසුරුවා හැරීමට තීරණය කර පැමිණිල්ල මඟින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝග ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය

තීරණය කළේය.

ජනතාව විසින් දැඩිව අවධානයට ලක් කරන ක්‍රීඩාවක පරිපාලන ව්‍යුහය විසින් පවත්වාගෙන යා යුතු ඉහළ මට්ටමෙන් මූල්‍ය විනය පිළිබඳව සහ එම මූල්‍ය විනයට අදාළ අවභාවිතාවක් පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් අදාළ පුවත් පළ කර ඇති බව එම නියෝගයට අදාළ තීන්දුවෙහි සඳහන් වේ.

‍ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කරන ලද කුසලා සරෝජනී කමිටුව හමුවට සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී නොමැති බව එම නියෝගය මඟින් පෙන්වා දී ඇත .

"විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියට "සහභාගී වූ නිලධාරීන් වන ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න, සුජීව ගොඩලියද්ද, ක්‍රිශාන්ත කපුවත්ත, ජනක පතිරණ, තිලක් වාත්තුහේවා, සමන්ත දොඩම්වල, ප්‍රියන්ත අල්ගම, බන්දුල දිසානායක, රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා, නලින් අපොන්සු යන නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් වාර්තා සලකා බැලීම සඳහා එහි ප්‍රධාන මූල්‍ය නිලධාරී මහේෂ් ගමගේ යන අයව සාක්ෂි ලබා ගැනීම සඳහා එම කමිටුවට කැඳවා ඇති බව ද එමඟින් පෙන්වාදී ඇත.

එහෙත් ඔවුන් සාක්ෂි ලබාදීම සඳහා එම කමිටුව හමුවට ඉදිරිපත් වී නොමැති අතර, සාක්ෂි දීමෙන් බැහැර වී ඇති බව ද සිය තීන්දුව මඟින් දිසා විනිසුරුවරයා පෙන්වා දී තිබේ.

එමඟින් සාක්ෂි ආඥා පනතේ 114 (ඊ) වගන්තිය මඟින් පෙන්වා දී ඇති පරිදි තමන්ට අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්වීමේ අදහසින් සාක්ෂි ලබා දීම මඟ හැරී ඇති බව පෙනී යන බව අධිකරණයේ මතය බව එම තීන්දුවෙහි සඳහන් වේ.

"විස්සයි20 තරගාවලිය"ට අදාළ ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ස්වාධීන විගණනයක් සිදු කිරීමටත් එම විගණනය මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන අනුව චෝදනා ඉදිරිපත් කිරීමටත්, ක්‍රීඩා පනතේ 32 (අ),(ආ),(ඈ) වගන්ති අනුව කටයුතු කිරීමට අදාළ විර්ශන වාර්තාවේ නිගමන සඳහන් කරමින් එම විමර්ශන මණ්ඩලය ඇමැතිවරයාට යෝජනා කර ඇති බව අධිකරණයේ අවධානයට ලක්වී ඇත.

එම තත්ත්වය මත බැලූ බැල්මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන ක්‍රියාවලිය දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වී ඇති බව අදාළ තීන්දුව මඟින් පෙන්වා දී ඇත.

විත්තිකාර පාර්ශ්වයට එරෙහිව සිය ස්ථාවරය තහවුරු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකාර පාර්ශ්වය විසින් පෙන්වා දී තිබුණේ තමන් පත් වන විට ඉතා අඩු අගයක තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගිණුමේ මුදල් 2022 වසර වන විට රුපියල් බිලියන 6ක් තෙක් ඉහළ ගිය බව ය. එසේම ඉදිරි වසර කිහිපය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 24ක මුදලක් වෙන් කර ඇති බව ය.

එම කරණු සලකා බැලූ විනිසුරුවරයා තීරණය කර ඇත්තේ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටක් වෙත ලබා දෙනු ලබන දායකත්ව අරමුදල් මත පිහිටා පමණක් එම ආයතනයේ ක්‍රියාවලිය සාධාරණීයකරණය කිරීමේ හැකියාවක් නොපවතින බව ය.

එසේම ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කරන ලද කුසලා සරෝජනී කමිටුවේ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් හෝ එම වාර්තාවේ නියමයන් සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් විසින් කිසිදු සාධාරණ පැහැදිලි කිරිමක් කර නොමැති බව ද එම තීන්දුව මඟින් පෙන්වා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව අනුව භාෂණයේ නිදහස සම්බන්ධයෙන් පුළුල් ප්‍රවේශයක් ලබා දී ඇති අතර, ජනතාවට තොරතුරු දැන ගැනීමට පවතින අයිතිය එමඟින් දැඩි ලෙස තහවුරු කර ඇති බව ද අධිකරණය විසින් පෙන්වා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ( 1 )වගන්තිය මඟින් සෑම පුරවැසියකුටම තොරතුරු දැන ගැනීම සඳහා පිවිසීමේ හැකියාව සහ ඊට ඇති අයිතිය තහවුරු කර ඇති බව අදාළ නඩු තීන්දුවෙහි සඳහන් වේ. එසේම ජාතික ආරක්ෂාව හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදී නීති මඟින් හැර වෙනත් කිසිදු ක්‍රමයකින් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීමට බාධා නොකළ යුතු බව ද එහි දෙවන වගන්තියේ සඳහන් වන බව නඩු තීන්දුව මඟින් පෙන්වා දී ඇත.

සාධාරණ සහ නිවැරැදි තොරතුරු මගින් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට ඇති අයිතියට අතුරු තහනම් නියෝගයක් මඟින් කතාවක් බාධාවන් සිදු විය හැකි බවට පෙන්වා දෙන දිසා විනිසුරුවරයා පැමිණිල්ල විසින් යම් විත්තිකරුවකු විසින් තමාට අපහාසයක් කර ඇති බව පමණක් නොව විත්තිකාර පාර්ශ්වය විසින් එම අපහාසය සිදු කිරීම සඳහා සාධාරණ සහ පිළිගත හැකි දායකත්වයක් දක්වා ඇති බව පෙන්වා දිය යුතු බව ද අධිකරණ සංවිධාන පනතේ 54 වගන්තිය උපුටා දක්වමින් නඩු තීන්දු මඟින් පෙන්වා දී ඇත.

එසේ නොවන අවස්ථාවලදී සාධාරණ නඩු නිමිත්තක් ඇති නොවන බව ද එමඟින් පෙන්වාදී තිබේ.

එය එංගලන්තයේ "Bonnard එදිරිව perryman නඩු තීන්දුව" මඟින් ද පෙන්වා දී ඇති බව එම නඩු තීන්දුවේ සඳහන් වේ.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පොදු ජන යහපත සඳහා ක්‍රියාත්මක කළ යුතු බව සහ වැරැදි හෝ යටි අරමුණු සහිතව ක්‍රියාත්මක නොකළ යුතු බව ද අදාළ නඩු තීන්දුව ඔස්සේ පෙන්වා දී ඇති බව මෙම නඩු තීන්දුවේ සඳහන් වේ.

සෑම පුද්ගලයකුටම නිවැරැදි සහ තොරතුරු සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති බව ද මාධ්‍ය සහ පුවත්පත් සම්බන්ධයෙන් එම අයිතිය වඩා තහවුරු වන බව ද එම අයිතියද අතුරු තහනම් නියෝග මඟින් වළක්වා ලිය යුතු නැති බව විනිසුරු ඩෙනින්ග් විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පත සම්බන්ධයෙන් ප්‍රකාශ කරන ලද නඩු තීන්දුවෙහි සඳහන් වන බව ද මෙම තීන්දුවෙන් පෙන්වා දී ඇත. යම් පුවතකින් අගතියක් සිදු වුවද එම පුවත මඟින් මහජනතාවට විශාල සාධාරණයක් සහ යහපතක් සිදුවන්නේ නම් එවැනි තොරතුරු සහ පුවත් වාර්තා පළ කිරීම වළක්වාලිය යුතු නැති බව විනිසුරු ඩෙනින්ග් විසින් එම නඩු තීන්දුව මඟින් පෙන්වා දී ඇති බව දිසා විනිසුරුවරයා සඳහන් කරයි. මහජනතාවගේ යහපත උදෙසා පළ කළ පුවත්පත් පුවත් සම්බන්ධයෙන් ප්‍රකාශ කරන ලද නඩු තීන්දු කිහිපයක් උපුටා දක්වමින් දිසා විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අහිමි කිරීම සඳහා අතුරු නියෝග නිකුත් කිරීම අධිකරණය විසින් නොකළ යුතු බවය.

මෙම නඩුවේ විත්තිකරුවන් විසින් සිදුකර ඇති පළ කිරීම් ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කරන ලද කුසලා සරෝජනී කමිටු වාර්තාවේ නිර්දේශයන්ට අනුකූලව සහ එහි සඳහන් කරුණු මත පදනම් වෙමින් කළ කරුණු දැක්වීමක් ලෙස සැලකිය හැකි බවට දිසා විනිසුරුවරයා විසින් තීන්දු කර තිබේ.

පැමිණිලිකරුවන් විසින් එම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් හෝ අවම වශයෙන් එම විමර්ශන කමිටුව හමුවට පැමිණ සාක්ෂි දීමක් හෝ සිදුකර නොමැති බව තුළින් සාධාරණ මත පළ කිරීමක් විත්තිකරුවන් විසින් සිදුකර ඇති බව පෙනී යන බව මෙම නඩු තීන්දුවේ සඳහන් වේ.

එසේම අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට නම් කරුණු කිහිපයක් තහවුරු විය යුතු බව අදාළ නඩු තීන්දුව මඟින් පෙන්වා දී තිබේ.

එනම් විත්තිකරුවන්ට එරෙහිව සාධාරණ නඩු නිමිත්තක් පැමිණිලිකරු විසින් තහවුරු කළ යුතු බව ද අදාළ පළ කිරීම් මඟින් යම් අයකුට හානියක් සිදු වන්නේ ද එම හානිය අදාළ පුද්ගලයන් අපහසුතාවට පත් කිරීමක් හෝ අපහාසයට ලක් කිරීමක් හෝ ඔවුන්ට දැරිය නොහැකි පාඩුවක් සිදු වන්නේ ද යන්න තහවුරු කළ යුතු බව ද, තහනම් නියෝගයක් ලබා ගැනීම සඳහා අධිකරණයට සෑහීමකට පත්විය හැකි කරුණු පාර්ශ්ව විසින් ඉදිරිපත් කර තිබිය යුතු බව ද එමඟින් පෙන්වාදී තිබේ.

එසේම අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට නම් තමාගේ නීතිමය අයිතීන් ට ද හානියක් වන බරපතළ කරුණක් ඇති බවට අධිකරණය හමුවේ තහවුරු කළ යුතු බව ද බවට එවැනි තහවුරු කිරීමක් නොමැති අවස්ථාවලදී අතුරු තහනම් නියෝග නිකුත් නොකළ අවස්ථා ඇති බව "රිචඩ් පෙරේරා එදිරිව ඇල්බට් පෙරේරා" සහ" ගමගේ එදිරිව කෘෂිකර්ම සහ ඉඩම් ඇමති "යන නඩු තීන්දු මඟින් පෙන්වා දී ඇති බව දිසා විනිසුරුවරයා මෙම තීන්දුව ඔස්සේ පෙන්වා දී තිබේ.

මෙම නියෝගය මඟින් උපුටා දක්වන නඩු තීන්දු වලින් පෙන්වා දී ඇති පරිදි අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම සඳහා කරුණු ගණනාවක් තහවුරු විය යුතු අතර මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් එවැනි කරුණු අනාවරණය කර නොමැති බවට දිසා විනිසුරුවරයා විසින් තීරණය කර තිබේ.

ඒ අනුව පැමිණිල්ල විසින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර මීට පෙර නිකුත් කරන ලද වාරණ අඥා විසුරුවා හැරීමට තීරණය කරන බව ද එම තීන්දුවේ සඳහන් වේ.

ඒ යමක අවභාවිත සහ ප්‍රශ්නගත තත්ත්වයන් ඇති විට ඒවා තහවුරු කිරීමට කරුණු සහ සාධක තිබේ නම් ඒවා මහජන යහපත හෙළිදරව් කිරීම සඳහා සිය පන්හිඳ මෙහෙයවීමට මාධ්‍ය වේදියාට අයිතිය ඇති බව තවදුරටත් තහවුරු කරමිනි.

Comments