ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රා සෙනෙකා දෙවැනි මාත්‍රාව මේ සතියේ සිට | සිළුමිණ

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රා සෙනෙකා දෙවැනි මාත්‍රාව මේ සතියේ සිට

ක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබන 24 වැනිදා සිට ලබා දෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසයි. එහිදි මුලින්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට මෙම එන්නත ලබා දීමට නියමිතය.

මේ වන විට 925,000 කට ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දී ඇති අතර මෙම පිරිසට දෙවැනි එන්නත් මාත්‍රාව අප්‍රේල් 24 සිට ජූනි 30 දක්වා කාලය තුළ ලබා දිය යුතුව ඇත. රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසන්නේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 10 පමණ ඉදිරියේදී ලැබීමට නියමිත අතර, එයින් ලක්ෂ 5 ක් අප්‍රේල් මස අග වන විට ලංකාවට ලැබීමට නියමිත බවය. විශේෂයෙන් මේ වන විට ඉන්දියාවේ විශාල වශයෙන් කොව්ඩ් රැල්ල පැතිරි යාම හේතුවෙන් මෙරටට එන්නත් ලැබීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද වාර්තා වෙයි.

පසුගිය සති අන්තය වන විට කොව්ඩ් ආසාදිත ප්‍රමානය 95,864 ඉක්මවා තිබු අතර කොවිඩ් මරණ 604 ඉක්මවා තිබුණි. රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළේ මේ වන විට ලෝකයේ කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භ වී තිබෙන අතර එහෙයින් ලෝකයේම කොවිඩ් ආසාදිත ප්‍රමානය වැඩිවිය හැකි බවයි. කෙසේ වෙතත් ජනතාවගේ සෞඛ්‍ය පුරුදු වේගයෙන් ගිලිහී යහමින් පැවැතිම දැඩි අනතුරුදායි සංඥාවක් බවත්, උත්සව සමයෙන් අනතුරුව ඉදිරි සති දෙක තුළ අහඹු පි.සී.ආර් පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු කරන බවයි.

Comments