සිංහල සින­මාවේ යකඩ ගැහැ­නිය | සිළුමිණ

සිංහල සින­මාවේ යකඩ ගැහැ­නිය

 

 

“මා මේ දක්වා ආ ගමනේ මඟ දෙපස ආපසු හැරී බලද්දී, චිත්‍රපටයක සිතුවම් පෙළක් සේ, මට මැවී පෙනෙන්නේ මගේ කුඩා අවදියයි. බදුල්ලේ සහ මොනරාගල ගත කළ අවදියයි. එකල ඈත අහසේ පියාසර කරන අහස් යාත්‍රාවලට අත්පුඩි තලමින් කෑ ගැසූ අයුරු මතක් වන විට අද දක්වා පැමිණ ඇති ගමන් මඟ මා ආවේ කෙසේදැයි මට සිතා ගැනීමට පවා අසීරුයි. එහෙත් ගමෙන් ලැබුණ පන්නරය, ගැමියන්ගෙන් දැක ගත් මිනිස්කමේ සුවඳ, ඔවුන්ගේ නිර්ව්‍යාජ බව, අහිංසක බව, නිහතමානි බව සියලු දුක් කරදර හමුවේ මහා පර්වත මෙන් නොසැලී ඉඳීමේ ගුණය, මගේ ජීවිතයට ද විශාල වශයෙන් බලපාන්නට ඇති.”

 

හොඳම නිළිය ලෙස 1987 වසරේ නව දිල්ලියේ ජාත්‍යන්තර සම්මාන උලෙළේදී රජත මයුර (Silver Peacock) සම්මානය “මල්දෙනියේ සිමියොන්“ දිනාගත් අනෝජා වීරසිංහ 1990 වසරේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ශ්‍රී භිෂ්ම නාරයන් සිං වෙතින් කොහිනූර් රත්න රජත සම්මානය හිමි කර ගත්තාය.

“මොනරාගල සිනමාහලක පොල් කොටන් වලින් සාදා තිබුණු බංකු මත ඉඳගෙන නිහාල්සිංහ ගේ වැලිකතර නැරඹූ මට ආදරණීය නිහාල් අයියාගේ ම ‘මල්දෙනි‌ෙය සිමියොන්‘ චිත්‍රපටය සඳහා අන්තර් ජාතික සම්මානයක් ලැබෙයි කියලා හීනෙකින්වත් හිතුවද?

“ඒ කාලේ මම චිත්‍රපට බලන්න හරි ආසයි. මගේ ප්‍රියතම නළුවා විජය කුමාරතුංග. නිළිය පුණ්‍යා හීන්දෙනිය සහ මාලිනී ෆොන්සේකා. අපේ ගෙදර වියන් ඇඳක් තිබුණා. චිත්‍රපට බලලා ගෙදර ඇවිත්, අම්මගේ සාරිවලින් අර වියන් ඇඳ වට කරලා අක්කලා එක්ක බලපු චිත්‍රපටවල කෑලි රඟපානවා. ඒක ලස්සන ලෝකයක්.“

අනෝජාගේ මුල්ම රංගනය මොණරාගල තිබුණ මොන්ටිසෝරි පාසලේ ප්‍රසංගයක ජපන් ඇඳුමින් සැරසී කඩදාසි කුඩයක් අරන් ජපන් කුමාරිකාවක් ලෙස රඟපෑමය. පුංචි අනෝජාට එදා තෑග්ගකුත් ලැබුණලු. ඊට පස්සේ ඇය අක්කලා ගිය බදුල්ලේ උසස් බාලිකා විද්‍යාලයටත්, මොනරාගල මහානාම විද්‍යාලයටත් ගියාය. ඇගේ අම්මාටත්, තාත්තාටත් හොඳට සින්දු කියන්න පුළුවන් වීම, වඩාත් බලපා ඇත්තේ තමා ළඟම වූ සොහොයුරිය මායා දමයන්තිට ය. (පසුව ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායිකාවකි) මායා අක්කාත්, අනෝජාත් පාසල් වේදිකාවේ දක්ෂතම ගායිකාව හා නර්තන ශිලිපිනියන් වූවාය.

අනෝජාගේ පියා වූ ජෙල්ඩීන් බදුල්ලේ රක්ෂණ සංස්ථාවේ දිස්ත්‍රික්ක කළමනාකරු වූ අතර, හොඳ කලාකරුවකු විය. ‘ඌව කලා කවය‘ තාත්තගේ සභාපතිත්වයෙන් ආරම්භ කොට නාට්‍ය නිෂ්පාදනය කොට රගපෑ ‘බැරිස්ටර් හාමු‘ - ‘හිඟන කෙල්ල‘ ආදි නාට්‍යය අනෝජා තම සොහොයුරු සොහොයුරියන් සමඟ නැරඹූහ. අනෝජාට යාන්තම් මතක ඇත්තේ පියා බැරිස්ටර් හාමු ලෙස රඟ පෑ ප්‍රතාපවත් කොටසලු. මේ නාට්‍යය බලන්න අම්මා පුංචි අනෝජා ගිය දවසක් තාත්තට වෙඩි තියෙන දර්ශනය දැකලා කෑ ගසා අඬා තිබුණාය.

 

ලකී සෙවන් කෙල්ල

 

“මගේ ප්‍රියතම චිත්‍රපට නිළියක් වූ පුණ්‍යා හීන්දෙනිය ජීවමානව දුටු දවස මට කිසිදා අමතක වෙන්නේ නෑ. පුණ්‍යා විවාහ වුණේ මොනරාගල රෝහලේ ප්‍රධානියා ලෙස සිටි දොස්තර මිල්රෝයි නානායක්කාර සමඟ. වෛද්‍ය මිල්රෝයි හා පුණ්‍යා විවාහ වී රෝහලේ නිල නිවසට පැමිණියදා ජයමංගල ආසිරි ගී ගයා පිළිගත් සිසුවියන් අට දෙනාට මමත්, මායා අක්කාත් සිටීම තවත් විශේෂ දෙයක්.“

පුංචි කාලයේ සිටම අනෝජා දඟකාරියක් වූවාය. ඇය නැඟ නැති ගහක් ගමේ නොතිබූ අතර ගස්වලින් වැටී තුවාල වූ අවස්ථා ද හිඟ නොවීලු. ඒ කාලේ මොනරාගල කූඩාරම් ටියටර්ස්වල තිරගත වූ ‘ටාසන්‘ චිත්‍රපට ‘හූ‘ තිය තියා නැරඹූ අනෝජාට නරඹන්නන් බැණ වැදුණ අවස්ථා තිබුණි. ටාසන් මෙන් බදුලු ඔයේ ඉවුර අසල ගසක අතුවල එල්ලී වතුරට පැනීම දැකලා ඇය හැඳින්වූයේ ‘ටාසන් කෙල්ල‘ ලෙසය.

“බදුල්ලේ කයිලගොඩ ඔයේ එගොඩ මෙගොඩ පීනන්න මම දස්සයි. ඒ කාලේ මම පිරිමි ළමයි එක්ක ඔයේ ඔට්ටුවට පීනනවා. අද ලංකාවේ ප්‍රවීණතම කැමරා ශිල්පියකු වූ ප්‍රසන්න හෙන්නායක ඉන් එක ළමයෙක්. ඒ කාලයේ ඔය විදිහට සමනල්ලු වගේ ගත කරපු ජීවිතයක් තිබුණේ.

බදුල්ලේ උපන් සිනමාවට සම්බන්ධ කැමරා ශිල්පී තිමති වීරරත්න හා චිත්‍රපට නළු රෙක්ස් කොඩිප්පිලි තාත්තගේ යාළුවෝ. තිමති අන්කල් ගෙදර ආවාම මට කතා කරන්නේ “ආ කෝ මේ කෙල්ල ලකී සෙවන්.“ මම පවුලේ හත්වෙනියා නිසා මට කවුරුත් කතා කරන්නේ එ් නමින්.“

බදුල්ලේ කයිලගොඩ දී 1955 ජනවාරි 21 වෙනිදා උපන් පරණපල්ලිය ගුරුගේ අනෝජා කාන්ති සිරිවර්ධන දොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක හත්වැනියාය. පියාගේ නම ජෙල්ඩීන් සිරිවර්ධන ය. විජයසිංහ ආරච්චිගේ සීලවතී මවගේ නම ය. අනෝජාට වැඩිමහල් ශාන්ති, සුනේත්‍රා, අසෝකා, සුනිල්, මායා දමයන්ති සහෝදර සහෝදරියන් වූහ. අනුර, ශියන්, ලේඛා, සන්ධ්‍යා, සුදත් නංගිලා මල්ලිලා ය.

දිනක් අනෝජා ගේ පියා හමුවීමට පැමිණි චිත්‍රපට අධ්‍යක්ෂ කැමරා ශිල්පී තිමති වීරරත්න (ප්‍රවීණ නිළි සංගීතා වීරරත්න පියා) මෙසේ අසා සිටියේය.

“ජෙලඩීන්, මම කරන්න යන “මේ දෑස් කුමට ද?“ පික්චර් එකට මේ ‘ලකී සෙවන්‘ කෙල්ල දීපල්ලකෝ“

“තරහවෙන්න එපා තිමති, ඒ කෙල්ල තව ටිකක් ඉගෙන ගත්තාවේ.“

තිමති ගොස් ඇත්තේ හොඳ හිතින් නොවේ.

“උඹව කෑලි කපල ගඟේ මුහුදේ දැම්මත් පික්චර්වල රඟපාන්න යවන්නේ නෑ.“ පියා අනෝජාට කියා ඇත්තේ ඇය රඟපානවාට තිබූ බලවත් අකැමැත්ත නිසාය.

“අපරාදේ මට විජය කුමාරතුංග එක්ක ඇට් කරන්න තිබුණ චාන්ස් එක...“ හැඬූ කඳුළින් අනෝජා අම්මාට කීවාය.

මේ අතර අනෝජා 9 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලේ මොනරාගල මහානාම විද්‍යාලයේ යෝගා බාලසූරිය, නිව්ටන් ගුණරත්න ගුරු මහතුන් නිෂ්පාදනය කළ “අඳුරෙන් එළියට“ නාට්‍යයේ රඟපෑවාය. එදා මේ නාට්‍යය බලන්න ප්‍රධාන අමුත්තා විදිහට ආවේ මොණරාගල මහා දිසාපති පී.ජී. පුංචිහේවා මහත්තය (අමාත්‍යාංශ ලේකම්වරයකු වූ ඒ මහතා ලේඛකයෙකි) නාට්‍ය අවසානයේ වේදිකාව පිටුපසට ඇවිත් රඟපෑ අයට සුබ පැතුවේය. අවසන තිබුණේ ත්‍යාග ප්‍රදානෝත්සවයයි.

“ඔබේ රඟපෑම විශිෂ්ටයි. අනාගතේ ඔබ දක්ෂ කලාකාරියක් වෙනවා. මගේ සුබ පැතුම්“ කියලා දිසාපතිතුමා මුල්ම සහතිකය දීලා මට සුබ පැතුවා. මගේ රංගන කුසලතාව මුලින්ම දැක්කේ එතුමා.“ අනෝජා කීවාය.

අනෝජා රඟපෑමට, නර්තනයට මෙන්ම මලල ක්‍රීඩාවට ද කුසලතා දැක්වූ අතර පාසලේ ක්‍රීඩා නායිකාව ද, නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව ද වූවාය.

“මගේ ප්‍රථම ප්‍රේමය ඇති වුණේ පාසලේදී. පන්තියේම ළමයෙක් මට “මධු මල ඔබයි“ කියලා පෙම් හසුනක් දුන්නා. මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ‘මධු මල‘ ගීතය මුලින්ම ගුවන් විදුලියේ යන කාලේ. මමත් පිළිතුරු ලිපියක් ලිව්වා. තරගෙට ලියුම් ලිව්වා. ලැව් ගින්නක් වගේ අපේ ආදරය පාසලේ පැතිර ගියා. ඒක ‘ආව ගියෝ‘ වාගේ ආදරයක්. අපේ පාසලේ හිටිය තරුණ ගුරුවරයෙක්. හරියට විජය කුමාරතුංග වගෙ. පන්තියට ඔහු ආවාම මම භාවනා කරනව වගේ බලන් ඉන්නවා. ඒත් ගුරුවරයගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. මම එයාට ආදරය කරන බවවත් ඔහු නොදැන ඉන්න ඇති.“ අනෝජා තම ප්‍රේම පුරාණය වරක් හෙළි කළාය.

“මට නිළිවරමක් ලැබුණේ අහසින් මොකක්ද වැටුණ වගේ. එතකොට මම 1974 දී විවාහය වෙලා. මගේ සැමියා ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ සtිංගර් ශාඛාව භාර සිටි කඩවසම් තරුණයෙක්. මම ඒ කාලේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කළේ. මම සංස්ථාවේ නෙට්බෝල් කණ්ඩායමට ක්‍රීඩා කළා. අපිත් එක්ක සේවය කළා චන්ද්‍රා පෙරේරා. ඔහු ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ පුතෙක්. “තාත්තා මේ දවස්වල “ආදර රත්නේ“ චිත්‍රපටයේ වැඩ. අනෝජා කැමති නම් රඟපාන්න පුළුවන්.“ චන්ද්‍රා ඇසුවේ දවල් කෑම විවේක කාලයේය.

“චන්ද්‍රා, මම රඟපානවට වඩා ස්පෝට්ස්වලට කැමති.“ මම කිව්වා. මේ අතර සංස්ථාවේ මා සමඟ සේවය කළ චන්ද්‍රිකා කාරියවසම් දවසක් යෝජනාවක් කළා.

“අනේජා බැහැ කියන්න බැහැ හොඳේ. අපේ තාත්තා ‘ටක් ටික් ටුක්‘ කියලා ෆිල්ම් එකක් කරවා. ඔයා පුංචි චරිතයක් කරන්න ඕනෑ.“

මට මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා.

 

නවදිල්ලි සිනමා උලෙළ

 

අනෝජා තම ප්‍රථම සිනමා රංගනය ගැන කතා කළාය.

“ටක් ටික් ටුක්“ චිත්‍රපටයේ අනෝජා රඟපෑවේ එංගලන්තයේ හැදී වැඩී ලංකාවට එන තරුණියක් ලෙස ජෝ අබේවික්‍රම සමඟ රඟපෑවාය. තමාට ආලේප කළ ‘මේකප්‘ සහිතව එදා රූපගත කිරීම් අවසානයේ කොළොන්නාවට යන බස් රථයක ගමන් ගන්නා විට කවුදෝ කෙනෙක් “කවුද බං මේ හොල්මන“ කියා ඇත. හැමෝම සිනා සිනාසෙන විට ඇය අසල බස් නැවතුමින් බැස ලේන්සුවෙන් මුහුණ පිසදමා ගත්තාය.

අනෝජාගේ සිත ටික ටික සිනමා රංගනයට යොමු වෙද්දි ‘ටක් ටික් ටුක්‘ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකුව සිටි සුනිල් සෝම පීරිස් පැමිණ කතා කළේය.

“අනෝජා යසපාලිතගේ මොනරතැන්න ෆිල්ම් එකේ සුරංජිගේ චරිතයට තෝරා ගත්තා.“

අනෝජාගේ රංගන ජීවිතය එතැන් සිටය. එය - “අම්මේ මට සමාවෙන්න, ගීතිකා, දයාබර නිලූ, කැලෑමල්, සාරංගා, කලියුගය, හස්ති වියරුව, මොනරතැන්න - 2, මුහුදුලිහිණි, නිවන් දක්නා ජාති දක්වා, අනුරාගම් හිතවතිය, බට්ටි, මිහිදුම් සිහින, අරලිය මල්, ඔබට දිවුරා කියන්නම් චිත්‍රපට දක්වා දිගුවක් විය. ඇගේ චිත්‍රපට ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඩී. බී. නිහාල්සිංහයන්ගේ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටයේ මව (ජේන්) හා දියණිය (සෝමා) යන ද්විත්ව චරිතයයි.

“මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයේ ද්විත්ව චරිතයට මාව නිහාල් අයියා (නිහාල්සිංහ) හැමෝම විරුද්ධ වෙද්දී තෝරා ගැනීමෙන් මා වෙනුවෙන් කළ පරිත්‍යාගය මම කෙසේ අමතක කරන්නද? එතෙක් වාණිජ චිත්‍රපට රඟපා හෙම්බත්ව සිටි මම මෙලහකටත් සිනමාවෙන් සමුගෙන තිබෙන්න ඇති. ඔහුගේ ගුරු හරුකම් මැද මා කළ ඒ ද්විත්ව චරිත නිරූපණයට 11 වෙනි නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී හොඳම නිළියට හිමි සම්මානය ලැබීම දැනුදු මට දැනෙන්නේ සිහිනයක් ලෙසින්. මගේ රංගනය මූර්තිමත් කිරීමට මගේ පියා (සිමියොන්) ලෙස රඟ පෑ ජෝ අබේවික්‍රමගෙන් ලැබූ අනුබලය, රවීන්ද්‍ර, ස්වර්ණා, සනත් ගේ රංගන දායකත්වය මට මහත් පිටුබලයක් වුණා.

 

මල්දෙනියේ සිමියොන්

 

එදා මගේ උපන් දිනය. 1987 ජනවාරි 21 වෙනිදා. ඒ වගේම මගේ ජීවිතයේ අමතක නොවන දවස. උදේ 7 ට පමණ චිත්‍රපට උලෙළ නියෝජනය කළ නළු නිළියන් නවාතැන් ගත් හෝටලයේ මගේ කාමර දොරට කිසිවෙකු තට්ටු කරනු ඇසුණා. ලස්සන මල් කළඹක් සහිතව රවි මලික් මහතා (සම්මාන උලෙළේ ආගන්තුක සත්කාර භාර නිලධාරි) මා ඉදිරියේ පෙනී සිටියා. “සුබ උදෑසනක් මිස්ටර් මලික්.“

“සුබ උදෑසනක් ඔබටත්. අද හවස ඔබට තියෙන ලස්සනම ඇඳුම ඇඳගෙන ඉන්න. සවස 6ට පමණ මම කාර් එකක් එවනවා. සිරිෆෝට් සිනමාහලට එක්ක යන්න.“

මට ආයෙත් විමතියක් ඇති වුණා. “මට මොකටද කාර් එකක්. අපි ඔක්කොම ගෙනි යන්නේ ලොකු බස් එකකින්නේ. මිස්ටර් මලික් ඇත්ත කියන්න. මොකක්ද මේ විශේෂය?“ “දැනට ඔය ඇති. අපි කාරණේ කියන්නම් හවසට.“ “කියන්න ඇත්ත මිස්ටර් මලික්....“

“හොඳම නිළියට හිමි සම්මානය ලැබෙන්නේ ඔබට. මේක රහසක්. ඔබ මගේ හොඳම මිතුරිය නිසා කිව්වේ.“

මම ඇඬුවේ මා අත වූ මල්කළඹ අතහැර මලික්ව බදාගෙන. මලික් හරියට ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ. අන්ද මන්ද වූ මම මහ හයියෙන් “හූ“ කිව්වා. ඒ ශබ්දෙට අල්ලපු කාමරේ හිටපු නිහාල් අයියා කලබල වී මගේ කාමරේට එනකං මලික්ව බදාගෙන ම හිටියෙ. නිහාල් අයියාට කාරණය කිව්වාම සතුටින් පිනා ගියා.“

අනෝජා මෙයට වසර 34කට එපිට ඉන්දියානු නවදිල්ලි අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ සම්මාන රාත්‍රියේ විසිතුර අපට විස්තර කළාය.

මේ උලෙළේ දී හොඳම චිත්‍රපට නිළියට හිමි සම්මානය රටවල් 56 ක චිත්‍රපට 480ක් හා තරගකොට අනෝජාට ජය අත්වීමට අවස්ථාව ලැබිණ. මුලින්ම සම්මානය ලැබුවේ ඉන්දීය චිත්‍රපට නළු වූයේ රඝුවීර් යාදේව් ය. ඊළඟට නිවේදකයා හොඳම නිළියගේ නම නිවේදනය කළේය. මුළු ශාලාවම මීයට පිම්බා වගේය.

"Silver Peacockaward of the best actress goes to the sinhalese actress Anoja Weerasinghe for portrayal of exploitive Mother and daughter in Sri lankan film Maldeniye Simiyon Deirected by D.B. Nihalsinghe"

“ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ඩී.බී. නිහාල්සිංහ විසින් අධ්‍යක්ෂණය කළ “මල්දෙණියේ සිමියොන්“ චිත්‍රපටයේ සමාජ විෂමතාවන්ට ගොදුරු වූ මවක සහ දියණියක ලෙස අනෝජා වීරසිංහ ඉදිරිපත් කළ තීව්‍ර ද්විත්ව චරිත රංගනය උදෙසා මෙම රජත මයුර සම්මානය පිරිනැමේ.“ “මල්දෙණියේ සිමියොන්“ නවකතාව ලියූ ඇරැව්වල නන්දිමිත්‍ර පවසා තිබුණේ අනෝජා මා මැවූ ජේන් හා සෝමවතී ගේ චරිත දෙකේම හැබහින් ජීවත් වූ බවය.

80 දශකයේ සිනමාවේ ස්ථාවරය ගොඩනගා ගත් අනෝජා ජනප්‍රිය සිනමාවේ ජය කෙ‌ෙහලි නැංවූයේ “ඔබට දිවුරා කියන්නම්“ චිත්‍රපටයෙනි. අරලිය මල්, චන්නයි කෙල්ලො දෙන්නයි, පෙරළිකාරයෝ, මමයි රජා, සිනාසෙන්න රත්තරන්, යුක්තියට වැඩ, චිත්‍රපට වලිනි. කෙළිමඬල, ගුරුගෙදර, සුරබිදෙන, ජුලියට භූමිකාව, මුහුදුලිහිණි, සෙයිලම, සිරි මැදුර, ජනේලය, ආදි කලාත්මක ධාරාවේ චිත්‍රපටවල රඟපෑ අනෝජා හොඳම නිළිය ලෙස සරසවිය, ජනාධිපති, OCIC, ස්වර්ණසංඛ සම්මාන ලැබුවාය.

අනෝජා “කෙළිමඬල“ චිත්‍රපටයේ රඟපෑ රංජනී ගේ චරිතය ද ඇගේ රංගන ජීවිතයේ හරස්කඩකි. එසේම ‘සිරි මැදුර‘ හි ලීලා ද, ‘සුරබිදෙන‘ සෝමා, ‘ගුරු ගෙදර‘ විශාඛා, සෙයිලමේ සිරියා, රංගන සමකාලීන ලාංකික සමාජ සන්දර්භය තුළ නිර්මිත ස්ත්‍රීත්වයේ විවිධ පැතිකඩයන් බවත්, සමාජයක් තුළ ස්ත්‍රිය උග්‍ර ආර්ථික ලිංගික වැනි අනේක විධ සූරාකෑම් වලට, පුරුෂාධිපත්‍යයක බල රටාව විසින් අනාවරණ පීඩනයට හා අවමානයටත් භාජනය කර ඇති බව විචාරක පියල් සෝමරත්න කියා ඇත.

‘කෙළි මඬල‘ චිත්‍රපටයේ රූපගත කිරීමක් සඳහා 1989 ජේ.වී.පී. කැරැල්ල උත්සන්නව තිබූ බව අනෝජා කීවාය.

“ඒ අස්සේ ඇඳිරි නීතිය, නිෂ්පාදක හැටියට මගේ සූට් කේස් එක ඇතුළේ නිෂ්පාදනයට අවශ්‍ය සල්ලි තිබු‍ණෙ. චිත්‍රපටයට අවශ්‍ය සෝමදාස මල්දෙණියගේ පොලිස් නිල ඇඳුම් හා නිල ඇඳුම් හා බොරු තුවක්කුත් ඒ අතරේ තිබුණා. හිටි ගමන් රෑ කිතුල්ගල තානායමේ කෑම ගනිමින් ඉන්න කොට තුවක්කු අරන් ජේ.වී.පී. සහෝදරයන් සමූහයක් ආවා. නිහාල් අයිය (නිහාල්සිංහ) මෙය සත පහකටවත් මායිම් නොකර කෑම කනවා. මං ඔවුන්ට පැහැදිලි කළා. තුවක්කු ගැන ඔවුන් ඇහුවා.

මේවා චිත්‍රපටයට ගෙනාපුව. ලී වලින් හදල පේන්ට් කරපු බොරු තුවක්කු කියලා. නමුත් ඔවුන්ට ඒවා බලන්න අවශ්‍ය වුණා. “මේ කාමරවල ඉන්නේ කවුද?“ ඔවුන් ඇසුවා. “නළු නිළියෝ.“ එයාලා දැන් නිදාගෙන ඉන්නේ. ඇහැරවන්න බැහැ.“ කී විට ඔවුන්ට ඒවා පරීක්ෂා කරන්න අවශ්‍ය වුණා. ඔවුන් අපිව උඩු මහලට අඬගහගෙන ගිහිල්ලා දේශනයක් පැවැත්වූවා.

අපි කට ඇරගෙන අහන් හිටියා. හැබැයි ඔවුන් සල්ලි, රත්තරන් බඩු කිසිවක් ගත්තේ නැහැ. පසුව යන්න ගියා. නිහාල් අයියා කිසිදේකට කලබල වුණේ නැහැ. මේ අවස්ථාව මට කිසිදාක අමතක වන්නේ නෑ.“

අනෝජාට ඕස්ට්‍රේලියානු ජාතික පොල් කොක්ස් අධ්‍යක්ෂවරයාගේ “අයිලන්ඩ්“ (Island)හි ප්‍රධාන චරිතය රඟපෑමට ලැබීම ඇගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස සලකන්නීය. එපමණක් නොව ඇය Raththathin Rath thame (ඉන්දියා - ශ්‍රී ලංකා සම නිෂ්පාදනය) Hum se na Takrana - Agartumnahote, Suraj Bhi Tamasha, Miss Lanka, Naadani, Do Haath වැනි පකිස්තානු උර්දු චිත්‍රපටවල ද රඟපෑවාය.

එපමණක් නොව ඇය උත්සාහයෙන් ගොඩ නඟා ගත් තම රංගනය ප්‍රතිභාව ප්‍රගුණ කරනු සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර Lamda (London Academy of Music and Dramatic Art) ආයතනයට බැඳී සංගීතය, රංගනය, හඬ පාලනය හැදෑරුවාය. ඇගේ උපදේශිකාව වූ සුවෙස්ටන් මෙරටට ගෙන්වා අවසෙස් රංගන ශිල්පි ශිල්පිනින් දැනුවත් කිරීමට උත්සුක වූවාය. ඇය බෙල්ලන්විල රජමහා විහාර යාබද විහාරස්ථානයට අයත් ඉඩමේ “අභින ප්‍රාසාංගික කලා අධ්‍යයන ආයතනය“ අරඹා තරුණ පරපුරට තම ලත් ඥානය, දැනුම, පරිචය බෙදා දෙන්නීය.

 

මානසික උපදේශිකාව

 

අනෝජා දැන් උත්සව හා ප්‍රසිද්ධ ස්ථානවල දකින්නට නොලැබෙයි. තමා දැන් අනුනට දැනුම ලබා දෙමින් ද, තම දියණිය ඩිලිකිගේත් සමීන් බෑණනුවන්ගේ දරුවන්ගේ ආදරය ලබමින් නිස්කාන්සු ජීවිතයක් ගත කරන්නීය. තරුණ පරපුරේ බොහොමයකට ඇතිවන ජීවන ගැටලු, මානසික ආතතියට උපදෙස් දෙමින් ඔවුන්ට සහන ලබා දෙන උපදේශිකාවක් ද වන්නීය.

මීට වසර කිහිපයකට ඉහත තම හද බැඳි කලාකරුවන්ගේ ග්‍රන්ථ දොරට වඩින උත්සවවලදී ඇය අදහස් දක්වමින් තමා ජීවිතයෙන් ලද කටුක අත්දැකීම පළ කර සිටියාය. ප්‍රීති රන්දෙනිය විසින් ලියන ලද ‘කැටකිරිල්ලි‘ කෘතිය ගැන අදහස් දක්වන අවස්ථාවේ අනෝජා සංවේදි කතාවක් කළාය.

“මම හත් වතාවක් දිවි නසා ගැනීමට ගියා.“ අනෝජා කියන විට පැමිණ සිටි පිරිස ද ගල් ගැසී සිටියහ.

“මගේ දෙවන විවාහය අසාර්ථක වීමත් සමඟ ප්‍රශ්න කිහිපයකට මට මුහුණ දෙන්න සිදු වුණා. මේ ප්‍රශ්න වුණේ මම “ජුලියට්ගේ භූමිකාව“ චිත්‍රපටයේ රඟපාන කාලෙ. මම වරෙක නිදි පෙති අහුරක්ම ගිල්ලා. මෙයට හේතුව ආතතිය, විශාදය, (depression) යන දේවල්. මට මතක් වුණා ඇන්ජලිනා ජොලි (Angelina Jolie) කියන ලෝකයේ විශිෂ්ට ශිල්පිනිය පිළිකා රෝගයෙන් පෙළුණ විට අභීතව ජීවිතයට මුහුණ දුන් ආකාරය. ඇය පිළිකා සැත්කමට අභීතව මුහුණ දුන්නා. මටත් හිතුණා ඇන්ජලිනා වගේ යකඩ ගැහැනියක් වගේ ජීවිතයට මුහුණ දෙන්න.“

එතැන් සිට ඇය අභීතව ජීවිතයට මුහුණ දුන්නාය. මම ඉගෙන ගත් දේ ආබාධිත රණවිරුවන්ට, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට, උතුරු නැගෙනහිර කුරිරු යුද්ධයෙන් පීඩාවට පත්, මානසික ආතතියෙන් පෙ‌ෙලන දරුවන්ට හා වැඩිහිටියන්ට මම යෝග පන්ති කළා. එපමණක් නෙවෙයි නෝවීජියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව රජයේ පාසල්වල නාට්‍ය හා රංග කලාව, නිරූපණ කලාව ආශ්‍රිත පුහුණුව ලබා දුන්නා. එංගලන්තයේ දී ඉගෙන ගත් හැම දේම මගේ රටේ දරුවන්ට දායාදය කළා.“

ඇය දැන් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නීය. නිස්කාන්සුවේ ජීවිතය ගැන භාවනා කරන්නීය. පින්බර බෙල්ලන්විල රජ මහ විහාරයෙන් ඇසෙන සිල් සුවඳ, හේවිසි හඬ, සසර දුක නැති කරන්න මාර්ගය හොයා ගැනීමට ඇය ඉදිරි කාලය කැප කරන්නීය.

Comments