පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කුෂාණී රෝහ­ණ­ධීර පත් වේ | සිළුමිණ

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කුෂාණී රෝහ­ණ­ධීර පත් වේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නීතිඥ කුෂාණී රෝහණධීර පත් වූවාය. 2012 වසරේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්වරිය (පරිපාලන සේවා) වූ ඇය පාර්ලිමේන්තු සේවයට එකතු වූයේ 1999 දීය.

ජ්‍යේෂ්ඨ නීතිඥ හරිගුප්ත රෝහණධීරගේ බිරිඳ වූ කුෂාණී රෝහණධීර දිවංගත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැන්දිස් රෝහණධීරගේ ලේලිය ද වේ. විදුහල්පතිනියක් වන උදුලාද සිල්වා හා ගුරුවරයෙකු වන ලේටඩ් ද සිල්වා ඇයගේ දෙමවුපියන්ය. කුඩා කල සිටම අධ්‍යාපනයට දක්ෂතාවයක් දැක්වූ ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ කීර්තිමක් ආදි සිසුවියක වන කුෂාණි 1991 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය හිමිකර ගත් අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, නීති විද්‍යාල අධ්‍යාපනයෙන් සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරියක ලෙස දිවුරුම් දුන්නාය.

පාර්ලිමේන්තු කමිටු කාරක සභා කටයුතුවලට සහ සභා ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා තිබූ ඇල්ම නිසා පසුකලෙකදී ආයතන කාර්යාංශයට එක්වීමට ඇයට හැකි විය. එහිදී කථානායකවරයා සභාපතිත්වය දරන උපදේශක කාරක සභාවලට සහභාගි වීමෙන් ඒ පිළිබඳ නිපුණත්වය ලැබුවාය.

ආයතන අංශයේ සේවය කරන විට පරිපාලන නීතිය පිළිබඳ දැනුමක් තිබීමේ අවශ්‍යතාව හඳුනා ගන්නා ඇය ඒ අනුව විවෘත විශ්විද්‍යාලයෙන් එම නීති උපාධියද ලබාගෙන පාර්ලිමේන්තු සේවයේ දිගටම නිරත වූවාය. සහකාර ප්‍රධාන නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී තනතුර දැරූ ඇය සහකාර මහලේකම් තනතුරට පත්වන්නේ 2012 වසරේදීය.

නව නියෝජ්‍ය මහ ලේකම්වරිය තිදරු මවකි. ඇයගේ දරුවන් තිදෙනාම පුත්‍රයින් ය. වැඩිමහල් පුතු 23 හැවිරිදි සුදම් ලංකේෂ ය. පරිගණක උපාධිධාරියකු වන ඔහු ගුවන් නියමුවකු වීමේ අපේක්ෂාවෙන් අධ්‍යාපනය ලබයි. දෙවැනි පුතු 20 හැවිරිදි යසිඳු අභිෂේක නීතිය හදාරයි. කණිටු පුතු ජවන හංස තවමත් අධ්‍යාපනය ලබන්නේය.

Comments