මිල මුදල්වලට වැඩිය වටින ආදරයක් ලැබුණු නිසා ජීවිතේ හැමදාම සුන්දරයි | Page 2 | සිළුමිණ

මිල මුදල්වලට වැඩිය වටින ආදරයක් ලැබුණු නිසා ජීවිතේ හැමදාම සුන්දරයි

එදා වගේම අදත් අපි අතර රහස් නැහැ - කුමාර

ඇය තමයි මගේ හිතේ ඇඳිලා තිබුණු රුව - කුමාර

උදේට රැවුල තියෙනවා හවසට නෑ - නිල්මිණි

බස් එකේ කන්නාඩියෙන් දැකලා ඇස්වලින් කතා කරලයි අපි පෙම්වතුන් වුණේ - නිල්මිණි

බොහෝ දෙනා ඇය හඳුනන්නේ ප්‍රහසන රංගන ශිල්පිනියක ලෙසටය. ආයාසයකින් තොරව ඕනෑම මුවකට සිනහව කැඳවීමට සමත් ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී, නිල්මිණි කෝට්ටෙගොඩය. සිය රංගන කෞෂල්‍යයෙන් සුවහසක් හදවත්වලට සතුට, සිනහව ගෙන එන ඇය 'කැදැල්ලේ කතාව' හා එක් වූයේ සිය දිවිමඟ පිය සටහන් සතුටින් ආවර්ජණය කරමිනි.

" මම උපන්නේ මිදිගම වලාන ඉස්පිරිතාලේ. ඉපදිලා දවස් කීපයකින්ම අම්මයි තාත්තයි මාව අරගෙන කොළඹ පදිංචියට ඇවිත්. අපි බොහොම සාමාන්‍ය පවුලක්. තාත්තා වැල්ලවත්තෙ රෙදි මොලේ වැඩ පරීක්ෂකයෙක් විදිහට වැඩ කළා. අම්මා ගෘහණියක්. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. පවුලේ එකම ගෑනු ළමයා වුණාට මම පොඩි කාලේ ඉඳලා කොල්ලෙක් කරන වැඩ තමයි කරලා තියෙන්නේ. ඒ කාලේ අම්මා කියනවා එකා යකා වුණා කියලා.ගෙදරදි වගේම ඉස්කෝලෙදිත් කරන තරමක් දඟ වැඩමයි කළේ. කළුබෝවිල මහා විද්‍යාලය තුළින් තමයි මගෙ කලා ජීවිතේ මූලික අත්තිවාරම වැටුණේ. ඒක මම ගොඩක් ගෞරවයෙන් සිහි කරනවා."

පාසල් සිසුවියක ලෙස කළාප මට්ටමේ ජන ගී වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවකදී එම තරගය විනිශ්චය කළ අයිරාංගනී කළුතන්ත්‍රි නම් ගුරුවරිය හමුවීම නිල්මිණිගේ කලා ජීවිතයේ විශේෂ අවස්ථාවක් විය.

"එතකොට මම 9 පන්තියේ. අයිරාංගනී මිස් මගෙන් ඇහුවා මිස්ගේ දුටුගැමුණු නාට්‍යයේ සින්දු කියන්න කැමතිද කියලා. ඒ කාලේ ඒ ගැන ලොකු දැනීමක් නැහැ. අඩුමගානේ ගෙදර ටී.වී එකක්වත් තිබුණේ නැහැ. මම මිස්ට කිව්වා ප්‍රින්සිපල් සර්ගෙන් අහන්න ඕනේ කියලා. මිස් ප්‍රින්සිපල් සර් ගෙන් අවසර අරන් ඒ නාට්‍යයේ සින්දු කියන්න මාව ගත්තා. මම අම්මා එක්කයි ගියේ පුහුණුවීම්වලට. මම ගියේ අත්වැල් ගායනවට වුණත් ගායනය, හඬ පාලනය ගැන ඉතා හොඳ පුහුණුවක් ලැබුණා. ඒ විදිහටම දිගටම කලා කටයුතුවල නියැළුණා. 1988දී මම ජාතික තරුණ සේවා සභාවේ තරුණ මිත්‍ර හුවමාරු වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කැනඩාවට ගියා. මට මතකයි අපේ පාසලේ විදුහල්පතිතුමා මට ඒ ගමන යන්න රුපියල් 2000ක් එකතු කරලා දුන්නා. ඒ කාලේ ගුරුවරු දරුවන්ගේ දියුණුවට පුදුමාකර විදිහට සහයෝගය දුන්නා."

පාසල් වේදිකාවෙන් ප්‍රසිද්ධ වේදිකාවට එක් වන නිල්මිණිගේ පළමු අත්දැකීම වන්නේ ලයනල් රන්වලයන්ගේ 'රන් දෙවොල' නාට්‍යයයි. අත්වැල් ගායනයට අමතරව ඇය එහි සුළු රංගනයක්ද කළාය. එතැන් සිට වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන්, ගායනයෙන් දායක වන නිල්මිණිගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය සටහන් වන්නේ 1993 වසරේදීය.

" දවසක් අපි එක්ක කලා කටයුතුවල යෙදුණු දීපාල් ගුණරත්න මල්ලි මට ඇවිත් කිව්වා “ආචාර්ය ජයලත් මනෝරත්නයන් 'අන්දරේලා' කියලා අලුත් නාට්‍යයක් කරනවා. ඒකට නිළියක් හොයනවා, ගිහින් බලන්න“ කියලා. එයාගේ බලකිරීමටම මම ජෝන්ද සිල්වා එකට ගිහින් ජයලත් මනෝරත්නයන් හමු වුණා. ඔහු මාව බිසවගේ චරිතයට තෝරා ගත්තා. මාස තුනක් විතර තරුණ සේවා සභාවේ පුහුණුවීම් කළත් බිසව කියන චරිතය මගෙන් හරියට නිරූපණය වුණේ නැහැ. මනෝරත්න අයියටත් මගේ රඟපෑම ගැන පැහැදීමක් තිබුණේ නැහැ. ඒ නිසාම මටත් චරිතය එපා වෙලා තිබුණේ.

ඔය අතර නාට්‍යයේ ලයිට් රිහසල් කරන දවසත් ආවා. කට්ටිය ඉස්සරහ මනෝරත්න අයියගෙන් බැණුම් අහන්නත් ලැජ්ජයි. ඕන දෙයක් වුණාදෙන් අද මේක කරලා යනවා, ආයෙ නම් එන්නෙ නෑ කියලා හිතාගෙන මම ලෑස්ති වුණා. සළුපිළි, ආභරණවලින් සැරසිලා ඇවිදගෙන එනකොට මටම දැනුණා බිසවගේ චරිතෙ ආරෝපණය වුණා කියලා. මට තාම මතකයි මාව දැකපු ගමන් මනෝරත්න අයියා කෑගැහුවා "ඔය තියෙන්නේ, ඕකනේ ඕනෙ කිව්වෙ" කියලා. ඒ ප්‍රසංශාව මට මහා ලොකු සම්මානයක් වගේ වුණා. ඒ නාට්‍යය මගේ රංගන ජීවිතේ විශාල කඩඉමක් වගේම එයින් මම ගොඩක් ජනප්‍රිය වුණා. ඒ නාට්‍යය ඩුබායිවලත් වේදිකා ගත වුණා. "

එතැන් සිට ඇය වේදිකාව පමණක් නොව පුංචි තිරයද ජය ගත්තාය. පාසල් වේදිකාවේදී ශිරෝනිකා වූ දක්ෂ, සුන්දර යුවතිය නිල්මිණි කෝට්ටෙගොඩ වන්නේ ඒ ජනප්‍රියත්වයත් සමඟය. ඒ ගැන ඇය සිහි කළේ හිනැහෙමිනි.

"උප්පැන්න සහතිකයේ තියෙන නම ශිරෝනිකා නිල්මිණි කෝට්ටෙගොඩ. ඉස්කොලේදි හැමෝම මට කතා කළේ ශිරෝනිකා කියලා. කලාවට සම්බන්ධ වෙද්දි ශිරෝනිකා කියන නම මිනිසුන්ගේ හිතේ පහසුවෙන් රැඳෙන්නෙ නැති ගතියක් තියෙනවා කියලා මට හිතුණා. ඒ නිසා තමයි නිල්මිණි කෝට්ටෙගොඩ කියලා පාවිච්චි කරන්න ගත්තෙ". නිල්මිණි රංගන ශිල්පිනියක් ලෙස කලා ජීවිතය ප්‍රභාවත් කළ තවත් වේදිකා නාට්‍යක් වන්නේ දයානන්ද ගුණවර්ධනයන්ගේ 'නරි බෑනා' නාට්‍යයයි.

"මට ඒ නාට්‍යයේ ගමමහගේ චරිතය සඳහා ආරාධනා ලැබෙද්දි නිළියො ගණනාවක් ඒ චරිතය නිරූපණය කරලා තිබුණා. මම එකම දවසක්වත් නාට්‍යය බලලා තිබුණෙත් නැහැ. ඒත් මගේ දුවගේ බලකිරීම නිසාමයි මම ඒ චරිතේ භාර ගත්තේ. මම දයානන්ද ගුණවර්ධනයන්ගේ බිරිය අයිරාංගනී ගුණවර්ධණ මහත්මියට කිව්වා කලින් කරපු අයගේ රඟපෑම මගෙන් බලාපොරොත්තු වෙන්න එපා, නමුත් මම චරිතයට උපරිම සාධාරණයක් කරන්නම් කියලා. මේ වෙද්දි මම අවුරුදු 16ක් ගමමහගේ චරිතය රඟපාලා තියෙනවා. මම ඒ චරිතෙට එකතු කළ දේවලුත් තියෙනවා. ඒ චරිතය ගැන මට ලොකු සතුටක් තියෙනවා."

" රොනල්ඩ් මාස්ටර් ගේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටයි මුලින්ම මම චිත්‍රපටවලට සම්බන්ධ වුණේ. 'මිහිදුම් සිහින' චිත්‍රපටයෙන් පසු චිත්‍රපට 33ක පමණ රඟපෑවා. ඒ අතර ප්‍රධාන චරිතයක් රඟපෑ ' මායා' චිත්‍රපටය මගේ රංගන ජීවිතේ විශාල සංධිස්ථානයක්. ඒ විත්‍රපටය සඳහා මාව යෝජනා කර තිබුණේ රංගන ශිල්පී පුබුදු චතුරංග. පුබුදු මල්ලි ඒ ගැන කියද්දි මම හිනා වුණා අපිට කවුද ප්‍රධාන චරිත දෙන්න කියලා. නමුත් ඒ චිත්‍රපයට මට හොඳ අවස්ථාවක් වුණා. එහි නිෂ්පාදක සදේෂ් කුමාර් මෙතෙක් මට හමුවූ ඉතා හොඳ නිෂ්පාදකවරයෙක්. ‘කොස්තාපල් පුංඤසෝම‘, ‘ඩොක්ටර් නවරියන්‘, ‘හැට හතර මායම්‘, ‘බහුභූතයෝ‘ සහ ‘හිරිපොද වැස්ස‘ මම රඟපෑ අනෙක් චිත්‍රපට. ‘කබඩි‘, ‘ද ගේම්‘ සහ ‘ගින්දරී 3‘ චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතයි" . මෙතෙක් නිරූපණය කළ චරිත අතරින් වැඩි කැමැත්ත කුමන චරිතයට දැයි ඇසූ විට ඇය නිරහංකර සිනහවක් පෑවාය.

" මම ලැබෙන හැම නිර්මාණයම භාරගන්න කෙ‍නෙක් නෙවෙයි. ඒ නිසා රඟපෑ හැම චරිතයකටම ආදරෙයි. ඇතැම් අය මාව කොමඩි චරිතවලටම කොටු කරනවා. මෙයාට මේකෙන් තොර දෙයක් කරන්න බැරිවෙයි කියලා එයාලම අපේ හැකියාව රාමුවකට සීමා කරනවා. සමහර වෙලාවට ප්‍රේක්ෂකයන් මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් කොමඩි. නමුත් ප්‍රහසනය කලාවක්. ඒක හැමෝටම කරන්න බැහැ." ඇය කියන්නේ සිනාසෙමිනි.

පසුගිය අගෝස්තු 21 වැනිදා නිල්මිණි මනාලියක ලෙසින් සැරසුණාය. ඒ ඇගේ සැමියා ඩී.ඩබ්. නන්දසිරි සමඟය.

"අපේ 33 වැනි විවාහ සංවත්සරය වෙනුවන් දරුවන්ගේ ඉල්ලීමකට තමයි අපි දෙන්නා ඒ විදිහට ඇඳලා ෆොටෝ ගත්තේ. අපි විවාහ වුණේ බොහෝම නිහඬව. මංගල ඡායාරූපයක් ගත්තෙත් පස්සේ. ඒ නිසා මටයි මහත්තයාටත් ආසාවක් තිබුණා අවුරුදු 33කට පස්සේ ආයෙත් මංගල ඇඳුමක් ඇඳලා ‍ෆොටෝ ටිකක් ගන්න. ඒ ඡායාරූප සඳහා ඇඳුම් නිර්මාණය කළ ප්‍රණීත්, හැඩගැන්වූ මලිත්ට, ඡායාරූප ගත් ප්‍රියංකර සහ උදවු කළ ලක්ෂිත, සබීතා ඇතුළු හැමදෙනාටම ස්තුතියි කියන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා".

නිල්මිණි- කුමාර සුන්දර ආදර කතාවේ රසබර මතක අවදි කරන්නට දැන් ඉතින් හොඳම වෙලාවයි. " ඒ කාලේ මම හැදුණේ වැඩුණේ ගෙදර නීතිරීති ගොඩක් එක්ක. ඉස්කොලෙ යනවා, ගෙදර එනවා ඇරෙන්න වෙන දෙයක් තිබුණේ නැහැ. මගෙ හොඳම යාළුවා ටිකක් දඟකාර කෙනෙක්. උසස් පෙළ කරන කාලේ මට යාළුවා කිව්වා පිටකෝට්ටෙ ළමා නිවාසෙක උගන්වන්න යමු කියලා. එයාගේ පෙරැත්ත නිසාම මමත් ඒකට කැමති වුණා. අපි යන්නේ එන්නෙ 163 බස් එකේ. අපි උදේට යද්දි ඒකෙ ඩ්‍රයිවර් ගේ උඩු රැවුල තියෙනවා. හවසට එද්දි නැහැ. අපි දෙන්නට මේක හරිම ප්‍රශ්නයක්. ඒත් අහන්න විදිහයකුත් නැහැ. පස්සෙ තමයි දැනගත්තේ ඒ ඩ්‍රයිවර් ලා දෙන්නෙක්, අයියයි මල්ලියි කියලා. අයියගෙ රැවුල නැහැ. කාලයක් ඔහොම යද්දි රැවුල්කාරයා අපි එක්ක යාළු වුණා. ඕන තැනකදි අපිට බස් එක නවත්තනවා. ඒ විතරක් නෙවෙයි බස් එකට නැග්ග වෙලේ ඉඳන් එයා මැද කන්නාඩියෙන් මා දිහා බලනවා. එහෙම ඇස්වලින් කතා කරලා හිත බැඳිලා අන්තිමට මම එයාගෙ පෙම්වතිය වුණා. "

එදා ඒ රැවුල්කාර පෙම්වතා කුමාර, අද ඇගේ දයාබර සැමියාය. "ඒ කාලේ නිල්මිණි සුදුම සුදුයි. සාරිය ඇඳලා දිග කොණ්ඩ තනි කරලට ගොතලා එද්දි හරිම ලස්සනයි. දැකපු මුල් දවසෙම මට හිතුණා මගෙ හිතේ තිබුණු හැඩරුවම තියෙන කෙනා මට හමුවුණා කියලා. මම කැමැත්තෙන් හිටියෙ සුදු, කොණ්ඩෙ දිග, ගොඩක් ලස්සන ගෑනු ළමයෙක්ට" .

"මෙයත් එහෙම තමයි. හරිම හැන්ඩ්සම්. ඒකයි මගෙ හිත ගියේ. හැබැයි ඒ කාලේ වැඩිය කතා කරන්නෙ නෑ. ගොළු සිංඥෝ කෙනෙක්. දැන් නම් මටත් වැඩිය කතා කරන්නෙ මහත්තයා. ඒ කාලේ අපි හිටියේ මැටිවලින් හදපු ලෑලි ගහපු ගෙදරක. අඩුපාඩු තිබුණත් ඒක හරිම සුන්දර අතීතයක්. අද මම තට්ටු ගෙදරක හිටියත් හැම සැපතක්ම වින්ඳත් අදටත් මම කැමතියි එදා ගෙව්ව සරල සුන්දර ජීවිතේට. අපි දුප්පත් නිසා මහත්තයාගේ පැත්තෙන් අපේ සම්බන්ධයට කැමති වුණේ නැහැ. ඒත් මහත්තයා මාව අතෑරියේ නැහැ. අවුරුද්දක් විතර ආදරේ කරලා 1986දී අපි විවාහ වුණා."

ඔවුන්ගේ සුන්දර ආදර කතාව තවත් අරුත් ගැන්වෙන්නේ දරු දෙනෙකුගේ මවුපියන් වීමෙනි. දියණිය බිනෝලි ජයමාලා මාධ්‍ය ක්ෂේත්‍රෙයේ නිරත වී සිටින අතර පුතු මලිඳු ජයමාල් තාක්ෂණික නිලධාරියෙකි. බෑනණුවන් ගයාන් ඉන්දික ව්‍යාපාරිකයෙකි. "මට දරුවො තුන්දෙනයි. දුව විවාහවෙලා ඉන්න පුතා මගෙ බෑනා නෙවෙයි ලොකු පුතා. මලිඳු මගෙ චූටි පුතා. මහත්තයාගෙන් වගේම දරුවන්ගෙන් මගෙ කලා ජීවිතේට ලොකු සහයෝගයක් ලැබෙනවා. සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නයි අපි නිතරම උත්සාහ කරන්නෙ. ඒකෙන් කියන්නේ නැහැ අපි හැම වෙලාවෙම සතුටින් සමගියෙන්ම ඉන්නවා, කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්න නැති ජීවිත කොහෙවත් නැහැ. නමුත් ඒ හැමදේම විඳ දරාගෙන පුළුවන් උපරිම සතුටින් ජීවිතය ගත කරනවා". ඇය ඒ කියන්නේ ජීවිතය ස්පර්ෂ කළ යථාර්ථයයි. ජීවිතයට දිරි දුන් සැමියාගේ ආදරය ගැන කියන්නට ඇයට බොහෝ දේවල් තිබිණ.

"කලාකාරිනියක් විදිහට අද මම යම් තැනක ඉන්නවා නම් එහි ගෞරවය මම මගේ මහත්තයාට දෙන්න කැමතියි. අපි දෙන්නා යාළු වුණු කාලේ මහත්තයාගේ යාළුවො කියලා තියෙනවා ඕවාට ගියාම ගෑනු විනාශ වෙනවා. නමුත් මහත්තයා මට කවදාවත් නීතිරීති දැම්මෙ නැහැ. මහත්තයා මගේ වෘත්තිය තේරුම් ගත්තා. එයා මාව විශ්වාස කරලා මට ලොකු නිදහසක් දීලා තියෙනවා. ඒ විශ්වාසය රකින්න මම බැඳිලා ඉන්නවා. මම හිතන්නේ එහෙම අවබෝධයක් විශ්වාසයක් තියෙන සැමියෙක් ලැබුණේ මගෙ පෙර පිනකට. " ඇය හැඟීම්බර වන්නී ඒ සෙ‍ෙනහසින් අත්විඳින සැනසීම නිසාය. ‘ අපි දෙන්නා අතර කවදාවත් රහස් තිබුණේ නැහැ. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි." ඒ සහතිකය ඔහුගෙනි.

මෙතෙක් ආ ගමනේ මුහුණ දුන් අභියෝග සහ ජීවිතයේ අරමුණු ගැන ඇය කීවේ මෙවැන්නකි.

"ජීවිතේ කියන්නේ විශ්වවිද්‍යාලයක්. තවමත් මම ඉගෙන ගන්නවා. අත්දැකීම්වලින් වගේම සමාජයෙන්. ජීවිතේ දුක සැප දෙකම මම හොඳට විඳලා තියෙනවා. ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන. පව, පින අඳුනගත්තම ජීවත් වෙන්න පහසුයි. ඒ වගේම මට කවුරුත් එක්ක තරගයක් නැහැ. අනුන් කරන හැමදේම කරන්න මට බැහැ. ඒ දේ තේරුම් අරගෙන මවාගත්ත හීන ලෝකයක ජීවත් නොවී මහ පොළොවේ පය ගහලා ජීවත් වෙද්දි ජීවිතේ ගොඩක් සැහැල්ලුයි."

නිතර මුව සරසන සොඳුරු සිනහවෙන් යුතුව ඇය එසේ කීවාය. සිය රංගනයෙන් බොහෝ දෙනකුගේ මුවට සිනහව ගෙන එන ඇය හාස්‍යය සහ සිනහව දක්නේද අපූර්වතම ආකාරයකටය. "රංගන ශිල්පිනියක් විදිහට මම හාස්‍යය තුළින් මිනිස්සුන්ගේ මානසික ආතතිය නැති කරනවා. මම නිසා කෙනෙක් හිනාවෙලා සතුටින් ඉන්නවා දකිද්දි ඒක මටත් ලොකු සතුටක්. නමුත් සමහර මිනිස්සු හැසිරෙන්නේ හිනා නහරයක් ගෑවිලාවත් නැති විදියටයි. ඔවුන් හිනාවෙන්නේ නැහැ, සතුටු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අනිත් මිනිස්සු හිනාවෙලා සතුටින් ඉන්නවා දකින්නවත් කැමැති නැහැ. ජීවත් වෙන කෙටි කාලේ තවත් කෙනකුට ජීවිතේම එපා කරන තරම් පහත් තත්ත්වයට නොවැටී ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි මනුස්සකම."

Comments