නිපුණතා සංවර්ධන අරමුදල මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව ඔවුන් ඉලක්ක කරගෙන වැඩසටහන් රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. එම වැඩසටහන් මාලාවේ තවත් වටිනා පියවරක් ලෙස නිපුණතා සංවර්ධන අරමුදල ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් ආයතනය සමඟ එක්ව ව්‍යවසාය පෙර පෝෂණය (Incubation) වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාමය වැඩසටහනක් පසුගියදා (14දා) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපති ආචාර්ය ඉංජිනේරු ලයනල් පින්ටු, නිපුණතා සංවර්ධන අරමුදලේ සමාන්‍යාධිකාරි සද්නා ගුණවර්ධන ඇතුළු නිපුණතා සංවර්ධන අරමුදලේ වෙළෙඳ මණ්ඩලයේ නිලධාරින්, ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් ආයතනයේ සභාපති චන්දුල අබේවික්‍රම ඇතුළු එම ජාලයේ නිලධාරීහු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
ව්‍යවාසායකයන් බිහිවන්නේ යම් ව්‍යාපාරික අදහසක් ක්‍රියාවට නැංවීමෙන්ය. නමුත් අදහසක් පමණක් තිබීම ඊට ප්‍රමාණවත් නොවේ. ව්‍යාපාරයක් ආරම්භ කර ඉහළ නැංවීම සඳහාත් එය ව්‍යුහගත කිරීමටත් ව්‍යාපාරික සැලස්මක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. ව්‍යවසාය පෙර පෝෂණය (Incubation) හරහා ඊට අවශ්‍ය මූලික සහාය ලබාදෙයි. සැබැවින්ම ව්‍යවසායකයාට ජීවයක් ලබා දෙන්නේ මෙම ක්‍රියාදාමය හරහායි. නිපුණතා සංවර්ධන අරමුදල, ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් ආයතන සමඟ එක්ව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් එවැනි වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත්තේ එම අවශ්‍යතා හඳුනාගත් නිසාය. ආයතනය හරහා ව්‍යවසාය පෙර පෝෂණය වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අදියර 4ක් ඔස්සේයි.
ප්‍රථමයෙන් අයැදුම්පත් සකස් කර එම අයැදුම්පත් හරහා සම්මුඛ පරීක්ෂණයකට භාජනය කොට සුදුසු ව්‍යවසායකයන් තෝරා ගනු ලැබේ. එම සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගන්නා ව්‍යවසායකයන් මාස 3ක උපරිම පුහුණු ක්‍රියාවලියකට යොමු කරයි. මෙහිදී එක් එක් පුද්ගලයාගේ දැනුම හා කුසලතාව මත පුහුණු අවශ්‍යතා කාලය වෙනස් විය හැකිය.
ව්‍යවසාය පෙර පෝෂණ ක්‍රියාවලියේ වටිනාම අංගයක් වන්නේ මේ අයුරින් ස්වයංව නැඟී සිටිය හැකි තත්වයට පැමිණෙන තෙක් ව්‍යවසායකයන් විශේෂ අවධානයකට හා සැළකිල්ලකට බඳුන් කරලීම හරහා සිදුවන ක්රියාදාමයයි. එහිදී පෞද්ගලික අංශයේ පිළිගත් ආයතන සමඟ ජාලගත වී ව්‍යාපාර සිහින සැබෑ කර ගනිමින් රටේ ආර්ථික සංවර්ධනයේ හිමිකරුවන් බවට පත්වීමට අවැසි අභිමානවත් ව්‍යවසායකයන් පිරිසක් බිහි කිරීම නිපුණතා සංවර්ධන අරමුදලේ තවත් එක් අරමුණකි.