මෙගා වොට් 1200ක් ජාතික විදුලි බල පද්ධ­ති­යට | සිළුමිණ

මෙගා වොට් 1200ක් ජාතික විදුලි බල පද්ධ­ති­යට

 

මෙගාවොට් 1200ක විදුලි ධාරිතාවක් නිපදවීම පිණිස වන විදුලි බලාගාර ව්‍යාපෘති 4ක් ඉදිරියේදි ක්‍රියාවට නැංවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සූදානම් වෙයි.‍‍

ඒ අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙ.වො. වොට් 600ක ධාරිතාවකින් යුත් විදුලිබලාගාර ඒකකයක් ඉදි කිරීම, මෙ.වො. 300ක ධාරිතාවකින් යුතු ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක් (LNG) ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියාව/ ජපානය සමඟ ව්‍යාපාරයක් වශයෙන් කෙරවළපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම හා ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරය (LNG) ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීම ආදිය ඉදිරියේදි සිදු කෙරේ.

ඊට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදි කරමින් පවතින ජල විදුලිබලාගාර සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටුතු කඩිනම් කිරීම හා සූර්යබල විදුලි උත්පාදනය සඳහා ඉන්දීය රජය ලබාදීමට එකඟ වී ඇති ඇමෙරිකානු එක්සත් ජනපද ඩොල‍ර් මිලියන 100ක ණය මුදල මඟින් අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමද ඉදිරි‍‍යේදී සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

සැලසුම් කරන ලද විදුලි බලාගාර ව්‍යාපෘති ප්‍රමාද වීම හේතුවෙන් රටෙහි විදුලිබල ඉල්ලුම සපුරාගැනීම සඳහා වර්තමානයේ ලංකා විදුලිබල මණ්ඩලයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවය හා ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින් ඉහත පියවරයන් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

 

නිහාල් පී. අබේසිංහ

Comments