සතර අභි­නය මැන­වින් දත් ප්‍රති­භා­පූර්ණ රංග­ධ­ර­ මනෝ | Page 2 | සිළුමිණ

සතර අභි­නය මැන­වින් දත් ප්‍රති­භා­පූර්ණ රංග­ධ­ර­ මනෝ

වේදිකාව, පුංචි තිරය, පුළුල් තිරය එක සේ ජයගත් ප්‍රතිභාපූර්ණ රංගධරයකු අප අතරින් වියෝ වුණා. කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න. කලාසූරි කලාකීර්ති ගෞරව නාමයන්ගෙන් පුද ලද්දෙක්. 1991,92 හොඳම නළුවා ලෙස ජනාධිපති හා රාජ්‍ය සම්මාන ලාභියෙක්. ඊට අමතරව හොඳම සහාය නළුවා ආදී වශයෙන් ඔහු ලබාගත් සම්මාන රාශියකි. වේදිකා නාට්‍ය, අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකවරයකු හා දේශකයකු ලෙස එදා මෙදා තුර කලා ලොවට සිදු කළ මෙහෙය අනුපමේයයි.

මනෝ රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වූ වේදිකා නාට්‍ය සිය ගණනකි. එයින්ද නොනැවතී පුංචිතිරයෙන්ද, පුළුල් තිරයෙන්ද ඔහුගේ හැකියාවන් මේ යැයි පෙන්වීය. සිරිබෝ අයියා, බඹර වළල්ල, හෝ ගාන පොකුණ, සූරිය අරණ, දරුවනේ, තාල, වෛෂ්ණාවි, ගෝල් සිනමා කෘති ඊට හොඳම නිදසුන් වේ.

ජීවිත කාලය පුරාවටම ලොකු කුඩා කොයි කාගේත් ළබැදි හිතවතකු වූ මනෝරත්නයන් ඇසුරු කළ පිරිස දහස් ගණනකි. ඒ අතරින් මනෝගේ දිවියේ දිගුකාලීන මිත්‍ර බුද්ධදාස ගලප්පත්ති සූරීන් ජයලත් මනෝරත්නයන්ගේ අතීත මතක මන්දිරයෙන් බිඳක් මෙසේ රසඳුනට හෙළි කළා.

“මනෝගෙයි මගෙයි මිත්‍රත්වය දශක 5කට එහාගිය එකක්. 1970 දශකයේ මනෝ මට මුලින්ම හමුවන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයෙන්. මනෝ ඒකේ රඟපාද්දි මම අංගරචන ශිල්පියා ලෙසයි කටයුතු කළේ. ඒ කාලේ රසකතා පත්තරේ එක පිටුවේ දෙපැත්තේ මනෝගෙයි මගෙයි ලිපි කෙටිකතා පළවුණා. ඔහු පේරාදෙණියේ. මම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය හැදෑරුවේ.

පේමතෝ ජායතී සෝකෝ, මනමේ, මහාසාර නාට්‍යවලත් අපි හමුවුණා. මනෝට රැකියාව ලැබුණේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අනියම් ලිපිකරුවකු ලෙසට. මට ජාතික ලුණු සංස්ථාවේ අනියම් ලිපිකරු උපාධි පත්වීම. මනෝ කොළඹට ඇවිත් බෝඩිමක පදිංචි වෙනවා. නිශ්ශංක දිද්දෙණිය සමඟ මම නුගේගොඩ කුලී ගෙදරක. අපි පවුලේ මිතුරන් වුණා. අසනීප වුණාම එයාලට කොත්තමල්ලි තම්බලා දෙන්නෙත් අපේ අම්මා තමයි.

කැලණිය සරසවියෙදි සිංහබාහු පෙන්නුවාට පස්සේ “බුද්ධි අපි කවි පොතක් කරමුද” ඇහුවා මගෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නවත් එකතු කර ගනිමු කියලා මම යෝජනා කළා. එය “දොළොස් මහේ පහන“ නමින් පළවුණා. ඒ වන විට අපි සුනිල්ගේ පවුලේ අය සමඟත් එකතුයි. ‘සකුරා මල් පිපිලා‘ 70 දශකයේ ගුවන්විදුලි වැඩසටහන්වලදිත් අපි හමුවුණා. අපි තුන්දෙනා කෙටිකතා පොතක් ලීවා; ‘එකදා වැහි‘ කියලා. මිල රු. 1-50 යි. ඒක අපුරු අත්දැකීමක්. අපි තුන්දෙනාගෙම තොරතුරු පොත පිටුපස කවරයේ පළවුණා. මම 1947. මනෝ 1948. සුනිල් 1949 ඉපදිලා තියෙන්නේ. අපි ‘පියසේන හා කුමාරිකාව‘ කියලා කෙටිකතා පොතකුත් ලීවා.“

බුද්ධදාස මනෝරත්නයන් පිළිබඳ මතකයන් තව දුරටත් සිහිකළේ බොහොම හෘදයංගමව. කලා ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් ඔවුන් දෙදෙනා අතර බොහොම බැදියාවක් තිබුණේ.

“මනෝ රඟපාපු නාට්‍ය 50%ක වගේ අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කළේ මමයි. නාට්‍ය 5ක් සඳහාම මනෝ රාජ්‍ය සම්මාන ලැබුවත් ඉන් තුනක්ම අංග රචනා කළේ මමයි. ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්ටකාරී, ම‍නෝරත්නගේ පුත්‍ර සමාගම, තලමල පිපිලා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සොක්‍රටීස්, ප්‍රසන්න විතානගේගේ ද්විත්ව සඳහා සම්මාන ලැබුවා. ඉන් රතු හැට්ටකාරී, පුත්‍ර සමාගම හා ද්විත්ව අංග රචනා කළේ මමයි.”

මනෝරත්නයන් ඔබගේ පවුලේත් මිත්‍රයෙක්. ඔබගේ කල්‍යාණ මිත්‍රයෙක්. කොහොම ද ඔබ ඔහුගේ හදවත දකින්නේ කියලා මම ඇහුවා.

“මනෝ ඉපදුණේ නුවර දෙහිපේ. පොරමඬුල්ල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. උපතින් ලැබුණු ගැමිකම ගිලිහෙන්නේ නැතුව දිගටම ඔහු ළඟ තිබුණා. එයාට තිබුණේ හරිම සරල චාම් ගතිගුණ මහ පො‍ළොවේ පය තබා ඇවිදින්න පුළුවන් මනුස්ස හදවතක් එයාට තිබුණා. අහිංසක චරිතයක්. කා සමඟත් මිත්‍රශීලීයි. නමුත් ඔහු සමාජශීලීයි. විනෝදකාමියි. ඔහු ඉන්න තැන අපිට කිසිම පාළුවක් දැනුණේ නැහැ. ඈත ප්‍රදේශවල නාට්‍යවලට ගිහින් ආපසු කොළඹ එද්දී අපිව නිතරම සන්තෝසෙන් තිබ්බේ මනෝ තමයි. ඔහු නැතිදාට පාළුව තදින් දැනුණා. නැතිවම බැරි චරිතයක් වුණා. පසුගිය අවුරුදු 50 ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දි ජීවිතේ වැඩි කාලයක් අපි යාළුවෝ. අපේ පවුලේ යාළුවෝ. දුර ගිහින් එද්දි ටිකකින් ඔහු රඟපාන්න ගන්නවා හැමෝම ඔහුට වශීකෘත වෙනවා. මනෝ පුදුමාකාර යහපත් චරිතයක්.

මනෝ විවාහ වුණේ මම විවාහ වුණාට පස්සේ. පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ ස්වර්ණතිලකත් එක්ක. ඇය ජයන්ති ද සිල්වා. සිංහබාහු ගායක කණ්ඩායමේ සාමාජිකාවක්. නාට්‍යයේ, මනෝ උද්දාල, ජයන්ති ස්වර්ණතිලකා. ඔවුන්ගේ ආදරය විවාහය දක්වා දුරදිග ගියා භාණුක හා උත්පලා දරුවෝ දෙන්නත් අපේ දරුවෝ සමඟ මිත්‍රයි. උපේකා, වාගීෂ්‍ය මගේ දරුවන්ටත් මනෝ මාමා වීරයෙක්. මගේ දරුවන්ට පමණක් නෙමෙයි. දූ දරුවන් බොහෝ පිරිසකට මනෝරත්නයන් වීරයෙක්. ගෝල්, ‘හෝ ගාන පොකුණ’ සිනමා කෘතිවල සාර්ථකත්වයත් ඔහුගේ මේ මනුෂ්‍යත්වයේ මහිමයම නිසයි.”

ජයලත් ම‍නෝරත්නයන් වේදිකාව පමණක් නොවෙයි. පුංචි තිරයත් පුළුල් තිරයත් එකසේ ජයගත් කෙනෙක්. මනෝගේ රංගන ප්‍රතිභාව පුළුල් පරාසයක් කරා විහිදී ගිය එකක්. මේ අපුරු රංගනවේදියාගේ රංගන කෞශළ්‍ය ගැනත් බුද්ධදාසයන්ට පවසන්න බොහෝ දේ තිබුණා.

මනෝරත්න කියන්නේ පාසල් වියේ සිටම රංගන හැකියාවන් ඔපමට්ටම් කරගත් කෙනෙක්. ‘අස්සගුඩුං’ නාට්‍යයෙත් හොඳම නළුවා වුණේ ඒ නිසයි. සරසවියෙන් ඔහුගේ හැකියාවන් තව තවත් තීව්‍ර කරගත්තා. සතර අභිනය මනෝට බොහොම අපුරුවට පිහිටලා තියනවා. එහෙම නළුවන් ඇත්තටම අඩුයි.

මහාචාර්ය සරත්චන්ද්‍රගේ ශෛලිගත සම්ප්‍රදායේ වගේම ස්වාභාවික නාට්‍යවලත් හරි ලස්සනට රඟපාන්න මනෝ හැබෑම දක්ෂයෙක්. සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, කේ.බී. හේරත්, ප්‍රසන්න විතානගේ, කපිල කුමාර කාලිංග, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ලූෂන් බුලත්සිංහල, නිමල් ඒකනායක, ආදී සෑම අධ්‍යක්ෂකවරුන් යටතේම ප්‍රශස්ත ලෙස රඟපෑමේ හැකියාවක් ඔහුට තිබුණා. එවැනි විරල හැකියාවක් තිබුණේ ඔහුටම පමණයි. මනෝගේ හැකියාවන් වේදිකාවට පමණක් සීමා වුණේ නැහැ. ‘සඳ අමාවකයි’ ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයේ මනෝගේ හැකියාව පෙණුනා. ගෝල්, හෝ ගාන පොකුණ සිනමා කෘතිවලින් ඔහුගේ රංගන හැකියාව මේ යැයි කියාපෑවා. ඇත්තටම මනෝ හොඳ හදවතක් තිබුණු සැබෑම දක්ෂයෙක්.“

ජයලත් මනෝරත්නයන් කලා ලොවට අහිමි වීම, පිරිමැසිය නොහැකි පාඩුවක් බවත් නැවත එවැනි ප්‍රතිභාපූර්ණ කලාකරුවකු බිහිවීම උගහට බවත්. බුද්ධදාසයන් අවධාරණය කරනවා.

“ජයලත් මනෝරත්නයන් රංගන ලොවේ ත්‍රිවිධ අංශයෙන්ම එකසේ හැකියාවන් විශද කළ අයෙක්. ඇත්තටම වේදිකාව, රූපවාහිනිය, සිනමාව මේ සෑම අංශයකම එකම ලෙස දක්ෂතා දැක්වූ විශිෂ්ටයෙක්. ඉහළම සම්මාන දිනාගත්තෙක්. ජයලත් මනෝරත්න කියන සාමාන්‍ය දේහධාරියා තුළ ජීවත්වුණේ අසමසම මහා විසල් පෞරුෂයක්. එවැන්නකු තබා ඊට සමීප විය හැකි අයකුගේ සේයාවක්වත් මා නම් දකින්නෙ නැහැ. ඒ අන්‍යතාව ඔහු විතරමයි. ඔහුම විතරයි. ඔහුට මොන චරිතයද කරන්න බැරි. ජයලත් මනෝරත්න හැඩරුවින් සාමාන්‍ය කෙනෙක් වුණාට වේදිකා නාට්‍යයට, ටෙලිනාට්‍යයට, චිත්‍රපටයට ආවේස වුණහම මහා පුදුම විදග්ධයෙක්. මනෝරත්න නැති වීම පුරවන්න පුළුවන් අඩුවක් නෙමෙයි.”

ජයලත් මනෝරත්න ආදරණීය කලාකරුවාණෙනි. අපි ඔබට නිවන් සුව පතමු!

ප්‍රවීණ විචා­රක, ලේඛක බුද්ධ­දාස ගල­ප්පත්ති

Comments