නිර­තුරු රුව රකින එළ­වළු සහ පල­තුරු | Page 2 | සිළුමිණ

නිර­තුරු රුව රකින එළ­වළු සහ පල­තුරු

අප ආහාරයට එළවළු සහ පලතුරු එක් කරගන්නේ ගතානුගතිකව පැවත එන පුරුද්දක් ලෙසය. ඒත් ඇත්තෙන්ම මේවායේ පෝෂණමය සහ ඖෂධීය වටිනාකම ගත් විට රුව රැකීම සම්බන්ධයෙන් මෙම එළවළු සහ පලතුරු ඉතා වැදගත්කමක් ගනී.

එළවළු සහ පලතුරුවල විටමින් ඒ අඩංගු වන අතර, විශේෂයෙන් කහ පැහැති සහ කොළ පලා වර්ගවල ඒවා බහුලව අඩංගුය. විටමින් ඒ ශරීරයේ සම හා ශ්ලේෂ්මල පටක නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරි වේ. එබැවින් සමේ නිරෝගීභාවය හෙවත් සම පැහැපත් වීම සිදු වේ. එසේම තෙල් සහ ස්වේද ග්‍රන්ථි නියමිතව වර්ධනය හා ක්‍රියාකාරී වීම හා විෂබීජවලින් ආරක්ෂා කිරීම ද සිදු වේ. තවද විටමින් සී අඩංගු නිසා සමේ කේශ නාළිකා හොඳින් වර්ධනය වී, සම තෙත්ව සහ ලස්සනට තබා ගැනීම සිදු කරයි. විටමින් ඒ සහ සී, විෂබීජවලින් ආරක්ෂා කර දීමට සටන් කිරීමද, විෂ නැසීම ද කරනු ඇත. තව ද විටමින් ඩී මගින් සමේ ස්වේද ග්‍රන්ථි සහ තෙල් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම නිසා සම තෙත් සහිතව සහ පැහැපත්ව කොරල ඇති නොකර ලස්සනට තබා ගැනීමට උපකාරි වේ. විටමින් සී මගින් සමට තුවාලයක් වු විට එය වහා සුව කිරීම හා සමේ කොලැජන් පටක වර්ධනය කිරීම සිදු කරයි.

විටමින් ඒ සහ ඩී තිබෙන එළවළු, පලතුරුවල ඇති කැල්සියම් මගින් ඔස්ටියෝආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසියාය වළක්වා ශරීරයේ අස්ථී පද්ධතියේ ආකූලභාවය පාලනය කර ශරීරයේ විකෘතිතා ඇති නොකරයි. එසේම හන්දිපත් ප්‍රදාහය සෑදීම ද වළක්වයි. තව ද ශරීරයේ මේද ප්‍රමාණය, සමේ තෙල් ස්වභාවය හා තෙත ගතිය වර්ධනය කෙරේ. ලිංගික හෝමෝන ද මෙයට බලපායි. මෙම නිසා පසු ආර්තව කාලයේ දි ඇති වන සම වියළීම, දහඩිය ගතිය පාලනය කරන සහ ඔස්ටියෝපොරෝසියාව නැති කරන ෆයිටොඊස්ට්‍රජන් (Phytoeostrogen) ශාක හොමෝන (සෝයාවල අඩංගු) මගින් පසු ආර්තව අවදියේදී සමේ නිරෝගීකම පාලනය කරයි. මෙහි අඩංගු ෆයිටොඊස්ට්‍රජන් වන්නේ Isoflavons (අයිසෝෆ්ලේවොන්ස්) ය. එම නිසා පසු ආර්තව කාලයේදී ද ශරීරය නිරෝගීව හා ලස්සනට තබා ගැනීමට මෙම එළවළු, පලතුරු උපකාරි වේ.

තවද මෙහි අඩංගු කෙදි ස්වභාවය නිසාම තරබාරුකම වළක්වා මලබද්ධය දුරු කර, ස්ථූලතාව පාලනය කරයි. පිළිකාවලින් සම ආරක්ෂා කර රුව රැක දෙයි. එසේම හිරු එළියේ ඇති UV කිරණවලින් සම ආරක්ෂා කර විටමින් ඒ නිපදවීම කරන අතර, විටමින් ඩී පසු ආර්තව අවදියේදි ඔස්ටියෝපොරෝසියාව ද නැති කර ශරීරයේ අස්ථී ආකූල බව රැක දි රුව රැක දෙයි. තවද දිගු කෙස් කලඹක් සඳහා විටමින් ඒ සහ සී ද, ප්‍රෝටීන ද ඉතා වැදගත් වේ. එසේම විටමින් ඩී කැල්සියම් සහ සල්ෆර් ද මීට උපකාරි වේ. මේ සියලුම ක්ෂුද්‍ර පොෂක එළවළු සහ පලතුරුවලින් සපයයි. තව ද සමට තුවාලයක් සිදු වූ විට එය කැලලක් නොමැතිව ඉක්මනින් සුව කර දීම මේ පලතුරු හා එළවළු වල අඩංගු විටමින් හා ඛනිජ ලවණවලින් සිදු කරයි. විශේෂයෙන් සමේ රැලි නැති කොට නීරෝගිව තැබීම සිදු කරන්නේ ද කොලැජන් හා විටමින් මගිනි. මේවාවල ප්‍රභවයක් ලෙස ද, එළවළු, පලතුරු හඳුන්වා දිය හැක. තව ද අද වෙළෙඳපොළේ ඉතා විශාල නිපැයුම් රැසක් සම සහ රුව රැක දීමට නිපදවා ඇත. මිල දී ගත හැක. මේවා අතර එලවළු හා පලතුරුවල තිබෙන විටමින් අඩංගු නිෂ්පාදන ඉතා විශාලය. ඒ මගින් නිරෝගීව සම රුව රැක දීමට උදව් වේ.

තව ද මේ එළවළු, පලතුරුවල අඩංගු ක්ෂුද්‍ර පෝෂක හා මහා පෝෂකවල ක්‍රියාකාරීත්වය නිසා එය බාහිරව සමට අවශෝෂණය වී ඉහත කී ආකාරයට රුව රැක දේ. තව ද මේ ශාකසාර අඩංගු (එළවළු, පලතුරු) නිෂ්පාදන අද ප්‍රචලිත වී ඇති අතර, මෙය සෑම විටම වෛද්‍ය නිර්දේශයකින් තොරව පාවිච්චි කළ හැකි ද? අප ගන්නා එළවළු, පලතුරුවල අඩංගු ක්ෂුද්‍ර පෝෂකම අප ගන්නා සමතුලිත ආහාරයෙන් ලැබේ නම් මේවාට මුදල් නාස්ති කිරීමක් වන්නේ ද? සෑම විටම මේවා පාවිච්චියට රැල්ලට අසුවීමක් සේ ප්‍රචලිත වු විට ද, වෛද්‍ය උපදේශයකින් තොරව පාවිච්චිය නිසාද ශරීරයට විෂ වීමක් හෝ වැඩිපුර ගැනීමක් ද විය හැකිය. ඒ නිසා ඌනතාවක දී හැර අනෙකුත් අවස්ථාවලදී මේ එළවළු හා පලතුරු අඩංගු නිෂ්පාදනයන් භාවිතය වෛද්‍ය උපදේශයකින් තොරව භාවිත නොකළ යුතුය.

 

උපදෙස් - ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු 

Comments