ත්‍රිරෝද මාෆි­යා­වට යට වූ කල­එ­ළිය - මඩම හන්දිය බසය නැව­තත් ලබා දෙන්න | Page 2 | සිළුමිණ

ත්‍රිරෝද මාෆි­යා­වට යට වූ කල­එ­ළිය - මඩම හන්දිය බසය නැව­තත් ලබා දෙන්න

අද වන විට පොදු ප්‍රවා­හන සේවයේ වැඩි­දි­යුණු තත්ත්ව­යක් පෙන්නුම් කළත් එය දක්නට ලැබෙන්නේ බස්රථ ගමන් කරන ප්‍රධාන මාර්ග­වල මිස අප්‍ර­ධාන මාර්ග­වල නම් නොවේ. බස්ර­ථ­යක් නොමැ­තිව සැත­පුම් 4ක් 5ක් පයින් හෝ ත්‍රීවී­ල­ර්වල යන ඇතුළු ගම්මා­න­වල ජීව­ත්වන ජන­තාව බස්රථ ඉල්ලා හඬක් නැඟු­වද ඔවුන් වෙනු­වෙන් බස්රථ ලබා දෙන්නේ කලා­තු­ර­කිනි. එසේ බස්ර­ථ­යක් යෙද­වු­වත් යොද­වන්නේ ශ්‍රී ලංගම බස් රථ­යක් මිස පෞද්ග­ලික බස්රථ නොවේ.

එහෙත් වසර 50 කට ආසන්න කාල­යක් පුරා ඇතුළු ගම්වල ධාව­නය වූ ශ්‍රී ලංගම බස් රථ­යක් ධාව­න­යෙන් ඉවත් කර තිබීම පුදුම සහ­ග­තය. එමෙන්ම කන­ගා­ටු­දා­ය­කය.

මෙසේ ධාව­න­යෙන් ඉවත් කර තිබෙන්නේ ජා - ඇල ඩිපෝ­වට අයත් මඩම හංදිය - කල­එ­ළිය බස්ර­ථ­යයි. පාරිස් පෙරේරා මහතා ජා - ඇල පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­ය­කුව සිටින කාල­යේදී ධාව­න­යට එක් කළ මෙම බස්ර­ථය කල­එ­ළිය, වෑවල, දෙහි­ය­ගාත, උද­ම්විට, කුඩ­හ­ක­පොළ, දඹ­දු­රය වැනි ප්‍රධාන මාර්ග­යෙන් ඇතු­ළ­තට පිහිටි ගම්වා­සින්ට ඉම­හත් සේවා­වක් සැල­සුණු බස්ර­ථ­යක් විය. ජා - ඇල කපු­වත්ත හංදි­යෙන් හරවා කිලෝ මීටර් 4ක් පමණ අතු­ළට වන්න පිහිටි කල­එ­ළියේ මුල්ලට ගොස් ආපසු හරවා කපු­වත්ත හංදි­යෙන් ප්‍රධාන මාර්ග­යට වැටී ජා - ඇල, තුඩැල්ල හරහා ගොස් දෙහි­ය­ගාත හන්දි­යෙන් හරවා උද­ම්විට, කුඩ­හ­ක­පොල වැනි ගම් හරහා ධාව­නය කර ඒකල කාර්මික ජන­ප­දය ඔස්සේ මෙම බස් රථය ඒකල මඩම හංදි­යට පැමි­ණි­යේය.

ප්‍රධාන මාර්ග­යට පැමි­ණෙන පාසල් ළමුන්ට, රැකී රක්ෂා සඳහා යනෙන අයට සහ එදි­නෙදා කට­යුතු සඳහා නග­ර­යට පැමිණි අයට මෙම බස්ර­ථය ඉතා­මත් පහ­සු­වක් විය.

එමෙන්ම කාර්මික ජන­ප­දයේ සේව­යට යන අය­ටද මෙම බස්ර­ථ­යෙන් සැල­සුණේ අප­මණ සේව­යකි. එහෙත් කපු­වත්ත හංදියේ, කල­එ­ළියෙ, දෙහි­ය­ගාත වැනි ප්‍රදේ­ශ­වල තිබෙන ත්‍රීරෝද රථ සංග­ම්වල බල­පෑ­මෙන් පණ ඇද ඇද තිබුණු කල­එ­ළිය - මඩම හන්දිය බස්ර­ථය දැන් වසර 2ක, 3ක පටන් සම්පූ­ර්ණ­යෙන්ම නැවතී තිබේ.

මෙහි වාසිය භුක්ති විඳින්නේ ත්‍රීරෝද රථ රිය­දු­රන්ය. පාඩුව භුක්ති විඳින්නේ පොදු මගී ප්‍රවා­හන සේවය භාවිත කරන ජන­තා­වය. පුද්ග­ලික වාහන පරි­හ­ර­ණය කරන අයට බස්ර­ථ­යක් අහිමි වීම එත­රම් දැනෙන දෙයක් නොවේ. එහි පාඩුව දැනෙන්නේ දුප්පත් ජන­තා­ව­ටය.

ත්‍රීරෝද රථ මාෆි­යා­වට බිය නොවී, වසර 50 ක් පමණ ධාව­නයේ යෙදවූ මෙම බස්ර­ථය දුප්පත් ජන­තාව වෙනු­වෙන් යළි ලබා දෙන මෙන් ප්‍රවා­හන ඇම­ති­තු­මා­ගෙන් ඉල්ලා සිටිමි.

 

ජි. ජුඩ් ලක්ෂිත කොස්තා

කල­එ­ළිය.

Comments