‘සෝෂල්’ මීඩියාවලට මම විරුද්ධ නැහැ | Page 2 | සිළුමිණ

‘සෝෂල්’ මීඩියාවලට මම විරුද්ධ නැහැ

කලක් රංගනයෙන් ඈත්ව සිටි ශේෂාද්‍රි නැවතත් කරලියට

තරුණ පරපුරේ සියදිවි නසාගැනීම්වලට මූලික හේතුව ආදරය සහ විවාහ බිඳ වැටීම්

දිනේෂ් ප්‍රියසාද් කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ ළඟම හිතවතෙක්. දිනේෂ්ගේ ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ ගාමිණී කළ රංගනය අදටත් අපේ හිත්වලින් මැකී ගිහින් නැහැ. අපි ‍ෙම් කතා කරන්න යන්නේ දිනේෂ් ගැනවත් ගාමිණි ගැනවත් නෙවෙයි. දිනේෂ්ගේ ලස්සන දූවරුන් තිදෙනාගෙන් එක්කෙනෙක් ගැනයි. ඒ තිදෙනාගෙන් ඈ තමයි මිඩ්ල් ස්ටම්ප් එක. ඒ කියන්නේ මද්දුමී. සිනමාවට ගැළැපෙන හඳ වගේ ලස්සන රවුම් මුහුණක් තියෙන ඈ සැබැවින්ම රූමතියක්.

උදයකාන්තගේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයෙන් සිනමා චාරිකා අරඹා ‘සෙනසුරු මාරුව’, ‘ඩබල් ට්‍රබල්’, ‘ඇඩ්‍රස් නෑ’ සහ ‘ZOOM’ චිත්‍රපට හරහා රසික හදවතට අතුළු වූ ඇය ශේෂාද්‍රි ප්‍රියසාද් නම්වූ රංගන ශිල්පිනියයි.

ශේෂාද්‍රි ඔබ කෙටි කාලයකින් චිත්‍රපට රැසකට දායකත්වය ලබාදීලා කෙටි කාලයකින් නිහඬ වුණු තාරකාවක් කියලා මම කිව්වොත් හරිද?

මෙහෙමයි, මගෙ ජීවිතයේ මට අත්විඳින්න වුණු සමහරක් කටුක අත්දැකීම් එක්ක මට ගොඩාක් දේවල් අහිමි වුණා. විශේෂයෙන් මගේ ඉගෙනීම් කටයුතු. ඒ හින්දා මම තීරණය කළා ටික කාලයක් නිහඬව ඉන්න ඕනි කියලා. මේ නිහඩ කාලයේ මම ජීවිතයේ හොඳ පන්නරයක් ලැබුවා. මම හදාරන්නේ පෙර පාසල් මුල් ළමාවිය පිළිබඳ උපාධියයි. කුඩා දරුවන් මගේ ඇසුරට වැටුණා. ඒ ඇසුරත් එක්ක මම වැටිලා හිටිය මානසික මට්ටම යළි ගොඩනඟාගන්න මට බෙහෙවින් උපකාර වුණා.

ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියනවා ඔයාට තියෙන්නේ සිනමාරූපී මුහුණක් කියලා. කවුරු හරි ඔබට ඒ ගැන කියලා තියෙනවද?

ඔව්. ගොඩාක් අය එහෙම කියලා තියෙනවා. මේ ක්ෂේත්‍රයට එනකොට මම ගත්ත තීරණයක් තමයි සිනමා රංගනයේ පමණක් නිරත වෙන්න. අනික මම රංගනය වෘත්තියක් කරගන්න හිතාගෙන නෙමෙයි ආවේ. චරිත ‍තෝරා බේරාගෙන අවුරුද්දකට එක නිර්මාණයකට හරි දායක වෙන්න ඕන කියන එක මගේ හිතේ තිබුණ දෙයක්.

ඔබ නිහඬව සිටි කාලයේ අක්කා දිනක්ෂී සහ නංගී ශනුද්‍රී ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ ගැන ඔබට දුකක් දැනෙන්නේ නැද්ද?

අ‍ෙන් නැහැ. එයාලා මගේම සහෝදරියෝ. දුක් වෙන්නේ මොකටද? ආඩම්බර වෙනවා මිසක්. මගේ හැම ප්‍රශ්නයක්ම මම මුලින්ම කියන්නේ ඒ දෙන්නට. ඊට පස්සේ තමයි අම්මට කියන්නෙ. ඉතින් අවසාන තීන්දුව ලැබෙන්නේ අම්මගෙන්.

අපේ රටේ සිනමාවේ සහ ජාත්‍යන්තර සිනමාවේ ඔබේ හද බැඳගත් නිළියන් ගැන කිව්වොත්?

එක්කෙනෙක් කියලා කියන්න අමාරුයි. මාලනී ෆොන්සේකා සහ ස්වර්ණ මල්ලවාරච්චිගේ රංගනයට මම ගොඩාක් කැමතියි. මාලනී ආන්ටි සිනමා රංගනයටම උපන් කෙනෙක්. විශේෂයෙන් ඇය වාණිජමය චිත්‍රපවලට ලොකු සාධාරණයක් කළා. බොලිවුඩ් සිනමාවේ මම ආදරය කරන චරිතය තමයි විද්‍යා බාලන්. ඇය සමාජයේ අපට හමුවන චරිත හරි අපූරුවට රඟපානවා.

අද සමාජයේ සෝෂල් මීඩියා සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ගෙන එනවා, ඒ වගේම අද සියදිවි නසා ගැනීම් සමාජය තුළ බහුලව අහන්න දකින්න ලැබෙනවා. විශේෂයෙන් තරුණ පරම්පරාවේ අය. මේ ගැන යමක් කිව්වොත්....

මම සෝෂල් මීඩියාවලට විරුද්ධ නැහැ. එතනිනුත් අපිට ලබාගත යුතු දේවල් තියෙනවා. හරි දේ හරියට පාවිච්චි කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. තරුණ පරපුරේ සියදිවි නසාගැනීම්වලට මූලික හේතුව ආදරය සහ විවාහ ජීවිතයේ බිඳ වැටීම්.

මේ රාමුව තුළ ඇතිවෙන ප්‍රශ්නවලට වඩා වැඩි ප්‍රශ්න මිනිසුන්ට නැද්ද? මනුස්ස ආත්මයක් ලබන්න අපි කොච්චර පින් කරලා තියෙන්න ඕනිද? තමන්ගේ ආගම හරියට අදහනව නම් ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බැලුවොත් හැම ප්‍රශ්නයකටම සාධාරණ විසඳුමක් කවදා හරි ලැබෙනවා. ඒක මගේ ජීවිතයේ මම ලබාපු හොඳම අත්දැකීමක්.

අවසාන වශයෙන් කියන්න ශේෂාද්‍රීගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද කියලා?

පොඩි කාලේ වගේ ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. බලාපොරොත්තු තියාගෙන එතනට ළඟා වෙන්න බැරි වුණාම අපි මානසිකව වැටෙනවා. මගේ උපාධිය තව මාස 4 කින් විතර මම අවසන් කරනවා. ඒක මගේ ලොකු ජයග්‍රහණයක්. මට රඟපෑම්වලටත් ආරාධනා ලැබෙමින් පවතිනවා. බලමු ඉතින්, ඉඩ ලැබෙන වෙලාවට චරිත තෝරා බේරාගෙන චිත්‍රපට කිහිපයක නැවත රඟපාන්න අදහසක් තියෙනවා.

සටහන සහ සේයාරූ

ටෙනිසන් එදිරිසිංහ

Comments