ඔහු වන් සැමියෙක් ලැබෙන්න එපා | Page 2 | සිළුමිණ

ඔහු වන් සැමියෙක් ලැබෙන්න එපා

මාලිනී රඟපෑ ‘තුෂාරා’ ට නැවැත ජීවය දුන් රුවන්ති ශාලිකා එදිරිසිංහ

බොහෝ දෙනාට අදටත් ඇයව මතක ‘තුෂාරා’ ලෙසයි. මීට වසර කිහිපයකට උඩදී යළි නිපදවූ තුෂාරා නම් සොඳුරු සිනමා සිත්තමේ නිළි රැජන මාලිනි ෆොන්සේකා රඟ දැක්වූ ඒ දඟකාර, කටකාර, ආදරණීය චරිතය යළි රඟන්නට පින් කෙළේ ඇයයි. එවන් වූ රසිකයින්ට දැනෙන අපූරු චරිතයකින් කලා ලොවේ සුන්දර ගමනක් යන්නට සැරසුණු ඇය පසුව සිනමාවෙන් ආවාය. තෝරාගත් චරිතවලින් පමණක් තිරයට එන ඇය නිහඬව සෙ‍ෙමන් කලා ලො‍ෙව් කලබලයක් නැති ගමනක් යන්නේ ජනප්‍රියත්වය පසු පස හඹා නොයාය... “මම කවදාවත් ජනප්‍රියත්වය පස්සේ දුවන්නේ නෑ... හැබැයි කලාතුරකින් හරි මම කරන චරිත නිසා ජනප්‍රියත්වය මා පසුපස එනවා...” ඇය කියන්නෙ එහෙමයි... එය ඇත්තක් බව දැනෙන්නේ ස්වාධීන රූපවාහිනියේ මේ දිනවල රාත්‍රි 8.30 විකාශය වන ශාන්ත සොයිසාගේ ‘ජීවිතය ඇති තුරා’ ටෙලිනාට්‍යය නිසා ය. එහි ඇය කරන අහිංසක බිරියගේ චරිතයට මේ දිනවල මුළු රටක් ම ආදරය කරනවා. විශේෂයෙන් බිරින්දෑවරුන්... එවන් වූ ඉරණමකට මුහුණ දුන් කාන්තාවන් ගේ ලෝකේ ඇය දැන් ලැගුම් අරන් පාටයි...

මේ දිනවල විශාල රසික පිරිසක් ඔබ වටා එක් රොක් වෙලා නේද...?

අනේ ඔව්... කාලෙකින් තමා ශාන්ත අයියා සමඟ වැඩ කළේ. ගොඩාක් ආසාවෙන් මම මේ ටෙලිය භාර ගත්තේ. මුලදී හිතුවේ නෑ මගේ චරිතයට. මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. දැන් යන... යන... තැන කට්ටිය ඇවිත් වටකරගෙන ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම එය විශාල සතුටක්.

කාන්තාවන්ගෙන් නේද වැඩි පුර ප්‍රතිචාර...

අනේ... ඔව්... පවුල් ජීවිත අතරේ මෙවන් ඉරණමකට මුහුණ දෙන කාන්තාවන්ට මේ චරිතය හොඳට දැනෙනවා ඇති. මගේ අත අල්ලාගෙන සමහර කාන්තාවන් අහනවා ඔයා කොහොමද අපේ චරිතය කරන්නෙ කියලා. ඇත්තමයි ඇස්වලට කඳුළු එනවා.

ඔබ තාම විවාහ නොවීත් කොහොමද මෙහෙම චරිතයක් කළේ...

සමාජයේ දැකලා තියනවා පවුල් ජීවිත ඇතුළේ මේ විදිහේ අසරණ වූ බිරින්දෑවරු. ඉතිං පිටපත කියවපුහාම නිකම්ම ඇඟට එනවා චරිතය‍. ලෝකේ ගැහැනු දැවෙනවා... ගෙවල් ඇතුළේ. පවුල රැකගන්න මුකුත් ම පිටට නොදී දරාගෙන ඉන්නවා. ඇත්තටම එය තමා නියම ගැහැනුකම. හොඳ බිරියක්ව සියලු යුතුකම් ඉටු කළහම දවසක සැමියාටම තේරුම් යනවා තම බිරියගේ දරාගැනීමේ ශක්තිය ගැන. ඇත්තම කීවොත් මෙච්චර අසරණ චරිතයක් මම මේ කරන පළමු වතාව සේපාලි කියන්නේ එතරම්ම අහිංසක බිරියක්.

කවදා හරි ආනන්ද වාගේ සැමියෙක් ලැබුණොත්...

(ඇය කොක් හඬදී සිනාසේ...) අනේ දෙවියනේ මට විතරක් නෙමේ ලෝකේ කිසිම ගැහැනු ළමයෙකුට මෙවන් ගති ඇති සැමියෙක් ලැබෙන්න එපා.‍ ඒක මගේ ප්‍රාර්ථනයක්. මොකද ආනන්ද වගේ සැමියෙක් ලැබෙන්නේ ලොකු පවකට. අසරණ වූ පලියට මුදල් නිසා මෙහෙම සැමියෙක් බැඳගත්තොත් වැඩිපුරම දුක් විඳින්නේ පවුලේ අය... දරුවෝ. විවාහ වෙන කෙනාගේ හොඳ ගති... සිරිත් මාර වටිනවා ජීවත්වෙන්න.

එදා තුෂාර හි දඟකාර කෙල්ල දැන් හුඟාක් පරිණත වෙලා වාගේ...

ජීවිතය කියන්නේ අත්දැකීම් ලබමින් යන ගමනක්. මම සැහැල්ලුවෙන් උන්නත් ජීවිතය ගැන හරි අවබෝධයෙන් ඉන්නේ. අපිට හැමදාම එකම තැන ඉන්න බෑ. ලඳ බොළඳ පෙම්වතිය වෙන්න බෑ. තුෂාරයි සේපාලියි අහසට පොළව වගේ.

මෑතකදී ඔබ රඟපෑ සරුංගල් චිත්‍රපටයෙන් ඔබ රඟන්නේ ඉවසීමෙන් ප්‍රශ්නවලට මුහුණ දෙන ආදර්ශවත් බිරියගේ චරිතයක්.

නාලක විතානගේට ස්තුති කරනවා. ඒ වාගේ හොඳ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මාව එකතු කර ගැනීම ගැන.

ඔබට අපේ යුවතියන්ට ඔවදනක් දිය හැකි කියලා හිතෙනවා.

ඔව්... විවාහය කියන තැනදී දහ පාරක් හරි හිතලා හරි තීරණය අරගන්න කියලා මම කියනවා. විවාහ වෙලා දුක් වෙලා වැඩක් නැහැ. මුදල් පසුපස හඹා නොයා ජීවත් වෙන්න පුළුවන් ගුණ යහපත් පුද්ගලයෙකු ජීවිතයට තෝරාගත යුතුයි.

ඉදිරියේදී දැකිය හැකි නිර්මාණ?

විකාශණය වෙන්න ටෙලිනාට්‍ය නම් ගොඩාක් තිබෙනවා. නම් වශයෙන් මතකයට එන්නේ නෑ. කරපු චිත්‍රපටත් කිහිපයක් තියෙනවා. රස විඳිය හැකියි. මොකද මේ සියල්ල මම තෝරාගෙන කරපු චරිත නිසා...

ඉතිං අවසානයේ කියන්නකො ශාලිකා සැබෑ ජීවිතේ බිරියක් වෙන්නේ ‍කවදාද කියලා.

මම ප්‍රාර්ථනා කරන කෙනා ලැබුණු දාට... මොකද නොගැළපෙන විවාහයකට ගිහින් ලත වෙනවාට වඩා මේ ගෙවන ජීවිතේ හොඳයි.

Comments