අනික් අයට වගේ ප්‍රේම කරන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ | Page 2 | සිළුමිණ

අනික් අයට වගේ ප්‍රේම කරන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ

අන්තරේ කැඳවුම්කරු ලහිරුගේ බිරිය තිළිණි කියයි.

ලහිරු රළු කෙනෙක් නෙමෙයි හරිම අහිංසකයි

ලහිරු පෘට් සැලට් කන්නත්, අනෝදා ජූස් බොන්නත් හරිම රුසියා

ළහිරු ඔහුගෙත් ඇයගෙත් ආදරය කතාව ලියැවු‍ණේ කාටත් නොදැනීමය. දෛවය වි‍ෙටක ඔවුනට සරදම් කළද ඇයගේත් ඔහු‍ගේත් පිවිතුරු පෙමට එරෙහිවන්නට දෛවයට නොහැකි විය. ඔවුන්ගේ ප්‍රේමය ඉදිරියේ දෛවය පරාජය විය. මෙවර කැදැල්ලෙන් අපි ඔබට කියන්නට යන්නේ අරගල මැදින් ගලාගිය දස වසරක ප්‍රේමයක තවත් එක් සොඳුරු කතාවක් පිළිබඳවයි. රසඳුන පාඨක ඔබ හමුවට එන මේ දෙපළ හඳුන්වා දෙන්නට අටුවාටීකා කියන්නට අවැසි නැත. ඒ තරමට ඔහුද ඇයද අපට නුහුරු නුපුරුදු නොවෙයි. ඇය තිළිණි නානායක්කාරය. ඔහු ළහිරු වීරසේකරය. තිළිණි දෙරණ නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවකි. ළහිරු, මාධ්‍යයට නිරන්තර පුවත් මවන්නෙකි. අන්තරයේ කැඳවුම්කරු විදිහට විශ්වවිද්‍යාල අරගල තුළ ඔහුගේ නම ඉදිරියෙන්ම කියවෙන්නෙකි. විප්ලවකාරී ළහිරුට මේ වැඩත් එක්ක ඇත්තටම ආදරය කරන්නට වෙලාවක් තිබුණද? යන්න ගොඩක් දෙනා අතර වැඩි කතාබහට ලක්වුණේ ළහිරු තිළිණි විවාහයත් සමඟයි. එත් ඔබත් මමත් නොදන්න ලස්සන ආදර කතාවක් එහි සැඟව තිබුණි. ඒ කතාව දැනගන්නට මා පිළියන්දල පිහිට් ලහිරුගේ කැදැල්ලට ගොඩවැදු‍ණේ ඒ නිසයි. දැන් ඔහුද ඇයද මා අසලය.

කොහොමද අලුත්ජීවිතය ?

හ්ම් වෙනසක් නෑ. බොහොම සොඳුරු විදියට ගෙවනවා. ළහිරු සිනාමුසු මුහුණින් කෙටි පිළිතුරක් ලබා දුන්නා.

තිළිණි- ළහිරු ආදර කතාව ඇරඹුම කොතැනද?

මගේ පැනය යොමු කළේ තිළිණිටය.

මම A/L කරලා ONE SRI LANKA කියන චැනල් එකට සම්බන්ධ වුණා. ළහිරුව මට මුණගැහෙන්නේ එතැනදි. එහිදි ළහිරුත් මමත් හොඳ යාළුවන් බවට පත්වුණා. මගේ හැම දෙයක්ම මම ළහිරුට කීවා. ගෙදර වෙන හැම දෙයක්මත්. අපි දෙන්නා අතර කිසිම රහසක් නැති තරම්. කොටින්ම මගේ පෞද්ගලික ජීවිතයේ හැම දේම ළහිරු දන්නවා. ඒ තරමට මම ඔහුට සමීප වුණේ මමත් නොදැනිමයි. ඒ යාළුකම තමයි පසුව ආදරයක් බවට පෙරළුණේ.

ඒ කියන්නේ මුලින්ම ළහිරු ගැන ආදර

සිතිව්ල්ලක් පහළවුණේ තිළිණිටද?

නැහැ, කොච්චර ළංවුවත් මට ඔහු ගැන තිබුණේ යාළුවෙක් විදියට ඇතිවුණු හැඟීමක් විතරයි. එහෙම ප්‍රේමණීය හැඟීමක් මගේ සිතේ ඇතිවෙලා තිබුණේ නෑ. ඒත් මම ගැන ආදරයක් ළහිරුගේ හිතේ තිබිලා තියෙනවා. හි‍තේ තියන් හිටියට කීවේ නෑ. එය‍ාගේ උපන් දිනය දවසෙ තමයි මුලින්ම මට ළහිරු එයාගේ හිතේ තිබුණු ආදරේ ප්‍රකාශ කළේ.

ආදරය කරන කාලයෙත් ළහිරු මේ වගේද?

කවදත් ළහිරු අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.

ළහිරු කියන විප්ලවකාරී චරිතය තුළ ආදරය කියන දේ ඔබ දැක්කේ කොහොමද?

ගොඩක් දෙනෙක් ළහිරුව දකින්නේ විප්ලවකාරී රළු චරිතයක් විදිහටයි. ඒත් මතුපිටින් දකිනවාට වඩා ඔහු‍ ගොඩක් වෙනස්. ඔහු අහිංසක කෙනෙක්. එයාගේ ආදරේත් ගොඩක් අහිංසකයි.

විවාහයත් එක්ක එදා අපි දැකපු ‍ඒ පෙරළිකාර ළහිරු දැන් වෙනස් වෙලා ඇති?

නෑ. මේ ඉන්නෙත් එදා හිටපු ළහිරුමයි.ඔහු වගේම ඔහුගේ ප්‍රතිපත්තිවලත් කිසිදු වෙනසක් නෑ. ඔහු සටන් කරන්නේ ඔහු වෙනුවෙන් නෙමෙයි සමස්ත සිසුන් වෙනුවෙන්. වෙනසකට වුණේ වෙනදාට වඩා ජීවිතයේ වගකීමක් පැවරුණු එක විතරයි.

ඒ කියන්නේ ඔහු දේශපාලනය කරනවාට ඔබේ

අකමැත්තක් නෑ වගේ?

ඔව්. මා දකින්නේ ඔහුගේ අරමුණ ආත්මාර්ථකාමී නෑ. ඒනිසා ඔහුට බලපෑම් කරන්න යන්නේ නෑ.

ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙනවාට ළහිරුගේ

අකැමැත්තක් නැතිද?

නැහැ. අපි දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්නෙ.අපි දෙන්නා හඳුනගත්තෙත් මාධ්‍ය ආයතනයේ එකට වැඩකරද්දිනෙ. එනිසා මගේ රැකියාව විවාහයට බාධාවක් නෙමෙයි.

ඇත්තටම කොහොමද එහෙම හැංගිලා ආදරේ කළේ?

ගොඩක් දෙනෙක් ඔය දේ මගෙන් අහනවා. මම වැඩ කරන්නේ මාධ්‍ය ආයතනයක. ඇත්තටම ළහිරුගේ දේශපාලන කල්කිරියාව මගේ වෘත්තියට බාධාවක් වෙයි කියලා අපි හිතුවා. ගොඩක් දෙනෙක් මගේ වෙඩින් කාඩ්එක දෙනකොට තමයි දන්නේ මම විවාහ වෙන්නේ ළහිරු එක්ක කියලා. ඒ අය පුදුම වුණා. සමහරුන්ට හිතාගන්නත් බැරි වුණා.

ළහිරු වගේ කෙනෙක් ඔබේ සහකරුවා වෙනවට ගෙදරින් විරුද්ධත්වයක් තිබුණේ නැතිද?

එයයි මමයි සමීප මිතුරන් කියලා දැනගෙන හිටිය. අපේ අම්මත් ළහිරුව දන්නවා. ONE SRI LANKA එකේ වැඩ කරද්දි අපේ අයියත් ළහිරුව දැනහඳුනනවා. ඒත් අපි අතර ආදර සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම ගෙදරින් අකැමැති වුණා. ඒ ළහිරුට නෙමෙයි, ලහිරු දේශපාලනය කරන නිසා. ගෙදරින් ගිය අවුරුද්දේ අග‍ෙවනකම්ම මංගල යොජනා ගෙනාවා. ඒත් ඒ සියල්ල මම මඟහැරියා. මොකද මට ගැළපෙනම කෙනා ලහිරු බව මම අව‍‍‍‍බෝධ කරගෙන හිටියේ. අවසානයේ අපේ ගෙදරින් ළහිරුගෙත් මගෙත් සම්බන්දෙට කැමැත්ත දුන්න‍ා.

විවාහයෙන් පසුව ඔබේ ගෙදර ඉන්නට

තීරණය කළේ ඇයි?

ඒකට හේතුවක් තියෙනවා. ළහිරුගේ ගම නුවර. මම වැඩ කරන්නේ කොළඹ. ළහිරුගෙත් වැඩවලට නුවර ඉදන් එන්න යන්න අපහසුයි. අපි දෙන්නගේ වැඩවලට පහසු නිසයි අපි අපේ ගෙදර ඉන්නේ.

ඔයාලා දෙන්නගේ කියලා අලුත් නිවහනකට යන්න අසහසක් නැතිද?

ඇත්තටම තාම එහෙම හිතලා නෑ. මොකද මම කැමැතියි මගේ අම්මයි තාත්තයි අපි එක්ක ඉන්නවට. අයියත් ඉන්නේ අපි එක්ක නිසා ලොකු ශක්තියක්.

ඇත්තද ළහිරු ෆෘට් සැලට් කන්න ආසයි කියන්නෙ?

අපෝ ඔව්. ෆෘට් සැලඩ්වලට වගේම අනෝදා ජුස්වලටත් ළහිරැ ගොඩක් ආසයි. තිළිණි එහෙම කිවේ ළහිරු දිහා බලමින්.

එහෙනම් දැන් ළහිරු කන්න කැමති කෑම බීම ඔ‍බේ අතින්ම උයලා පිහලා දෙනවා ඇති?

තාමත් උයන පිහන දේවල් කරන්නේ අපේ අම්මා. හැබැයි ඉතිං ළහිරුගේ රෙදිපිළි සෝදලා දෙන්නේ තේ එක හදලා දෙන්නේ මගේ අතින්.

හැංගි හැංගි වෙස් බැන්දට තිළිණිටත් ළහිරුටත් දැන් නටන්න වෙන්නෙ එළිපිට කියලා හිතෙනවා. දෙන්නා එකට ගමන් බිමන් යද්දි මිනිසුන් හඳුනා ගන්නවා ඇති?

ඔව්. ළහිරුත් මමත් යන්නේ බස් එකේ. අපි දෙන්නා එකට යද්දි ළහිරුව හඳුනාගත්ත කොන්දොස්තරලා ටිකට් එකට සල්ලි ගන්නෙත් නෑ.

එක වහලක් යටට වුණා නිසා තමන්ගේම කියලා

වාහනයක් ගන්න අදහසක් නැතිද?

එහෙම ලොකු බලාපොරොත්තු නම් නෑ. ළහිරුත් අපිත් සාමාන්‍ය පවුලක. එනිසා ලද දෙයින් සෑහීමකට පත්වෙනවා. ළහිරු කොහොමත් ලොකු ලොකු දේවල් ගැන හිතන කෙනෙක් නෙමෙයි. එයාගේ අදහස් වගේමයි ජීවිතයත්. හරිම සරලයි.

ඇත්තටම ඇය කොතරම් හැඟුම්බරද, අව්‍යාජද කියලා මෙ කතා බහේදි මට හිතුණා. ගැටුම් වැටුම් මැද ගලා ගිය ඇගේත් ඔහුගේත් ආදර කතාව විවාහය නැමැති කිරුළු පැලඳීමට හැකිවුයේ තිළිණිගේ මේ අව්‍යාජත්වය නිසා කීවොත් නිවැරදියි. ළහිරු තිළිණි ආදර කැඳැල්ල ගැන ඔහුගෙනුත් යමක් නොඇසුවහොත් ලොකු අඩුවක් වේවි කියා ඔබ කියාවී.

තිළිණිගේත් ඔබේත් හමුවීම ගැන ඇය ගොඩක් දේවල් කතා කළා. තිළිණි වගේ කෙනෙක් ඔබේ සහකාරිය විම ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම තිළිණි කියන්නේ ‍‍‍බොහොම සරලව, විවෘත විදියට කතා කරන කෙනෙක්. අපි දෙන්නා යාළුවෝ වගේ ඉන්න අවදියේ ඉඳලම දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරන් ඉන්නේ. මම හිතන්නේ මට ගැළපෙනම කෙනා තමයි තිළිණි.

සාම‍ාන්‍ය ප්‍රේමවන්තයින්ට වගේ අපි දෙන්නට නිතර හමුවෙන්න, එකට ගමන් බිමන් යන්න කාලයක් තිබුණේ නෑ. ඒත් මට පුළුවන් හැම වෙලාවෙම තිළිණිට කතා කළා. ඇය බලන්න ආවා. දිනපතා හමුනොවුණයි කියලා අපේ ආදරේ වෙනසක් වුණේ නෑ. එහෙම වෙන්නේ ඇය මාව තේරුම් නොගතහොත් විතරයි. තිළිණි මාව හොඳින් තේරුම් ගත්තා.

ළහිරු ‍මොකද මේ දවස්වල කරන්නේ?

සුපුරුදු පරිදි පූර්ණකාලීනව දේශපාලන කටයුතුවල නිරත වෙනවා.

විවාහයෙන් පස්සෙත් ඔබ දේශපාලනය

කරනවාට තිළිණි කැමතිද?

ඔව් මම මුලින් කීවා වගේ ඇය මාව තේරුම් අරන් ඉන්නේ. මම අරගල කරන්නේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්. ආත්මාර්ථකාමිත්වය වෙනුවෙන් නෙමෙයි. මමත් ඇයගේ කටයුතුවලට බලපෑම් කරන්නේ නෑ.

ළහිරු වැඩිපුරම හිටියේ පාරේ එහෙමත් නැත්තම් සිර ගෙදර කිවොත්?

අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු හැටියට මම ශිෂ්‍ය අරගල වෙනුවෙන් පෙරමුණ ගත්තා. උගුර ලේ රහ වෙනකම් සටන්පාඨ කීවා. සිරගත වුණා. ශිෂ්‍ය අරගලවලදී විතරක් නෙමෙයි ඕනෑම සාධාරණ අරගල වෙනුවෙන් පෙනීහිටින ඕනෑම කෙනෙකුට හිරගෙට යෑම අද සාමාන්‍ය දෙයක් වෙලා.

ලහිරු තිළිණි ආදර කතාව ගැන ඔහු අපට කීවේ එවන් කතාවක්. කොතරම් කාර්යබහුල වුවද අපේ කතාබහ වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන්කළ නව යුවල ළහිරු- තිළිණි ඔබ දෙපළට රසඳුන සුබපැතුම් එක්කරන්නෙමු.

 

Comments