මේ මුල්‍ය කළමනාකරණය අවශ්‍යම මොහොතක් | Page 2 | සිළුමිණ

මේ මුල්‍ය කළමනාකරණය අවශ්‍යම මොහොතක්

සමස්ත ආර්ථිකය ම කඩා වැටී ඇති මුත්, බොහෝ ඉක්මනින් අප ‍යථා තත්වයට පැමිණිය යුතුය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ස්වයං රැකියා නියුක්තිකයන් ඇතුළු සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයට ම බලපා ඇති මේ අවස්ථාව, වඩාත් හොඳින් කළමනාකරණය කරගන්නේ කෙසේදැයි තරුණ වෘත්තීයවේදියකුගෙන් විමසුවෙමු. ඒ අනුව, එල් බී ෆිනෑන්ස් අලෙවි ප්‍රධානී, සුදීප් පෙරේරා දැක්වූ අදහස් මේ.

• පවතින තත්ත්වය සමස්ත මූල්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රයට ම ඇති කර තිබෙන බලපෑම කෙබඳු ද...

එල් බී ෆිනෑන්ස් වගේ ම, ඕනෑම මූල්‍ය ව්‍යාපාරයක් ලීසිං, ව්‍යාපාර ණය, උපදේශන සේවා, නිවාස ණය, උකස් ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් තැන්පතු, විදේශ විනිමය හුවමාරු සේවා... යනාදි, මූල්‍ය ව්‍යාපාරයට අදාළ විවිධ සේවාවන්හි යෙදෙනවා. ඒ අනුව, මේ සේවාවන් ලබා ගත් විවිධ පුද්ගලයන් විශාල ප්‍රමාණයක්, රටේ පවතින මේ තත්වය තුළ විශාල කඩා වැටීමකට මුහුණ දී තිබෙනවා. රටේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන මේ පිරිස මුහුණ දී තිබෙන ගැටලුකාරි තත්වය, ඔවුන් මූල්‍ය සේවා ලබා ගත් ආයතනවලටත් යම් බලපෑමක් ඇති කරනවා තමයි. නමුත්, ස්ථාවර මූල්‍ය ව්‍යාපාරයක් මේ හේතුව නිසාම කඩා වැටෙන්නේ නැහැ.

• කොහොමද එහෙම වෙන්නෙ, මිනිස්සු වාරික නොගෙව්වොත් මූල්‍ය ව්‍යාපාර ආයතන පවතී ද...

අපිට සිටින වැඩිම පාරිභෝගික ජාලය, වාහන ලීසිං, රන් ණය සහ තැන්පතු වෙනුවෙනුයි. ඍජුවම යම් බලපෑමක් සිදුවූ අතළොස්සක් හැරෙන්නට හැමෝටම මේ තත්ත්වය උදාවෙලා නැහැ. මොකද, ලීසිං හෝ ෆිනෑන්ස් පහසුකම කියන්නෙ, අද මුදල් අරගෙන, අද ම ගෙවනවා කියන එක නෙවෙයිනේ. මේ සිදුවීමෙන් තව ම ගෙවී තිබෙන්නෙ මාසයයි. ඉතින් ඔවුන්ට ගෙවා ගන්න බැරි වෙයි කියන, අදහස දක්වන්න තවම වේලාසන වැඩියි.

• ලීසිං පිළිබඳ මේ වෙලාවෙ ජනතාවගේ උනන්දුව කෙබඳුද...

ලීසිං ගන්නෙ වාහනයක් ගන්නනේ. වාහනයක් ගන්න අවශ්‍ය නම්, ඒක අවශ්‍ය ම තමයි. රටේ බෝම්බ පිපිරුණාට මිනිස්සු තමන්ගෙ උවමනාවන් නැති කරගන්නෙ නැහැ. එකම දේ, ඔවුන් ඒ අවශ්‍යතාව ටිකක් කල් දානවා. එච්චරයි. ඒකත් අපිට ලොකු බලපෑමක් නෙවෙයි.

• මේ තත්ත්වය යටතේ ලීසිංවලට තිබෙන නීති රෙගුලාසි ලිහිල් කර තිබෙනවාද...

රටේ ආර්ථිකයේ කඩා වැටීමක් තිබියදී, මිනිසුන්ට අනිසි පෙළඹවීමක් ඇති කරවලා, ලීසිං වෙත යොමු කරවීම සුදුසු දෙයක් නෙවෙයි. අනික, මූල්‍ය ව්‍යාපාරයක් එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද එය පාරිභෝගිකයා සමඟ කරන කෙටිකාලීන ගනුදෙනුවක් නෙවෙයි. යම් දිගු කාලයකට කරන ආයෝජනයක්. ස්ථාවර මූල්‍ය සමාගමක් කිසි විටෙකත් මෙවැනි කාරණාවකට පෙළැඹෙන්නේ නැහැ. පාරිභෝගිකයා පොළඹවන්නේත් නැහැ.

• එතකොට මේ තත්ත්වයෙන් ගොඩ එන්න, මූල්‍ය කළමනාකරණයේ අප හැසිරිය යුත්තේ කෙසේද...

වෘත්තිකයන් වශයෙන් අප වැනි අයගේ වැඩි අවධානය යොමු විය යුත්තේත් මේ කාරණය ප්‍රමුඛ කොටගෙනයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම, මිනිසුන් උද්‍යේගිමත් කිරීම, උපදේශනය දීම සහ ආර්ථිකයට දායක වීම වෘත්තීයවේදින් ලෙස අපගෙන් සිදුවිය යුතු දේ. අප වැනි අයගේ මඟ පෙන්වීම තුළ, මූල්‍ය ක්ෂේත්‍රය තුළ කළමනාකාරිත්වයක් ඇති කර ගැනීමට ඔවුන් පෙළැඹවිය හැකියි. මොකද, ඕනෑම කෙනකුට පුළුවන්කම තිබෙනවා, වෘත්තීයවේදියකු කියන දෙයක් විශ්වාසයෙන් පිළිගන්න.

• ඉතින්, මොකක්ද ඔබ ඒ වෙනුවෙන් දෙන උපදෙස...

හැමදේට ම කලින් සිදුවූ විනාශය පිළිබඳ තැති ගැන්ම ඉවත් කරගන්න. අපි යළි නැගිටිය යුතුයි. ඒ වෙනුවෙන් සාධනීයව හිතන්න පටන් ගත යුතුයි. රටේ ආරක්ෂාවට සහය දීම සහ ජනතාව ලෙස ඉතාමත් වගකීමෙන් වැඩ කිරීම මේ මොහොතේ අපෙන් ඉටුවිය යුතු ප්‍රබල ම කාරණා. ඒ එක්කම රටේ ආර්ථිකයට දායක වෙන්න ඔබට ලැබෙන්නේ යම් අවස්ථාවක් ද, එය පැහැර නොහැර බාර ගන්න, ඉටු කරන්න. අවශ්‍ය යැයි හැ‍ඟෙන, එහෙත් අත්‍යාවශ්‍ය නොවන සියලු වියදම් කපා හරින්න. අරපිරිමැස්මෙන් ඉදිරියට යෑමයි, මේ වෙලාවෙ වැදගත් ම දේ.

 

Comments