විදෙස් චිත්‍රපට | Page 2 | සිළුමිණ

විදෙස් චිත්‍රපට

සම්මාන ගණනාවක් දිනූ හොලිවුඩ් නිර්මාණය

ද ලාස්ට් බ්ලැක් මෑන් ඉන් සැන් ෆ්‍රැන්සිස්කෝ

THE LAST BLACK MAN IN SAN FRANCISCO

පළමු විනාඩි පහේදීම විශිෂ්ටත්වය සහතික කළ හැකි සිනමා පට නිර්මාණය වන්නේ කලාතුරකිනි. ද ලාස්ට් බ්ලැක් මෑන් ඉන් සැන් ෆ්‍රැන්සිස්කෝ එවන් සිනමා පටයකි. 2019 සන්ඩෑන්ස් සිනමා උලෙළේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන ගණනාවක්ම දිනාගැනීම ඊට ඇති කදිම සාක්ෂීන්ය.

නැවුම් කතා තේමාවක් රැගත් නවතම හොලිවුඩ් නිර්මාණය ඊයේ සිට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරනු ලැබේ. සිනමා පටය ඇරැඹෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දසුන් සමඟිනි. එහෙත් ඒවා වත්මන් සැන් ෆ්‍රැන්සිස්කෝවට වඩා හාත්පසින්ම වෙනස්ය. 1949 තිරගත වූ D.O.A.සිනමා නිර්මාණය සැන් ෆ්‍රැන්සිස්කෝවල රූගත කෙරුණු අතර ද ලාස්ට් බ්ලැක් මෑන් ඉන් සැන් ෆ්‍රැන්සිස්කෝ සිනමා පටයේ භාවිත වන දෙබස් සහ දසුන් සිහි ගන්වන්නේ ඒ සිනමා පටයයි. නළු ජිමී ෆෙයිල්ස් සිනමා පටයේ රඟන්නේ ඒ නමින්මය. තවදුරටත් ඔහු දරුවකු නොවුණත් තවමත් ස්කේට් පුවරුවෙන් අහසේ නිදහසේ සැරිසරන පක්ෂියකුසේ නගරයේ සැම තැන සරන්නේය. සතියකට වරක් ඔහු ක්‍රීඩා ජැකට්ටුවෙන් සැරසුණු මිතුරා මොන්ට්ගොමරි (ජොනතන් මේජර්ස්) සමඟ ෆිල්මෝ දිස්ත්‍රික්කයේ පිහිටි ඉතා අලංකාර පැරැණි නිවෙසට ද යන්නේය.

ජිමී තදින්ම කියා සිටින්නේ සිය මුත්තණුවන් ඉදි කළ වික්ටෝරියානු මන්දිරය යළි ගොඩ නැඟීමේ සිහිනය දකින බවය. ඔහුගේ ළමා වියේ සොඳුරුතම කාල පරිච්ඡේදය ගෙවී යන්නේ සුවිසල් වික්ටෝරියානු මන්දිරය තුළය. ජිමීගේ මුත්තණුවන් තමන් සැන් ෆ්‍රැන්සිස්කෝවේ පළමු කළු ජාතිකයා බවට නිතර පුරසාරම් කියවන්නෙකි. 1946 දී ඔහු සිය දෑතේ වෙර වීරියෙන්ම නිවෙස ඉදි කරන්නේය. එහෙත් ඔහුට දිගින් දිගටම නිවෙස රැක ගැනීමට නොහැකි වෙයි. නගරයේ සෙස්සන්ට වාගේම ජිමීටත් පෙර සූදානමකින් තොරව නගරයෙන් යාමට බල කරනු ලැබේ. ස්ථිර තැනක් හමු වන තුරු ඔහුට ඉන්පසු දිවි ගෙවීමට සිදුවන්නේ සාමූහික නිවෙසකය. ජිමීගේ මිතුරා මොන්ට්ගොමරි ධීවරයකු ලෙස ක්‍රියා කරන අතර මුත්තණුවන් සමඟ දිවි ගෙවයි. බලසම්පන්න නමුදු ජිමීගේ පියා (රොබ් මෝගන්) අප්‍රසන්න පුද්ගලයකු වන අතර පිය පුතු හමුව සිදුවන්නේ ඉතා කලාතුරකිනි.

ජිමීගේ නිවාස සිහිනය සැබෑ ව‍න්නේ නැත. දැන් වික්ටෝරියානු නිවෙසේ වටිනාකම ඩොලර් මිලියන 4කි. ඔහුට අහිමි වූ ඒ නිවෙස යළි හිමි කර ගැනීමට නොහැකි වෙයි. නිවෙස අහිමි වුණත් ඔහුට කුමන හෝ දෙයක් තමන්ට කියා හිමි කරගැනීමේ වුවමනාව තිබේ. අඩු වශයෙන් ඔහුට කළු ජාතිකයකු ලෙස සිය අනන්‍යතාවවත් හිමිකර ගැනීමට අවශ්‍ය වී තිබේ.

සැන් ෆ්‍රැන්සිස්කෝ බිඳදමන්නේ ජිමීගේ හදවත පමණක් නොවෙයි. එහි සුදු ජාතිකයන්ට සිටින සුනඛයන් සංඛ්‍යාව කළු ජාතිකයන් ගණනට වඩා අඩුය. සංචාරකයන්ට පාරාදීසයක්වූ නිදහසේ දිවි ගෙවන්නන්ට ක්ෂේම භූමියක් වූ කලාත්මක සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය තව දුරටත් දක්නට ලැබෙන්නේ නැත. තාක්ෂණික සමාගම් නාගරීකරණය ආදරණීය නගරයේ හැඩතල වෙනස් කර තිබේ. ළදරු උපත් අනුපාතය, ළමා ජනගහනය, සුළු ජාතීහූ වඳ වී ගෙන යන සතුන් බඳුය. ඌබර්ස්, ලියාපදිංචි නැති ටැක්සි සේවාවන්, ගූගල් සහ ඇපල් සේවකයන් ප්‍රවාහනය කරන බස්රථවලින් මාවත් පිරී තිබේ. ජිමී වැනි බොහෝ ස්වදේශිකයෝ අතීත ශ්‍රී විභූතිය අයැද සිටිති. බටහිර පැරීසිය ලෙස නම් ලද සැන් ෆ්‍රැන්සිස්කෝව පමණක් නොව ලොවටම වර්ණ භේදය, නාගරීකරණය ගැටලුවක් වී තිබේ.

ද ලාස්ට් බ්ලැක් මෑන් ඉන් සැන් ෆ්‍රැන්සිස්කෝ අතිශය කලාත්මක අයුරින් මිත්‍රත්වය, පිය උරුමයට ඇති බැඳීම, සෙනෙහස, සමාජ විපර්යාසය සෙලියුලොයිඩ් පටයේ සිත්තම් කර තිබෙන බව විචාරකයන්ගේ අදහසය. සිනමා පටයට ලැබෙන රසික ප්‍රතිචාර ද ඉතා ඉහළය. ජෝ ටැල්බොට් සිය මංගල අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් සහ තිර රචනයෙන් ද දායකවී තිබේ. මේ සිනමා වෘත්තාන්තය ජිමීගේ සැබෑ ජීවිතයට ද මඳ වශයෙන් නෑකම් කියයි.


කාමෝෂි (නිහැඬියාව)

කාන්තාව තව දුරටත් නිහඬ නැත. ඇයගේ හඬ අවදි වන්නට පටන් ගෙන තිබේ. එනිසාම කාන්තාව කේන්ද්‍ර කරගත් සිනමා රැල්ලක් ද බිහිවී අවසන්ය. ජූනි 14 වැනි දින සිට තිරගත වන කාමෝෂි බොලිවුඩයෙන් තිළිණ වන නවතම කාන්තා කේන්ද්‍රීය සිනමා පටය ය. ප්‍රභූ දේවා, තමන්නා ප්‍රධාන චරිත රඟන කාමෝෂි අධිතාත්වික අද්භුත සිනමා පටයකි. තමන්නා රඟන්නේ ගොළු බිහිරි තරුණියකගේ චරිතයයි. 2016 තිරගත වූ ‘හෂ්’ අමෙරිකානු සිනමා පටයේ ප්‍රතිනිර්මාණයක් වන කාමෝෂි, කොලෛයුතිර් කාලම් නමින් දමිළ බසින් ද ජූනි 14 වැනි දිනම තිරගත වෙයි. දමිළ සිනමා පටයේ තමන්නාගේ චරිතට රඟන්නේ නයනතාරාය. නිවෙස එළිපත්තේ සිටින මිනීමරුවා සමඟ ගොළු බිහිරි තරුණියක ජීවිතය බේරා ගැනීම‍ට කරන ලොමුඩැහැ ගැන්වෙන සටන මේ සිනමා පටයෙන් නැරඹිය හැකිය.


උණ්ඩා UNDA

උණ්ඩය නැත්නම් උණ්ඩා ජූනි 6 වැනිදා සිට තිරගත වන මලයාලම් ක්‍රියාදාම ප්‍රහසන සිනමා පටයකි. ඛලිද් රහ්මන් අධ්‍යක්ෂණය කළ මේ සිනමා පටයේ තේමාව දකුණු ආසියානු දේශයන්ට පොදුවූ අත්දැකීමකි. කතාව ගෙතී ඇත්තේ දූෂිත මැතිවරණ කාලයක නව දෙනකුගෙන් යුතු පොලිස් කණ්ඩායමක් මෙහෙයවන උප පොලිස් පරීක්ෂක මනිකන්දන් (මැමූති) පාර්ලිමේන්තු ඡන්ද රාජකාරියේ යෙදෙද්දී මුහුණ දෙන අභියෝගය.

Comments