මිතු­රකු නිසා රංගන වරම් ලද තරිඳු ධනුෂ්ක | Page 2 | සිළුමිණ

මිතු­රකු නිසා රංගන වරම් ලද තරිඳු ධනුෂ්ක

රංගන ලොවට අලුතෙන් පායා එන තරුවක් ලෙස පානගේ තරිඳු ධනුෂ්ක හැඳින්විය හැකිය. අද රසඳුන ‘මී ළඟ පරපුර‘ විශේෂාංගයට කැඳවාගෙන එන්නේ ඔහුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ ප්‍රදේශයේ උපන් ධනුෂ්ක පැපිලිවල කණිෂ්ට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

පාසල් කාලයේ සිටම රංගනයට ඇලුම් කළ ඔහු පාසල් වේදිකාවේ කැපී පෙනෙන නළුවකු විය. අධ්‍යාපනය නිමවී රැකියාවට යාමත් සමඟ ඔහුගේ රඟපෑම අඩාල විය. එහෙත් රැකියා ස්ථානයේදී හමුවූ මිතුරු ඩොරිප් ඔහුට යළිත් රඟපෑම සඳහා අවස්ථාව ලබා දෙන්නේ නන්දසේන මහතාට හඳුන්වා දෙමිනි.

‘‘මම රංගනයෙන් ඈත්වෙලා හිටියේ නමුත් මගේ යහළුවා ඩොරිප් නිසා මට යළිත් අවස්ථාව ලැබුණා. ඔහු මට ඊට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව මම මුලින්ම රඟපෑවේ ‘සුදු අඟුරු‘ ටෙලි නාට්‍යයේ. ඉන්පස්සේ අහස් මාලිගා, අපේ ආදරේ, පැකේජ්, සකූගේ කතාව, රාවණ යන ටෙලි නාට්‍ය වල රඟපාන්නට අවස්ථාව ලැබුණා. ඉදිරියටත් මම විවිධ චරිත රඟපාන්නට කැමැත්තෙන් සිටිනවා.

මගේ මේ ගමනට විශාල අත්වැලක් වුණේ මගේ මිත්‍රයා ඩොරිප්. ඒ වගේම මගේ අම්මා, තාත්තා වගේම පවුලේ අනිත් අය, ගම් වැසියන් මට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම මගේ පාසලෙන් ලැබුණු දිරිගැන්වීමත් මට අද හුඟක් වටිනවා. මගේ බලාපොරොත්තුව ඉදිරියේදී චිත්‍රපටයක ප්‍රතිවීර චරිතයක් රඟපෑමයි.”

ධනුෂ්ක පවසන්නේ බලාපොරොත්තු සහගතවයි. ටෙලි නාට්‍යවල රඟපෑමට අමතරව ඔහු බුද්ධික රඹුක්වැල්ලගේ ‘බඹරි මගේ‘ ගීතයේද, සහ ‘උණුසුමක් සිත‘ ගීතවල රූප රචනාවලත් උදුම්බරා චිත්‍රපටයේද රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

ඔහුට ලියන්න - 25/3 e, ජර්මන් වත්ත, පැපිලිවල

-රන්සික

Comments