මව හා දිය­ණි­යක් ද මව, පුතු හා මිනිපි­රි­යක් ද එක්ව සැතැ­පෙණු දිටිමි | Page 2 | සිළුමිණ

මව හා දිය­ණි­යක් ද මව, පුතු හා මිනිපි­රි­යක් ද එක්ව සැතැ­පෙණු දිටිමි

අදහාගන්නට නොහැකි විදියේ දුක්බර වේදනාබර වියෝවීම් සිහියට නංවන සමීපරූපවලින් ඉන්ද්‍රචාපගේ සමීපරූපාවලිය පිරිලාය. ඒවා සමහරක් ඉන්ද්‍රචාප විසින්ම අත්විඳි ජීවිතය පවතින තෙක් මැකී නොයන ඛේදජනක සමීපරූපයි. පවුලේ සමීපතමයකු ඇළක දොළක දී මහමග දී නොසිතූ මොහොතක නොසිතූ විලසින් සියල්ලන් හැර දා ගිය අවස්ථාවක සමීපරූප මතකයෙන් ඈත් කරන්නට කොතෙක් උත්සාහ ගත්තත් ඒක නිෂ්ඵල උත්සාහයක් වග ඉන්ද්‍රචාපට වැටහෙයි. වේදනාබර වියෝවීම් පිළිබඳ ඉන්ද්‍රචාපගේ සමීපරූප මතකය අලුත් වුණේ බක් මහ කළු පාස්කු ඉරිදාවේ කොළඹ දී ඒ වගේ අදහාගන්නට නොහැකි වියෝවකට මුහුණ දුන් මිතුරියක හා ඇගේ දියණිය ජීවිතයෙන් සදහටම සමුගන්නට පෙර ඔවුන්ගේම වහල යට එක්ව සැතැපී සිටිනු දුටු මොහොතත්, ඉතාම ආසන්න දිනෙක ඉන්ද්‍රචාපගේ පැරැණි කාර්යාලයක සමීපතම සගයකුගේ නැන්දණිය, ඇගේ පුතු හා මිනිපිරිය ඔවුන්ගේ නිවෙසේ වහල යට එකට සැතැපී නිදණු දකින්නට ලැබුණු සමීපරූපත් සිත තුළ හොල්මන් කරන්නට පටන්ගත් නිසා යි.

ඉන්ද්‍රචාපගේ සමීපරූප අතරට කුමාර් මායාදුන්නේගේ සමීපරූපය එක්වන්නේ 80 දශකයේ අග භාගයේ නැත්නම් 90 දශකයේ මුල් කාලයේ සිට. ඉන්ද්‍රචාපගෙ රාජකාරියට සම්බන්ධ පෞද්ගලික බැංකුවක කළමනාකරුවකු විදියට හඳුනාගන්න ලැබුණු සුන්දර මිත්‍රයෙක් විදියට කුමාර්ගෙ සමීපරූපය අතරට ඔහුගෙ ආදරණීය බිරිය ශාන්තා වගේම දියණි නිසංගාගෙ සමීපරූප එකතුවන්නෙ ඉන්ද්‍රචාපගෙ කලා ලෝකයෙ හිතමිත්‍රාදීන්ගේ නොයෙක් ආකාරයේ උත්සවවලදි. ශාන්තාගෙ අතින් රසට පිළියෙල වුණු හැඩ වැඩ වුණු උපන්දින කේක් කෑල්ලක මිහිරි රසය සමීපරූප මැදින් පෙනෙන ඇගේ සුන්දර හිනාව අතරින් ඉන්ද්‍රචාපගෙ මතකයට එනව. අම්මත් සමගම මේ වගේ හමුවීම්වල දි අඳුනාගත්ත ඉතාම සුන්දර යුවතියක් විදියට නිසංගාගෙ මුහුණත් ඉන්ද්‍රචාපට මතක්වෙනව. මේ සුන්දර මුහුණු දෙකම පන්නිපිටියේ ඔවුන්ගේ නිවහනේ නිහඬව, නිසලව එකට සැතැපී හිඳිනු දකින්න ලැබේවි කියා ඉන්ද්‍රචාපට කිසි දිනෙක හිතුණෙ නැති වුණත් බක්මාසෙ 21 දා ශැංග්‍රිලා හෝටලයට කඩා වැදුණු මිනීමරුවන්ගෙ බෝම්බය ඔවුන් දෙදෙනාගේම සුන්දර මුහුණු අප අතරින් සදහටම ඈත් කළා. ඒත් ඔවුන් සමග තිබුණු සුන්දර මතක කිසිදා අමතක වන එකක් නෑ.

සමූහ මරණ, සමූහ මිනී පිළිබඳ කතා, රූප අසා, දැක තිබුණත් ජීවිතයේ පළමු වතාවටයි එකම වහළක් යට දෙන්නෙක් සැතපෙන සමීපරූපයක් දැක්කෙ. ඒ මව හා දියණි, ශාන්තා හා නිසංගා, ඉන්ද්‍රචාපගෙ හිත මිතුරන්.

ඒ දු:ඛදායක සමීපරූප අතරට දවස් කීපයකට පෙර එකම වහළයක් යට සැතැපුණු, අම්මා කෙනෙක්, ඇගේ වැඩිහිටි පුතු හා ඔහුගෙ දියණි දකින්නට ලැබුණෙ මඩාටුගම දී සිදුවෙච්ච වාහන අනතුරක ශෝකජනක අවසානයක් විදියට. මියගිය තුන්දෙනා සමග ඉන්ද්‍රචාපගෙ සම්බන්ධයක් නැති වුණත්, ඔවුන් ඉන්ද්‍රචාපගෙ සමීප කාර්යාල සගයකුගෙ පවුලෙ ඥාතීන්. තුසිත් ගුණවර්ණසූරිය (INSEE Cement) ඉන්සී සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙක්. හොල්සිම් කාලෙ ඉඳලා දන්න අඳුනන හොඳ මිත්‍රයෙක් විදියට තුසිත්ගෙ පවුලෙ සමීපතමයින්ට අත්වුණු මේ දුක්ඛදායක ඉරණම ඉන්ද්‍රචාපගෙ හිත ආපහු මහා දුකකින් පිරෙව්වා. ඔවුන් එක්කෙනෙක්වත් මේ වගේ වේදනාබර ඉරණමකට ගොදුරු නොවිය යුතු යහපත් අය. අම්මා කුමාරිහාමි රන්දෙණිය, පුතු සරත්කුමාර වීරසේකර, දියණි සෞභාග්‍යා දේවින්දි වීරසේකර එකට සැතපී ඉඳලා එකට එකම බිමක මිහිදන් වුණු සමීපරූප, ඉන්ද්‍රචාපගෙ ඒ වර්ගයේ දුක්බර සමීපරූප අතර. වෑන් රථයෙ කාර්මික දෝෂයකින් පාලනය කරගන්න නොහැකි වුණු රථය ඉදිරියෙන් ආ ලොරියක ගැටී මේ ජීවිත නැති වුණත් සමහර ප්‍රාදේශීය මාධ්‍ය ඔස්තාද් ලා අනතුර රිය­ැදුරා පිට පටවන්න උත්සාහ ගෙන තිබුණලු ඔහුට නින්ද ගිහිං හිටපු කතාවක් ගොතලා. ඒ වගේ ප්‍රලාප මේ පවුලෙ දුකට පත් ඥාතීන් තවත් දුකට පත් කරල තිබුණු වග ඉන්ද්‍රචාපට දැනගන්න ලැබුණ. වෑන් රථය පදවපු පුතා, සරත්කුමාර වාහනය පාලනය කරගන්න ගත්ත උත්සාහය ගැන සාක්ෂි කියන්නෙ ගැටුණු ලොරියෙ රියැදුරා. මේ වගේ ප්‍රලාප ගොතන පුහු මාධ්‍ය වීරයො ගැන ඉන්ද්‍රචාප හොඳින් දන්නවා. ඒ කතා කොහොම වුණත්, මේ වගේ වේදනාකාරී වියෝවීම් තමන්ගෙ පවුලෙ ඥාතියකුට, හිත මිත්‍රයකුට නොවෙයි, වනේ වන හතුරකුටවත් නොවේවා කියලයි ඉන්ද්‍රචාප ප්‍රාර්ථනා කරන්නෙ.

මාතලේ පළාපත්වල ඉන්ද්‍රචාපගේ මිතුරාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් ලියැවුණු මේ පද අපට ජීවිතය කියා දෙනවා යැයි හිතනවා.

සියලු දේ අතහැර කළ හොඳ පමණක් ඉතිරි කොට..... සුළඟක් සේ පැමිණ පුලුන් වලා රොදක සැඟව නොමියෙන මතකයන් තබා සුසුම් වැල් හද රුවා නික්ම ගියේ ඔබ.... ජීවිතය කියන්නේ අත්හැරීම කියාදෙන පාඩමක්. තුසිත්ගෙ ඥාතීන්ගෙ වියෝවීම වගේම ශාන්තා, නිසංගාගෙ වියොවන්ද අපට මතක් කර දෙන්නෙ ඒ ධර්මතාවයි.

Comments