ආලෝක පූජාව හා බැඳුණු තායි­ලන්ත උත්ස­වය Loy Krathong | Page 2 | සිළුමිණ

ආලෝක පූජාව හා බැඳුණු තායි­ලන්ත උත්ස­වය Loy Krathong

පසුගිය මස එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු අපේ රට තවමත් යථා තත්ත්වයට පත්වී නැති බව දක්නට ලැබෙනවා. මේ තත්ත්වය වඩාත් දැනෙන්නේ වෙනදා වෙසක් උත්සවය වෙනුවෙන් සිදුකෙරෙන බොහෝ ක්‍රියාකාරකම් මෙවර කිසියම් අඩුවීමක් දක්නට ලැබෙන නිසා. මේ නිසා වෙනදා මෙන් වෙසක් සිරිය රට පුරා දකින්නට ලැබෙන්නේ නෑ. වෙසක් උත්සවය යනු පහන් කූඩු සෑදීම හා දැවැන්ත තොරණ සැකසීම පමණක් නොවූවත් වෙසක් උත්සවයට ආවේණික එම අංගයන් නිසා වෙසක් උත්සවය අපේ රටේ තිබෙන ඉතාමත් දර්ශනීය උත්සවය බවට පත් වනවා. මෙවැනි පහන් කූඩු නිර්මාණය කිරීම ආසියානු රටවල්, විශේෂයෙන්ම බෞද්ධ රටවල උත්සව සැරසිල්ලක් ලෙසින් පමණක් දකින්නට ලැබෙනා අංගයක්. වෙසක් උත්සවය නොවුණත් ඒ හා සමාන ලෙසින් ආලෝක පූජාව හා බැඳුණු තායිලන්ත උත්සවයක් වෙත අද රසඳුන අතැඹුල විශේෂාංගයෙන් ඔබව රැගෙන යනවා.

චන්ද්‍ර දින දර්ශනයේ අවසාන පොහොය වන නොවැම්බර් මස පසළොස්වක පොහෝ දිනය අවට දිනක පැවැත්වෙන මේ උත්සවය හඳුන්වනු ලබන්නේ Loy Krathong (ලොයි ක්‍රැතොන්ග්) යන නමිනි. තායි භාෂාවට අනුව ‘පාවෙන කෙසෙල් කොට සැරසිල්ල‘ යන අර්ථය මෙම ‘ලොයි ක්‍රැතොන්ග්‘ වචනය තුළ ගැබ්ව තිබෙනවා. මෙයට හේතුව වන්නේ මෙම උත්සවයේ ප්‍රධානම අංගය වන්නේ අලංකාරවත්ව සැකසූ කුඩා කෙසෙල් කොට කැබැල්ලක් (ජලයේ පා වීම සඳහා) මත පහනක් දල්වා ජලයේ පා කර හැරීම නිසායි. නපුර හා අයහපත පා කර ඈතට යැවීම අරමුණු කරගෙන මෙම සැරසිල්ල ගංගාවක, වැවක හෝ පොකුණක තායිලන්ත වැසියන් පා කර හරින අතර පුරාණ ලියවිලි වලට අනුව ඔවුන් මෙම චාරිත්‍ර ආරම්භ කර තිබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට ගරු කිරීමක් ලෙසින්.

වර්තමානයේදීත් පවුල්වල සියලු සාමාජිකයන් එකතු වී හෝ පෙම්වතුන් හා පෙම්වතියන් එකට එකතු වී මේ චාරිත්‍රය සිදු කරන අතර ජලයේ පා කර හැරීමට ප්‍රථම සැරසිල්ල මතට කාසි කිහිපයක් නිය කැබැල්ලක් හෝ කෙස් ගස් කිහිපයක් තැබීමද සුලබව දකින්නට ලැබෙනවා. මීට අමතරව තායිලන්තයේ විවිධ ප්‍රදේශවල මේ උත්සවය සැමරීමේ සුළු සුළු වෙනස්කම් දකින්නට ලැබෙනවා. මධ්‍යම තායිලන්තයේ සුකෝතායි ප්‍රදේශය මේ ලොයි ක්‍රැතොන්ග් උත්සවය ආරම්භ වූ ප්‍රදේශය ලෙසින් හඳුන්වන අතර ඔවුන් මේ උත්සවය දින පහක් පුරා සමරනු ලබනවා. සැරසිලි ජලයේ පා කිරීමට අමතරව පෙරහර හා ජන ගී ප්‍රසංගද මේ ප්‍රදේශයේ දකින්නට ලැබෙනවා.

උතුරු තායිලන්තයේ චියෑන්ග් මායි ප්‍රදේශයේදී ලොයි ක්‍රැතොන්ග් උත්සවය හා යී පෙන්ග් උත්සවය මිශ්‍ර වනවා. එනම් අහසේ පා කරනු ලබන පහන් කූඩු විශාල ලෙසින් ඔවුන් අහසට මුසු කරනවා. මීට අමතරව මේ ප්‍රදේශයේද පෙරහර දකින්නට ලැබෙන අතර මල් වෙඩි සංදර්ශන හා සංස්කෘතික අංගයන් ප්‍රසිද්ධ ස්ථානෙවල පවත්වනු ලබනවා. අපේ රටෙත් නැවතත් සියලු කරදර දුරු වී පෙර පරිදි වෙසක් උත්සවය සැමරීමට හැකියාව ලැබේවායි කියා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු.

 

Comments