අවු­රුදු හතේදී ලෝකය ජය ­ගත් ධාවන පථයේ ගිනි දල්ල | Page 2 | සිළුමිණ

අවු­රුදු හතේදී ලෝකය ජය ­ගත් ධාවන පථයේ ගිනි දල්ල

උසේන් බෝල්ට් කියන්නේ ලෝකයම හෙල්ලූ සුපිරි තරුවක්. ඔහු පිට පිට ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වූයේ ලෝක වාර්තා අලුත් කරමිනි.

නැවතත් මෙවැනි ක්‍රීඩකයකු දැකීමට නොහැකි වේ යැයි බියෙන් පසු වූ පුද්ගලයන්ට යම් කිසි සහනයක් ඇතිවූයේ පසුගිය මස ඇමෙරිකාවේ කනිෂ්ඨ මළල ක්‍රීඩා උලෙළකදී කුඩා දරුවකු පෑ දස්කම් දැකීමෙනි.

කනිෂ්ඨ රුඩොල්ෆ් ඉන්ග්‍රම් නම් සත් හැවිරිදි මෙම දරුවා ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙන්නේ ‘ගිනි දල්ල‘ යන නාමයෙනි. මීළඟ උසේන් බෝල්ට් ලෙසින්ද සමහරුන් මෙම දරුවා හඳුන්වන්නේ ඔහු තම සමවයස් කාණ්ඩයේ සිටි අනිත් දරුවන් ඉතාම විශාල පරතරයකින් පරාජය කිරීමේ වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසැරීමට පටන්ගත් පසුයි.

අද අතැඹුලෙන් මේ දරුවා පිළිබඳව ඔබ වෙත ගෙන එන්නේ මොහු ප්‍රසිද්ධ නිසාම නොවෙයි. ඔහු මේතාක් පැමිණි ගමනින් පවා අපට උගත හැකි පාඩම් තිබෙන නිසායි.

ලොවම මවිත කරවූ මෙම දරුවා උපතින්ම ධාවන ශූර­‍ෙයක් නම් නොවේ. ඔහුට වයස 4ක් පමණ වන විට ඔලිම්පික් තරග නැරඹීමෙන් පසුව පුංචි රුඩොල්ෆ් හට ධාවන ශූරයකු වීමේ සිහිනයක් ඇතිවෙනවා.

මොහු කරන්නේ පසුදා උදෑසනම සිට සිය පුහුණුවීම් ආරම්භ කිරීමයි. ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවේ ජීවත්වන මෙම දරුවාගේ ජයග්‍රහණය පසුපස සිටින්නේ ඔහුගේ ආදරණීය පියාණන්. ඔහුගේ ක්‍රීඩා උපදේශක, කළමනාකරු, පුහුණුකරු වැනි සියලුම තනතුරු දරන්නේ ඔහුගේ පියා වන අතර තම දරුවාගේ දක්ෂතාවලින් තමා ඉතාම සතුටට පත් වන බව ඔහු පවසනවා.

මනා පුහුණුවීමකින් ඉහළ දක්ෂතා ළඟා කරගත හැකි බවට මෙම දරුවා සාක්ෂි දරන්නේ දිනපතා ඉතා වෙහෙස වී කරනා පුහුණුවීම්වලට මනා ප්‍රතිඵල ලැබෙන නිසායි.

පිට පිට තුන්වරක් කනිෂ්ඨ මීටර 100 ශූරතාව ජයග්‍රහණය කළ රුඩොල්ෆ් මෙවර වාර්තා කළ කාලය වන තත්පර 13.48 පසුගිය වසරේ ඔහු වාර්තා කරන ලද කාලයට වඩා තත්පර 1.5ක් ඉදිරියට පැමිණ තිබීම පුහුණුවීම්වල ප්‍රතිඵල ලොවටම කියාපාන අවස්ථාවක්.

මේ ගැන ඔහුගේ පියා පවසන්නේ ඔහු කොතරම් උදව් කළත් රුඩොල්ෆ් සතුව තිබෙනා මනා සංයමය හා තරගකාරි මානසිකත්වය ඔහුව ඉදිරියට ගෙන යන බවයි.

ඇමෙරිකානු ෆුට්බෝල් පුහුණුකරුවකු වන තම පියා සමඟ දිනක ඇමෙරිකානු ෆුට්බෝල් තරුවක් වීමට සිහින දකිනා මෙම කුඩා ගිනි දල්ල පන්ති කාමරය තුළත් ඉතා උනන්දුවෙන් තම අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ සියලු විෂයන්වලට ඉහළම ලකුණු ලබාගනිමිනි.

රුඩොල්ෆ් මාධ්‍ය වෙත පවා ප්‍රකාශ කර තිබුණේ තමන් තරග වදින විට ඔහුට දිය හැකි උපරිමය යොදා ජයග්‍රහණය කිරීමට උත්සාහ දරන බවයි.

දක්ෂතා යනු තමන් සිදු කරනා පුහුණුවීම්වල ප්‍රතිඵලයක් බව පවසන ඔහු තවමත් කුඩා දරුවකු වූවත් තරගවදින විට පරිණත ක්‍රීඩකයකු මෙන් බැරෑරුම් පෙනුමකින් සිටින්නේ ශාරීරිකව තරගය ජයගැනීමට නම් මානසිකව තරගය ජය ගැනීම අනිවාර්යය බව පවසමිනි.

මේ නිසා තරගයේ ප්‍රතිඵලය කුමක් වූවත් තරගයට පෙර ඔහු සිටින්නේ තමා දැනටමත් ජය ගෙන සිටින බව සිතා ඉතාම ධනාත්මක මානසිකත්වයකිනි. මෙම වචන ඇසූ විට ඕනෑම කෙනකුට සිතෙන්නේ ඔලිම්පික් පදක්කම් නොමැති වූවත් දැනටමත් ඔහු ලෝකය ජය ගෙන ඇති බවයි. 

 

Comments