තරු තොරතුරු | Page 2 | සිළුමිණ

තරු තොරතුරු

මිෂෙල්ට ලැබුණු ලියුමේ තිබුණු ඉල්ලීම

මේ දිනවල ස්වර්ණවාහිනිය හි විකාශනය දඩයම් බඹරු ටෙලි නාට්‍යයේ ‘කවීෂා’ ලෙසින් චරිත නිරූපණය කරන මිෂෙල් තවත් ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ප්‍රේක්ෂකින් අතරට එනවා. ඒ පූරි සහ කන්තෝරු මෝරු යන ටෙලි නාට්‍ය තුළින්. නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මිෂෙල්ට භේදයක් නැතුව හැම කෙනාගේම ආදරය ලැබෙනවා. මිෂෙල් කාලයක් තිස්සේ සමාජ කටයුතුවල නියැලෙන කෙනෙක් කියන එක කවුරුත් දන්න කාරණාවක් නේ. මේ දිනවල ඇය රංගන කටයුතු කරන අතරතුරේදී රජරට විශ්ව විද්‍යාලයත් එක්ක එකතු වෙලා අලුත් ව්‍යාපෘතියක් කරගෙන යන කෙනෙක්. දැන් නම් මිෂෙල් ගැන කියන්න යන්නේ වෙනස්ම කතාවක්.

පසුගිය දවසක ඇයට අපුරු ලියුමක් එවලා කියලා දැන් ගන්න ලැබුණා. ඇත්තටම ඒ ලියුම එවලා තිබුණේ කවුද කියලා දැන ගන්න අපි ඇයට කතා කළා.

මිෂෙල්, ළඟදී ලැබුණු ලියුම ‘ආදර ලියුමක්’ කියන කතාව මොකද්ද ?

‘‘අනේ...ආදර ලියුමක් නෙමෙයි. ඇත්තටම ඒ ගැන පළමුවැනි වතාවටයි මාධ්‍යයට කියන්නේ. ඒ ලියුම මට ලැබුණේ ළමා නිවාසයකින්. ළමා නිවාසයක ඉන්න පුංචි ළමයෙක් එවපු ලියුමක්. ගිය අවුරුද්දේ මම මගේ උපන්දිනය දවසේ ළමයින් ටිකක් එකතු කරගෙන කොළඹ ගෙනාවා නේ. ඒ ගැන ලිපියක් පත්තරයක දැකලා තමා මේ ලියුම ලියලා තිබුණේ. එයා මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. එයා ඇතුළු ළමා නිවසේ ඉන්න ළමයින්ව දවසක කොළඹ ගේන්න, ඒ අය අාසා කරන තැන්වලට එක්කගෙන යන්න පුළුවන්ද කියලා. මේ අවුරුද්දේ උපන්දිනයට ඒ අයගේ ඉල්ලීම ඉටු කරන්න හිතාගෙන ඉන්නවා‘‘ ඇය අවසානයේදී කියුවා.


ගිහාන් අලුත් අත්දැකීමක් එක්ක

වේදිකාව ගැන කතා කරන හැම මොහොතකම කියැවෙන නම් අතර ඔහුගේ නම මුලින්ම කියැවෙනවා කියන දේ කිව යුතුමයි. අපේ රටේ සිටින දක්ෂ , ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙසින් ගිහාන් ප්‍රනාන්දු හඳුන්වා දෙන්න පුළුවන්. මේ දිනවල ඔහු අලුත් වේදිකා නාට්‍යයක් එක්ක අලුත් අත්දැකීමක් අරගෙන රට පුරා යනවා කියලා අපිට දැන ගන්න ලැබුණා. ලංකාවට අලුත් අත්දැකීමක් අරගෙනයි මේ වේදිකා නාට්‍ය මේ දිනවල කොළඹ දී වේදිකාගත වෙන්නෙ.

‘‘අලුත්ම වේදිකා අත්දැකීම ගැන හැමෝම කතා වෙනවා නේද?

‘‘ඔව්. චාමික හත්ලහවත්තගේ ‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකා නාට්‍යය අනිත් වේදිකා නාට්‍ය එක්ක බලද්දී විශේෂත්වයක් තියෙනවා. අපි තාක්ෂණික දේවල් සමඟ ජන ශ්‍රැතියේ එන නාද රටා භාවිතා කරමින් කළ නිර්මාණයක් මේ. අපි මේක ශාන්තිකර්මයක් හැටියට කරන්නේ. මෙය සාමාන්‍ය නාට්‍යයකට වඩා වෙනස්. අපි නාට්‍යය අවසානයේදී ප්‍රේක්ෂකගාරයත් එක්ක සංවාදයක් ඇති කර ගන්නවා. හැම නාට්‍යයක් අවසානයේදීම ඒ දේ සිදු වෙනවා. මේ දේ ලංකාවට අලුත් අත්දැකීමක්. දැනට අපි කොළඹ දර්ශන වාර 3 ක් අවසන් කර තිබෙනවා. ඉදිරියේදී ලංකාව පුරා වේදිකාගත කරන්න සුදානමින් ඉන්නවා’ ඔහු එහෙම කියමින් සමුගත්තේ සතුටින්.


සංගීත්ගේ සැබෑවුණු හීනය

නව පරපුරේ රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහට රංගනය වගේම ගායනයද මනා ලෙස පිහිටා තිබෙනවා. පසුගිය දා සංගීත් ගේ අලුත් සිහිනයක් සැබෑ වුණා. මේ හීනය නම් වෙනස්ම හීනයක් කියලා මුලින්ම කියන්න ඕන.

‘සංගීත් ට රංගනය එපා වෙලා වෙන රැකියාවක් තෝර ගත්තලු නේද?’

‘‘ඔය කතා කරන්නේ මගේ ඡායාරූප ශිල්පය ගැන වෙන්න ඇති. මම කලින් ඉඳන්ම photography ඉගෙන ගත්ත කෙනෙක්. මට ආසාවක් ආවා වෘත්තිමය පැත්තෙන් ඉදිරියට පටන් ගන්න ඕන කියලා. . රංගනය හැමදාම එක. දෙවනියට මේක. මගේ හිතේ තිබුණා මංගල ඡායාරූප ශිල්පියෙක් වෙන්න. එය වෙනමම කලාවක්. මට දැනෙනවා මා තුළ එයට අවශ්‍ය ඉව තියෙනවා කියලා. ඒ නිසයි මම ඒ පැත්තට යොමු වුණේ. wedding එකක් කියන්නේ කෙනකු ගේ ලස්සනම දවසක් නේ. ඒ දේ තවත් ලස්සන කරන්න මට පුළුවන් කියලා මම හිතුවා. රංගනය තමයි මගේ වෘත්තිය. එකෙන් ලැබෙන මුදල මට ජිවත් වෙන්න් ඇති. ඒක මට ගැටලුවක් නෙමෙයි. නමුත් මම හිතනවා කෙනෙක් එකම දේකට කොටු වෙන්න ඕන නැහැ කියලා. වෘත්තිමය හැකියාව මත සහ තමන්ගේ දක්ෂතාවය මත කෙනෙක්ට දේවල් ගොඩ නඟා ගන්න පුළුවන්. මේ මම අසා කරපු එක දෙයක්. මේක මගේ තවත් එක හීනයක්. ඒක දැන් සැබෑ වෙමින් පවතිනවා’ කියා ඔහු පැවසුවා.


ගීතා කාන්ති පදිංචිය වෙනස් කරයි

ඇය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක් ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ’මුතු අහුර’ ටෙලි නාට්‍යයට හඬ කැවීම් වලින් එකතු වී සිටිනවා. ඇය පසුගිය දා පදිංචිය වෙනස් කළා කියලා දැනගන්න ලැබුණා.

‘‘අපි අලුත් ගෙදරක පදිංචියට ආවා. නුගේගොඩ. කලින් වැල්ලම්පිටියෙ හිටියේ. දුවත් එක්ක දැන් නුගේගොඩ ඉන්නේ.’ කියමින් ඇය අපි සමඟ පැවසුවා. 1978 වසරේ කැලණි පාලම වේදිකා නාට්‍යයේ රඟපාමින් කලාවට පිවිසි ඇය වසර 41ක් තිස්සේ තවමත් කලාවේ ඉදිරියෙන්ම සිටිනවා. තවමත් ඇය කැලණි පාලම වේදිකා නාට්‍යත් සමඟින් රටපුරා යන ඇය නුදුරේදීම අලුත් සිනමා නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න සුදානමින් ඉන්නවා කියලත් අපට දැන ගන්න ලැබුණා. ඒ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්මයාගේ ‘ශ්‍රී සිද්ධා’සිනමා නිර්මාණයෙන්.

 

 

Comments