119 වැනි රුහුණු නිල් මහා හටන | සිළුමිණ

119 වැනි රුහුණු නිල් මහා හටන

ලාංකේය පාසල් මහා ක්‍රිකට් ගැටුම් වසර 140 ක ඉතිහාසයකට හිමිකම් කීවද, එකී ඉතිහාසයේ තවමත් තෙදිනක් තිස්සේ පැවැත්වෙන මහා ක්‍රිකට් තරග සංඛ්‍යාව තුනකි. ඉපැරැණිම තරගය ලෙස කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සටන ඉහළින් ම සටහන් වෙයි. මෙවර 140 වැනි වරට පැවැති රාජකීය - ශාන්ත තෝමස් නිල් මහා සටන ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු හතකින් ජය ගැනීමට සමත් විය.

සිතාර හපුහින්නගේ නායකත්වය යටතේ ශාන්ත තෝමස් විද්‍යාලය මෙවර නිල් මහා සටන ජය ගැනීමත් සමඟ දෙපිලම මෙකී තරග ඉතිහාසයේ ජයග්‍රහණ 35 බැගින් හිමිකර ගෙන තිබේ. ශාන්ත තෝමස් විද්‍යාලය මෙවර ජයග්‍රහණයට පෙර අවසන් වරට ජයගෙන තිබුණේ 2007 දී අශේන් පීරිස්ගේ නායකත්වය යටතේ ය. 113 වැනි වරට තෙදිනක් පුරා පැවැති ඊළඟ පාසල් මහා ක්‍රිකට් ගැටුම වූයේ යාපනයේ පැවැති යාපනය ශාන්ත ජෝන් සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර උතුරු මහා සටන ජය පරාජයෙන් තොරව අවසන් විය.

රුහුණු නිල් මහා හටන

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් රාජකීය සහ ශාන්ත තෝමස් විදුහල් අතර නිල් මහා සටන ආරම්භ වන විට ඊට සමගාමීව කිසිම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් ගැටුමක් නොමැති අඩුව දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී තිබෙන අතර, රුහුණු නිල් මහා හටන මාතර ශාන්ත සර්වේෂස් සහ ශාන්ත තෝමස් විද්‍යාල අතර ආරම්භ වී ඇත්තේ එවන් පසුබිමකය. ඒ 1900 දී ය.

දෙපිල අතර 100 වැනි මහා තරගය පැවැති 2000 දී මෙකී මහා තරගයට සමගාමීව දෙපිල අතර සීමිත පන්දුවාර තරගයක් ද ආරම්භ කර තිබේ. දෙපිල අතර මහා ක්‍රිකට් ගැටුම 22 – 23 - 24 දිනවල පැවැත්වෙන අතර, සීමිත ඕවර තරගය 30 දා පැවැත්වෙයි.

35 – 28

දෙපිල අතර මෙතෙක් පැවැති තරගවලදී ශාන්ත තෝමස් විද්‍යාලය තරග 35 ක් ජය ගෙන තිබෙන අතර, ශාන්ත සර්වේෂස් විද්‍යාලය තරග 28 ක් ජයගෙන තිබේ.

අවසන් වරට ශාන්ත තෝමස් විද්‍යාලය 2007 දී තාරක දුෂ්යන්තගේ නායකත්වය මෙකී රුහුණු නිල් මහා හටන ජයගෙන ඇති අතර, ශාන්ත ‍සර්වේෂස් විද්‍යාලය අවසන් වරට මෙකී මහා තරගයේ ජයග්‍රහණය හිමිකර ගෙන ඇත්තේ 1971 දී ය.

රුහුණු නිල් මහා හටනේ ඉනිමක වැඩිම ලකුණු ලාභියා ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ශ්‍රේෂන් ලියනගේයි. ශ්‍රේෂන් ලියනගේ 1981 දී ලකුණු 207 ක් රැස්කර ගෙන තිබේ. ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරගෙන ඇත්තේ ශාන්ත තෝමස් විද්‍යා‍ලයේ නදීෂ වික්‍රමසේකරයි. නදීෂ 2003 මහා තරගයේදී ලකුණු 11 කට කඩුලු 8 ක් බිඳ දමා තිබේ.

සනත් ජයසූරිය, රුචිර පල්ලියගුරුගේ, තරංග ලක්ෂිත, කසුන් රාජිත, ඉන්දික ද සේරම් සහ ප්‍රභාත් නිශ්ශංක මේ දෙවිදුහල් නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ.

1971 ට පස්සේ

මේ තරග වාරයේ අපි හොඳට ක්‍රීඩා කරලා ඉදිරියට ඇවිත් තියෙනවා. මෙතෙක් පැවැති අඩුපාඩු ඔක්කෝම සාදාගෙන මහා තරගයට පිවිසෙන්න බලනවා යැයි, ශාන්ත සර්වේෂස් කණ්ඩායමේ නායක චරිත් හර්ෂණ පවසයි. චරිත් වැඩිදුරටත් පවසන්නේ, 1971 දී තමයි අපි අවසන් වරට මහා තරගයක් දිනලා තියෙන්නේ. අපිට මේ අවුරුදු 48 ක ඉතිහාසය වෙනස් කිරීමේ ලොකු වුවමනාවක් තියෙනවා. චෙනක දෙනුවන් අපේ වැඩිම ලකුණු ලාභියායි. රසික දුල්ශාන් දැනට අපේ වැඩිම කඩුලුලාභියායි.

2007 ට පස්සේ

අපි මේ මහා ගැටුම අවසන් වරට දිනාගෙන තියෙන්නේ 2007 දී‍. ඒ ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණින් තමයි මෙවර මහා තරගයට එන්නේ යැයි, ශාන්ත තෝමස් කණ්ඩායමේ නායක මිහිසල් අමෝද පවසයි. මේ තරග වාරයේ තරග 16 කදී අපි පූර්ණ තරග ජයග්‍රහණ 3 ක් දිනා ගෙන තියෙනවා. මම තමයි අපේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා. මේ තරග වාරයේ ලකුණු 700 කට වඩා රැස්කර ගෙන තියෙනවා. වැඩිම කඩුලුලාභියා සචිර රශ්මික තරග 17 කදී කඩුලු 70ක් දවාගෙන තියෙනවා.

මහා සටනට හොඳ සූදානමක් තියෙනවා.‍ කලින් තරගවල අඩුපාඩු හදාගෙන මේ මහා තරගයට එනවා. අපි කොහොමටත් 2007 න් පස්සේ මහා තරග ජයක් සොයමින් ඉන්නේ.

Comments