නිදහස සොයා යන කාන්තාවකගේ උදානය | Page 2 | සිළුමිණ

නිදහස සොයා යන කාන්තාවකගේ උදානය

තවත් එක් අන්තර්ජාතික කාන්තා දිනයක් ගෙවී ගොස් ගතවී ඇත්තේ දෙදිනක් පමණි. කාන්තාවන් වෙනුවෙන් ලොවේම දෑස විවර වන කාලවකවානුවක මාර්තු 8 වැනිදා සිට තිරගත වන හොලිවුඩයේ “ග්ලෝරියා බෙල්“ ගැහැනිය කවුරුන්ද යන්නට කෙරෙන අපූරු සිනමා විවරණයකි. මෙය 21 වැනි සියවසේ නිර්මාණය වූ කාන්තාව තේමා කරගත් විශිෂ්ටම සිනමා නිර්මාණයක් ලෙසින් සැලකෙයි. හොඳම නිළිය ලෙසින් ඔස්කා සම්මානයට පාත්‍රවුණු ළමා ග්‍රන්ථ රචිකාවක ද වන ජුලියන් මෝර් සිනමා පටයේ ග්ලෝරියා බෙල් චරිතය නිරූපණය කරන්නීය.

ග්ලෝරියා බෙල් 2013 වසරේ තිරගතවූ චිලී - ස්පාඤ්ඤ සිනමා නිර්මාණයක්වූ ග්ලෝරියා සිනමා පටයේ ප්‍රතිනිර්මාණයකි. එය ඒ වසරේ ඇකඩමි සම්මාන උලෙළේ හොඳම විදේශීය සිනමා නිර්මාණ අංශයට ද තරග වැදිණි. ග්ලෝරියා මෙන්ම ග්ලෝරියා බෙල් ද සෙබස්තියන් ලෙලියෝගේ අධ්‍යක්ෂණයන්ය. ඔහුගේ “අ ෆැන්ටාස්ටික් වුමන්“ 90 වැනි ඇකඩමි සම්මාන උලෙළේ දී හොඳම විදෙස් සිනමා පටය ලෙසින් සම්මානයට පාත්‍ර විණි. ග්ලෝරියා දික්කසාද වී දස වසරකට වැඩි කාලයක් ගතවී ඇත. ජීවිතයේ පනහේ දශකයේ පසුවන ඇය වැඩිහිටි වියේ පසුවන දරුවන් දෙදෙනකු‍ගේ මවක වුව දරුවන් නෙත ගැටෙන්නේ හාවා හඳ දකින්නාක් මෙනි.

නිදහස, සතුට සොයා යන ඇයගේ නවීන ජීවන රටාවට අසල් වැසි මානසික රෝගියාගෙන් බාධා සිදුවෙයි. අසල්වැසියාගේ ලොම් නැති බළල් තඩියාගේ භාරකාරත්වය දරන්නට සිදුවන්නේද ග්ලෝරියාටමය. වරින් වර හු‍දකලා බවේ වේදනාවෙන් හද රිදුනද විශ්‍රාමික දිවියේ අබිමුවේ සිටියද ඇයගේ ජවය, ප්‍රබෝධය අඩු කිරීමට ඒ කිසිවක් හේතු වන්නේ නැත. ඇයගේ දිවියේ වැඩි කාලයක් ගතවෙන්නේ රාත්‍රී සමාජ ශාලාවල ඇය මෙන්ම තනිවූ පුද්ගලයන් සමඟ නර්තනයේ යෙදීමටය.

එක් දිනයකදී ග්ලෝරියාට රාත්‍රී සමාජ ශාලාවකදී ආනෝල්ඩ් (ජෝන් ටුටූරෝ) නම් ලජ්ජාශීලී දික්කසාද වූ පුද්ගලයකු මුණ ගැසෙයි. දෙදෙනාගේම ජීවන වෘත්තාන්තයන් අභිලාෂයන් එක හා සමාන විය. ඔවුන් අතර සෙනෙහසක් දලු ලෑමට වැඩි කාලයක් ගත වූයේ නැත. නිදහස සොයා ගිය ග්ලෝරියාගේ සිත ආනෝල්ඩ් අසල නතර වූ පසු කුමක් සිදුවේවිද?

ග්ලෝරියා බෙල් පූර්ව දර්ශනය තිරගත කෙරුණේ ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උලෙළේදීය. එහිදී සිනමා පටය විචාරක පැසසුමට නොමඳව පාත්‍ර විය.

ග්ලෝරියා ලෙස චරිත නිරූපණය කරන ජුලියන් ලොව විශිෂ්ටම සිනමා තාරකාවක ලෙස ගෞරවයට පාත්‍රවූ රංගවේදිනියකි. මයිකල් සේරා (පීටර්), බ්‍රැඩ් ගැරට් (ඩස්ටින් මේසන්), සෝන් ඇස්ටින් (ජෙරමි) ආදී ප්‍රවීණ රංගවේදීහු සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති.

-------------

ප්‍රේම් කතා

ත්‍රාසය, ප්‍රහසනය කැටිවුණු ප්‍රේම කතා චිත්‍රම් 2013 වසරේදී අති සාර්ථක ලෙස තිරගතවූ තෙළිගු සිනමා පටයකි. එහි දෙවැන්න ප්‍රේම් කතා චිත්‍රම් 2 මාර්තු 21 වැනිදා තිරගත වීමට නියමිතය. “බිය නැවතත්“ යන තේමාවෙන් සිනමා පටය සිනමා හල් කරා පැමිණෙයි. මිතුරන් තිදෙනෙකු සහ ආගන්තුකයෙක් ගොවිපළ නිවෙසකට යන්නේ සිය පරාජිතභාවයන් විඳ දරා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගැනීමටයි. නිවෙසට ගිය පසු එය අවතාර පිරි තැනක් බව ඔවුන් දැන ගනී. සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සුමින්ත් අස්වින් සහ නන්දිතා ස්වේතාය. හරි කිෂන්ගේ මංගල සිනමා අධ්‍යක්ෂණය වන ප්‍රේම් කතා චිත්‍රම් 2 ද සුපිරි රසික ප්‍රතිචාර ලබනු ඇති බවට අනාවැකි පළ වී අවසන්ය.

 

----------------

මගේ ආදරණීය අගමැතිතුමා

රෝම සිනමා උලෙළේ තිරගත කෙරුණු ප්‍රථම සහ එකම ආසියානු සිනමා පටය වන මේරේ ප්යාරේ ප්‍රයිම් මිනිස්ටර් මූම්බායිහි දිවි ගෙවන මුඩුක්කුවාසී දරුවන් සිව් දෙනකු වටා ගෙතුණු කතා පුවතකි. අට හැවිරිදි කනෙයියා (කන්හු) මූම්බායි මුඩුක්කුවාසී දරුවකි. තම මව සර්ගම් වැසිකිළි යන අතරේදී අතවරයකට මුහුණ දුන් පසු ඔහු අගමැතිවරයාට ලිපියක් ලියන්නේ මවට වැසිකිළියක් සාදා දෙන ලෙස ඉල්ලා සිටිමිනි. ලිපිය රැගෙන ඔහු මිතුරන් සමඟ අගමැතිවරයා හමුවීමට අගනුවරට යයි. අස්වාමික මවක සහ පුතකු වටා ඇති බැඳීම සිනමා පටයෙන් හුවා දක්වයි. මෙහි මවගේ චරිතය නිරූපණය කරන්නේ ඉන්දියානු ජාතික සම්මාන ලාභී තාරකාවක වන අංජලී පටිල්ය. විවෘත පරිසරයේ මල පහ කිරීමේ අතීතයේ සිට පැවත එන සංස්කෘතියට සිනමා නිර්මාණ මඟින් වැට බැඳීමට ඉන්දියානු සිනමා වේදීන් මින් පෙරද උත්සාහ ගෙන තිබේ. ටොයිලට් - ඒක් ප්‍රෙම් කතා (2017), හල්කා (2018) ඊට හොඳම උදාහරණය. දරුවකු නොබියව තම ගැටලුව විසඳා ගැනීම සඳහා රටේ නායකයා හමුවන්නට යාම සිනමා පටයකින් දැක ගන්න ලැබුණේ මීට හැට වසරකට පෙරය. ඒ අග්‍රගණ්‍ය සිනමාවේදී රාජ් කපූර්ගේ නිෂ්පාදනයක් වන අබ් දිල්ලි දූර් නහින් සිනමා පටයෙනි. මේරේ ප්යාරේ ප්‍රයිම් මිනිස්ටර් බොලිවුඩ් සිනමා පටය මාර්තු 15 වැනිදා තිරගත වීමට නියමිතය. සිනමා පටයේ ට්‍රේලරය මේ වන විට මිලියන 10 කට අධික රසිකයන් පිරිසක් නරඹා තිබේ. මේරේ ප්යාරේ ප්‍රයිම් මිනිස්ටර් රකේශ් ඕම් ප්‍රකාශ් මේරාගේ අධ්‍යක්ෂණයකි.

Comments