විදෙස් මැදිහත්වීමකට රට අවුල් කරන එජාප මෙහෙයුමක් | Page 2 | සිළුමිණ

විදෙස් මැදිහත්වීමකට රට අවුල් කරන එජාප මෙහෙයුමක්

රට තුළ අස්ථාවර බවක් ඇති කර අන්තර්ජාතික මැදිහත්වීමක් සිදු කර ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කෙරෙන සංවිධානාත්මක කඩාකප්පල්කාරී කුමන්ත්‍රණයක් පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වී ඇත.

මෙහි එක් පියවරක් ලෙස තනතුරු අහිමි වූ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් බලහත්කාරයෙන් අමාත්‍යාංශ තුළට ඇතුළු වී කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකිරීමට කළ සැලසුම් අනාවරණය වී ඇත. මීට අමතරව රට පුරා විවිධ ස්ථානවල කඩාකප්පල්කාරී ක්‍රියා ඇති කරමින් රට තුළ අරාජික තත්ත්වයක් නිර්මාණය වන බව පෙන්වා ඒ මඟින් විදේශ මැදිහත්වීමක් ලබාගැනීම මෙම කුමන්ත්‍රණයේ අරමුණක් වී ඇති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා පවසන්නේ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළුවීමට කිසිවකුට ඉඩ නොතබන ලෙස පොලිස්පතිවරයාට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවයි.

පසුගිය සතියේ ඛනිජ තෙල් අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂකයින්ගේ වෙඩි පහරකින් එක් අයකු මිය ගිය අතර පසුගිය දින කිහිපය ඇතුළත පාඨලී චම්පික රණවක මහතා සහ තවත් ඇමැතිවරයෙක් අමාත්‍යාංශයකට ඇතුළු වීමට උත්සාහ කර තිබේ.

මේ සම්බන්ධව සිළුමිණ කළ විමසීමකට පිළිතුරු දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් පැවසුවේ දේශපාලනය හැමවිටම ආදර්ශවත් හා සදාචාර සම්පන්න විය යුතු බවත් බලහත්කාරයෙන් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගෙන් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් ය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසුවේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගෙන් බලය ඇල්ලීමට හෝ අමාත්‍යාංශවලට ඇතුළුවීමට එජාපයට ඉදිරියේදී ඉඩ නොතබන බවත් බහුතරය ඇත්තේ තමන් සතුව වන හෙයින් ඔවුන්ට කිසිසේත්ම එවන් ක්‍රියාවන් සඳහා ඉඩ නොතබන බවයි.

ජනාධිපතිතුමා විසින් ව්‍යවස්ථානුකූලව සිදු කළ තීන්දු තීරණ සම්බන්ධව නීති විරෝධීව කටයුතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එජාපයේ කිසිදු අයකුට ඉඩක් ලබා නොදෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලැබූ තීන්දුව නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල නොවේ නම් ජාත්‍යන්තරය හමුවේ රට අප්‍රසාදයට පත් නොකර මූලික මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් ඇතැයි ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

Comments