ඉන්ධන මිල සූත්‍රය‍ අයවැයෙන් වෙනස් වෙයි! | සිළුමිණ

ඉන්ධන මිල සූත්‍රය‍ අයවැයෙන් වෙනස් වෙයි!

  • ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ ප්‍රශ්නයට පොලීසියට දොස්
  • ජනපතිගෙන් වෙනස් මානව හිමිකම් යෝජනාවක්

ලබන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන අයවැය යෝජනාවලියේදී ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය සිකුරාදා (14) කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවැති සමයේ සහ ඊට පසු කාලයේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අලුත්ම යෝජනාවක් එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී තමා විසින් ඉදිරිපත් කරනු ලබන බවත්, ඒ යෝජනාව ඉන් පසුව ලිඛිතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වෙත යොමු කරන බවත්ය.

ලබන 25 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී තමාට නියමිත කතාවේදී මේ යෝජනාව ඉදිරිපත් කරන බවද, එය මෙතෙක් ඉදිරිපත් වූ යෝජනාවලට වඩා වෙනස්ම එකක් වනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමා ඇතුළු නව රජය බලයට පත් වූ දා සිට එතෙක් සුහදශීලි නොවන මට්ටමකින් කටයුතු කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලි මුහුණුවරකින් කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අලුතින් පත් වූ මානව හිමිකම් මහ කොමසාරිස්වරියද ශ්‍රී ලංකාව සමඟ සුහදව කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්, මේ විශ්වාසය මත තමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉදිරිපත් කරන යෝජනාව ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ලිඛිතව ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියල්ල අමතා අදහස් දැක්වූ ජනාධිපතිවරයා මේ දිනවල රටේ අවධානය යොමුව ඇති තවත් මාතෘකා කිහිපයක් කෙරෙහිද අවධානය යොමු කළේය.

මේ වන විට ආන්දෝලනාත්මක වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබඳවද අදහස් දක්වමින්, මේ පිළිබඳ විධිමත් ආකාරයෙන් කටයුතු කරන ලෙස තමා ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ඊට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා පසුගිය සතියේ උපදෙස් දුන් බවද සඳහන් කළේය.

තරුණයන් එකොළොස් දෙනකු ඝාතනය කරන ලද බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට, එක් සැකකරුවකු පමණක් රක්ෂිත භාරයට යොමු කර තිබෙන පරිසරයක ඒ සැකකරුට විදෙස්ගත වීමට අනුබල දුන්නේයැයි කියන චෝදනාවක් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා එල්ල වුවද, ඔහුගෙන් කිසිදු ප්‍රකාශයක් වත් මේ වන විට නොගෙන අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රකාශ කිරීම සහ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන්ට නඩු පැවරීම ප්‍රමාද කිරීම පිළිබඳව තමා අදාළ නිලධාරීන්ට තදින් උපදෙස් දුන් බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

“මෙහිදී එල්ල වන චෝදනා නිවැරදියි නම්, ඒවා බරපතළ වැරදි. ඒ වැරදි සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ට නඩු පැවරිය යුතුයි. නමුත් අපි දැක්කා පසුගිය කාලයේ රහස් පොලීසිය මේ සම්බන්ධව විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා.

හමුදාවේ දෙවැනියාත් අත්අඩංගුවට ගෙන දින කිහිපයකට කලින් ඇප මත මුදාහැරියා. ඔවුන් සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා නම් නඩු පැවරිය යුතුයි. නමුත් නඩු පැවරීම ප්‍රමාදයි. මේ ප්‍රමාදයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොමැති වීමද එක් හේතුවක්. ඊට අදාළව මේ වන විට පියවර ගනිමින් සිටිනවා.”

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් කරන ලද ප්‍රකාශවලටද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වීය.

“රටේ හමුදා කිසි සේත් දුර්වල වෙලා නෑ; ඔවුන් ඉතාම ශක්තිමත්; ඒ වගේම ගුණාත්මක බවිනුත් ඉහළයි. මේ නිසා තමයි අද එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා කිසිදු පැකිළීමකින් තොරව ඒ අය අපේ හමුදා යොදාගන්නේ.

බඳවාගැනීම්, පුහුණු වීම් දිගටම සිදු වනවා. මේ නිසා විවිධ පුද්ගලයන් කරන ප්‍රකාශවලට කිසිදු පදනමක් නැහැ. විශේෂයෙන් ගුවන් හමුදාව සහ නාවික හමුදාව තාක්ෂණය අතින්, නව දැනුම අතින් ඉදිරියට යනවා. ඒ තුළ අපට ගුවන් නියමුවන්, දක්ෂ නැවියන් ලෝකයට දායාද කිරීමට පවා හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම රටක යුද්ධයකට පසු වසර කිහිපයක් ගිය විට ඒ රටේ හමුදා ප්‍රතිසංවිධානය වනවා. යුද්ධ කාලයේ තිබුණු පසුබිම සහ අද පවතින පසුබිම වෙනස්. ඒ අනුව හමුදා ප්‍රතිසංවිධානය වීම සාමාන්‍ය දෙයක්.

“යුද්ධය නිම වී වසර දහයකට ආසන්න කාලයක් ගත වුණත්, මේ යුද්ධය සම්බන්ධයෙන් අනාගතයේදී ඉතිහාසය හදාරන්නකුට ඒ පිළිබඳ වාර්තා කෙරෙන කිසිදු නිල වාර්තාවක් මෙතෙක් සම්පාදනය වී නැහැ.

පසුගියදා අප දැනට ජීවතුන් අතර සිටින සියලු හමුදාපතිවරුන් ගෙන්වා මේ කටයුත්ත සිදු කිරීමට කතා කළා. ඒ අනුව අප ආරක්ෂක අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් පිහිටුවා මේ වාර්තාව ග්‍රන්ථයක් ලෙස සකස් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබෙනවා.

මේ සඳහා කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සහායද අප ලබාගන්නවා,” යැයිද ජනාධිපතිවරයා පැවසීය.

 

Comments