බය වෙන්න එපා ආරක්ෂිත පියවර අනුගමනය කරන්න ඉන්ෆ්ලුවැන්සා රෝගයමදැයි තවම තහවුරු කර නෑ | සිළුමිණ

බය වෙන්න එපා ආරක්ෂිත පියවර අනුගමනය කරන්න ඉන්ෆ්ලුවැන්සා රෝගයමදැයි තවම තහවුරු කර නෑ

එස්. ලොකුකරවිට - කරාපිටිය සමූහ

දකුණු පළාතේ ඉන්ෆලුවෙන්සා රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බවත් ඇතැම් විට එය වසංගත තත්ත්වයක් දක්වා වැඩිදියුණු විය හැකි බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. විජේසූරිය මහතා සඳහන් කළේ මෙය ළමයින් අතර පැතිරීමේ ප්‍රවණතාව වැඩි බවයි. පසුගිය දින කිහිපයේ දී කරාපිටිය රෝහලේ දී දරුවන් කිහිප දෙනකු මියයෑමට හේතු වූ වෛරසය මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැතත් ඒ පිළිබඳවද වැඩිදුර සොයා බලමින් පවතින බව හෙතෙම කීවේය.

තංගල්ල, කඹුරුපිටිය හා කරාපිටිය රෝහල්වලින් දැනට වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මේ පිළිබඳ දැනටමත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කර ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයට ගොදුරු වූ විට කිවිසුම් යෑමේ වාර ගණන වැඩිවීම, උගුරේ තදබල වේදනාව, සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය හා උණ ඇති වන බවත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකට හෝ වෛද්‍යවරයකු හමුවී හෝ ප්‍රතිකාර ගතයුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි. ඉන්ෆ්ලුවන්සා වෛරසය, ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා තත්ත්වය යන ආකාර තුනෙන් ම මෙම රෝගය පැතිරෙන අතර මෙවර එම ආකාර තුනේම රෝගීන් දක්නට ලැබෙන බව ද හෙතෙම පවසයි.

යම් අයකුට මෙම රෝගය වැලඳී ඇතැයි සැකයක් පවතින්නේ නම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඈත්වී සිටින ලෙසත්, දරුවන් නම් පාසල් නොයවන ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම්දෙයි. එමෙන්ම කිවිසුම් යෑමේ දී මුඛය ආවරණය කරගන්නා ලෙසද දෑත් හොඳින් සබන් යොදා සෝදන ලෙසද වෛද්‍යවරු දැනුම් දෙති.

මෙම රෝගී තත්ත්වය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසීය.

කරාපිටිය රෝහලේ මෙම රෝගීන් සඳහා වෙනම කොටසක් වෙන්කිරීමට පියවර ගෙන ඇත. උණ අඩුකිරීම සඳහා ක්‍රියාමාර්ග ගතයුතු බවත් හුස්ම ගැනීම පහසු කිරීම, විවේකය හා පෝෂ්‍යදායී ආහාර මෙම රෝගීන් සඳහා ලබාදිය යුතු බවත් වෛද්‍යවරයා පවසයි.

මෙහිදී අධ්‍යක්ෂකවරයා වඩාත් අවධාරණය කරන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැලඳුණු දරුවන් පාසල් යැවීමෙන් වැළකී සිටින ලෙසයි. ප්‍රධන වශයෙන් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඈත් වී සිටින ලෙසද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන විට මුව වැස්මක් පාවිච්චි කරන ලෙසද අධ්‍යක්ෂකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Comments