අතැඹුල | Page 2 | සිළුමිණ

අතැඹුල

ආගමික ස්ථානයක් යනු සෑම විටම ප්‍රසන්න පෙනුමකින් යුත් සාමකාමී ස්ථානයක්. ලොව පුරා තිබෙන ක්‍රිස්තියානි පල්ලි සියල්ලක්ම පාහේ දේව රූපවලින් අලංකාර කර තිබුණත් චෙක් ජනරජයේ ප්‍රාග් හි තිබෙන සෙඩ්ලෙක් පල්ලිය නම් සරසා තිබෙන්නේ මිනී ඇටකටු වලිනි. බැලූ බැල්මට හොල්මන් චිත්‍රපටයක දසුනක් අපේ සිතේ ඇති වූවත් මෙය හොල්මන් හෝ යක්ෂ ඇදහිලි කරන ස්ථානයක් නොවේ. වසර 1318දී ඇතිවූ වසංගතයක් නිසා මියගිය මිනිසුන් හතළිස් දහසක් - හැත්තෑ දහසක් ( 40,000 -70,000 ) අතර ප්‍රමාණයකගේ අස්ථි මෙහි තැන්පත් කර තිබෙන අතර මේ නිසා මෙය ‘Skull Church’ එනම් හිස්කබල් පල්ලිය ලෙසින් හඳුන්වනු ලබනවා.

මෙම පල්ලියේ තිබෙන විශාල එල්ලෙන පහනේ සිට ඉටි පන්දම් රඳවනයන් දක්වා සියලු දෑ නිර්මාණයකර තිබෙන්නේ මිනිස් හිස්කබල් සහ අස්ථි යොදාගෙනයි. මෙම එල්ලෙන පහන බයිබලයේ කතාවක සිටින මෘගයකු විදහා දැක්වීමට නිර්මාණය කළ බව පැවසෙනවා. මෙම දේවස්ථානයේ තිබූ සුසාන භූමියේ වළලා තිබුණු මළසිරුර වල අස්ථි දේවස්ථානයේ ගොඩගැසීමට පටන් ගෙන තිබෙන්නේ 15වැනි සියවසේදී දේවස්ථානයේ සුසාන භූමිය තුළ ඉඩකඩ අහිමි වීම නිසායි. පිරමීඩ ලෙසින් අස්ථි කඳු දේවස්ථානයේ ගොඩගැසී තිබෙන අතර වසර 1870 දී එම පළාතේ ලී කැටයම් කරුවකු වූ Frantisek Rint වෙත මෙම අස්ථි නිර්මාණශීලී ලෙසින් දේවස්ථානය තුළ තැන්පත් කිරීමට බාරදී තිබෙනවා. සියලුම අස්ථි එක ලෙසින් පෙනීමට මෙම අස්ථි සියල්ලම එකින් එක විරංජනය කර තිබෙන්නේ ඒවායේ පැහැය එකම පැහැයක් වීමටයි.

මෙලෙස අස්ථි වලින් සාදා තිබෙන ලොව එකම පල්ලිය මෙය නොවේ. ප්‍රංශයේ Brno අස්ථි පල්ලිය ලොව වැඩිම අස්ථි ප්‍රමාණයකින් සාදා තිබෙන පල්ලියයි. නමුත් එහි බිත්ති අස්ථි වලින් සාදා තිබෙනවා විනා Sedlec පල්ලියේ මෙන් අස්ථි වලින් සැරසිලි නිර්මාණය කොට නෑ.

13 වැනි සියවසේ පලස්තීනයේ සිටි පැමිණි පූජකවරයකු විසින් ශුද්ධවූ දේශයේ සිට ගෙන ආ පස් සුසාන භූමියේ ඉසීම නිසා එවකට විසූ සියල්ලන්ටම තම මෘතදේහය මෙහි වැළලීමට අවශ්‍ය වී තිබෙනවා. පසුව මෙම ප්‍රදේශයේ තිබූ යුද්ධයක් නිසා සුසාන භූමියේ ඉඩකඩ නැතිවී ගොස් තිබෙන විට මෙම අස්ථි කොටස් දේවස්ථානය තුළට ගෙනැවිත් තිබෙනවා. ජනප්‍රවාදයට අනුව නම් එකල සිටි උමතු පූජකවරයකු විසින් තමයි මෙලෙස අස්ථි ගොඩගසා තිබෙන්නේ. ඒ කෙසේ වෙතත් මෙම දේවස්ථානයට වර්තමානයේ විශාල සංචාරක ආකර්ෂණයක් හිමිවී තිබෙන ස්ථානයක්.

 

 කවිඳු වීරරත්න

 

Comments