විජ­ය­දාස රාජ­ප­ක්ෂට තෙවන ආචාර්ය උපා­ධි­යක් | Page 2 | සිළුමිණ

විජ­ය­දාස රාජ­ප­ක්ෂට තෙවන ආචාර්ය උපා­ධි­යක්

කොමන්වෙල්ත් විශ්වවිද්‍යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් (LL.D - සම්මාන) පිරිනමා ඇත. මෙය ඔහු ලද තෙවන ආචාර්ය උපාධිය වේ. ඔහු විසින් සිදුකර ඇති ශාස්ත්‍රීය පර්යේෂණයන් ද, නීති අධ්‍යයනයේ සහ සාහිත්‍යයේ උන්නතිය සඳහා රචනා කර ඇති වටිනා ග්‍රන්ථයන් ද, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ ප්‍රමිතියකට ගෙන ඒම සඳහා වෘත්තීමය ලෙස දරන ලද දායකත්වය ද, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමෙහි ලා ව්‍යවස්ථා සම්පාදකයකු ලෙස සිදු කළ සේවය ද විශ්ලේෂණයට භාජනය කරමින් මෙම සම්මාන ආචාර්ය උපාධිය පිරිනමන්නට යෙදී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ව ඔහු විසින් සිදු කළ ශාස්ත්‍රීය පර්යේෂණය නිබන්ධය වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලය විසින් ඔහුට ආචාර්ය උපාධියක් (දර්ශනශූරී - Ph.D) පිරිනමා ඇති අතර බෞද්ධ නීති විද්‍යාව සම්බන්ධ ව ඔහු විසින් සිදු කළ ශාස්ත්‍රීයමය පර්යේෂණ නිබන්ධය වෙනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලය විසින් ද ඔහුට ආචාර්ය උපාධියක් (දර්ශනශූරී - Ph.D) පිරිනමා ඇත. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධියක් (M.Phil) ද ලබා ගෙන ඇති අතර කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලෙස නීති උපාධිය (LL.B) ලබා ගන්නා ලදී. ඔහු ස්විස්ටර්ලන්තයේ ප්‍රිබුර්ග් විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමාධාරියකු ද වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, දේපළ නීතිය, සිවිල් නීතිය, බැංකු සහ මූල්‍ය නීතිය, බෞද්ධ විනය හා නීතිය, සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍ය, ජනසන්නිවේදනය යනාදී විවිධ ක්ෂේත්‍රයන්හි ග්‍රන්ථ 28 ක් ඔහු ප්‍රකාශයට පත්කොට ඇත.

Comments