යළි කල එළි බසින මණ්ඩතිව් ධීවරයෝ | Page 2 | සිළුමිණ

යළි කල එළි බසින මණ්ඩතිව් ධීවරයෝ

 ඔවුන්ගේ ජීවනෝපාය වූයේ ධීවර කර්මාන්තයයි. එහෙත් යුද්ධය පැවතුණු වකවානුවේදී ඔවුන්ගේ ජීවනෝපායට කණකොකා හැඬීය. ත්‍රස්තවාදීහු මුහුදෙන් පැමිණි හෙයින් ධීවරයන්ට සීමා පැනවිණි. ඒ ඔවුන්ගේත් රටේත් ආරක්ෂාව පිණිසය.

උතුරේ ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසෙන් 75%කටත් අධික පිරිසක් කුඩා ධීවර බෝට්ටු ඇසුරින් තම ජීවනෝපාය කර ගනිති. ඔවුන් ගැඹුරු මුහුදේ බහුදින යාත්‍රා භාවිත නොකිරීමට කාලයක් තිස්සේ පුරුදුව සිටින්නේ හේතු කිහිපයක් මතය. එයින් පළමුවැන්න පෙර කී යුද වාතාවරණයයි. දෙවැන්න ඉන්දියන් ධීවරයන් විසින් අපේ මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් පැමිණ තහනම් 'ගැඹුරු දැල් එළමින්' (Bottom trawling) ධීවර කර්මාන්තයේ යෙදීමයි. විශේෂයෙන්ම ඉන්දියන් බෝට්ටු මෙසේ ගැඹුරු දැල් එළමින් ධීවර කර්මාන්ත‍යේ නියැළීම නිසා කුඩා මත්ස්‍යන්ගේ සිට මසුන් විනාශයට පත් වන අතර ඉන්දියානු බහු දින යාත්‍රා කිසිදු සැලකිල්ලකින් තොරව ගමන් කිරීම නිසා උතුරේ ධීවරයන්ගේ දැල් ආම්පන්න විනාශ වී යාමයි. එසේම ඉන්දියන් ධීවරයන්ගේ බෝට්ටු අතිවිශාල යකඩ කඳන් මෙන් වන හෙයින් උතුරේ ධීවරයින්ගේ සාමාන්‍ය ධීවර බෝට්ටු ගැටුණහොත් අනතුරින් බහුවිධ ගැටලු මතුවන්නේ ශ්‍රී ලාංකික ධිවරයන්ටයි. මේ හේතු නිසා ගැඹුරු මුහුදේ මසුන් නොමරා තම ධීවර කටයුතු නොගැඹුරු මුහුදේම සිදු කරගන්නට උතුරේ ධීවරයෝ විසින් කටයුතු කළහ.

එසේ වුවත් ඒ ධීවරයින්ගෙන් දූපත් ඇසුරින් දිවි‍ ගෙවන්නන්ගේ දිවිය මීටත් වඩා ඉතාම ශෝකජනක විය. ඔවුන්ට ඉස්සන් කොටු සකස් කර ගැනීමට හැකියාවක් නොවීය. කළපු ආශ්‍රිතව තම ධීවර කටයුතු කර ගත නොහැකි විය. ධීවර බෝට්ටු නවතා ගැනීමට ස්ථානයක් නොමැති විය. මේ නිසා විශේෂයෙන්ම මණ්ඩතිව් දුපතේ ධීවරයින් පත්ව සිටියේ දැඩි අසීරුතාවකටය.

මේ සම්බන්ධව නාවික හමුදාවටත් ධීවර කටයුතු අමාත්‍යාංශයටත් දැනුම් දීමෙන් පසුව මේ වන විට එම ධීවරයින්ගේ ගැටලු සියල්ලම පාහේ නිරාකරණය කර දී ඇත. විශේෂයෙන්ම මේ ධීවරයින්ට විශාලම ගැටලුව වූ ඉන්දීය ධීවරයින් අපේ ධීවර කලාපය ආක්‍රමණය කිරීම මේ වන විට බොහෝ දුරට නවතා දැමීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඒ සඳහා විශේෂ නෞකා දෙකක් මේ වන විට අපේ සාගර කලාපයේ නිරතුරුවම සෝදිසියෙන් සිටී. රේඩාර් පද්ධතියට ඉන්දීය බෝට්ටු පැමිණි බවට දැනුණු විගස නාවික හමුදාව විසින් එම ස්ථානයට ගොස් එම බෝට්ටු පලවා හැරීමට කටයුතු කරනු ලබන අතර උතුරු නාවික ආඥාපතිවරයාගේ දැනුම් දීමක් ලදහොත් එම බෝට්ටු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන විත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබේ. ඒ ඉන්දීය ධීවරයින්ද සමඟය.

මේ නිසා කලකට පෙර දිනකට බෝට්ටු සිය ගණනක් අපේ මුහුදු සීමාව ආක්‍රමණය කළද මේ වන විට එම සංඛ්‍යාව ඉතා අවම මට්ටමකට පැමිණ තිබේ.

මේ වන විට කන්කසන්තුරය නාවික වරාය හා කරෙයිනගර් වරාය ආශ්‍රිතව ඉන්දිය ධීවර බෝට්ටු දෙසිය ගණනක් අත්අඩංගුවට ගෙන නාවික හමුදා ආරක්ෂාව යටතේ ගාල් කර තිබේ. ඒ බෝට්ටු හිමි සියලුම ධීවරයින්ට විරුද්ධව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අතර මේ ඉන්දියන් බෝට්ටු ක්‍රමයෙන් භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්වන බව පෙනෙන්නට ඇත.

එම නිසා ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ ඉන්දීය ධීවරයින්ගේ ක්‍රියා කලාපය මේ වන විට බොහෝදුරට අවසන්ව පවතින බවක් පෙනෙන්නට ඇත.

එසේම මණ්ඩතිව් ධීවරයින්ට මේ වන විට දූපත කරා යන කළපු මාර්ගය දෙපසින් ඉස්සන් කොටු සඳහා අවශ්‍ය ඉඩකඩ ලබා දී ඇත. මේ නිසා මණ්ඩතිව් ධීවරයින්ගෙන් වයෝවෘද්ධ ධීවරයින්ට මුහුදු නොගොස් ඉස්සන් ‍කොටු හරහා තම ජීවනෝපාය කර ගැනීමට හැකියාව තිබේ.

ඔවුහු ඒ ගැන බොහෝ සතුටු වෙති. තමන්ට අත පය වාරු නැති කාලයේ මුහුද හා සටන් නොකර ඉස්සන් වගාවට ලැබුණු සහයෝගය ගැන ඔවුහු නාවික හමුදාවටත් ධීවර අමාත්‍යාංශයටත් තම ස්තුතිය පුද කරති. ඉස්සන් වගාව තමන්ට අලුත් දෙයක් වුවත් එය කිසිදු අපහසුතාවයකින් තොරව කර ගැන්මට හැකි බවත් ආදායම පවා ඉහළ නංවා ගත හැකි බවත් මේ ධීවරයින්ගේ අදහස වී ඇත.

එමෙන්ම කළපු ආශ්‍රිතව ඉස්සන් ඇතුළු බොහෝ මසුන් මේ වන විට ගැවසෙන බැවින් ගොඩබිමට ආසන්නයේ සිටම ඉස්සන් ඇතුළු මත්ස්‍යය අස්වැන්න ලබා ගැනීමට හැකි වන බවද ඔවුහු පෙන්වා දෙති.‍

ගොඩබිම සිටම මත්ස්‍ය අස්වැන්න ලබා ගෙන ඇති ජූඩ් නෝනිස් මහතා අපට හමුවුණේ මණ්ඩතිව් දූපත දක්වා යෑමේදීය.

'ඉස්සර වගේ නෙමෙයි දැන් මේ කර්මාන්තය කර ගන්න අපට පහසුකම් ‍ගොඩක් තියෙනවා. ඉස්සර අඩුම ගානේ විස්තරයක් අහගන්නවත් කෙනෙක් නැහැ. ඉස්සන් වගා කරනවා කියන්නෙ මොකක්ද කියලවත් අපි දැනගෙන හිටියෙ නැහැ. දැන් ගොඩක් අය ඉස්සන් කොටු කරනවා. ඒ වගේම කළපුව ළඟත් ගොඩක් මාළු අස්වැන්න තියෙනවා. ඒක ඉස්සො කොටු නැති අයට ලොකු සහනයක්. මේ දූපතේ ඉන්න ගොඩක් අය කරන්නෙ ධීවර රස්සාව. ජනතාව වෙන දන්න කර්මාන්තයක් නැහැ. ඒක නිසා මේ කර්මාන්තය වැඩි දියුණු කරන්න කටයුතු කරනවානම් හොඳයි.'

මණ්ඩතිව් දූ‍පතේ ධීවර වරායක් තවම ඉඳි කර නැතත් මණ්ඩතිව් ධීවර ‍වරාය නමින් හඳුන්වන වෙරළ තීරයේ ගාල් කර ඇති ධීවර බෝට්ටු හිමිකරුවන් පවසන්නේ කුඩා ධීවර බෝට්ටු වෙනුවට විශාල බෝට්ටු හඳුන්වා දීම උචිත බවයි.

'ඒකට මේ ධීවරයින් දැනුවත් කරලා ණය ආධාර දෙනවනම් හොඳයි. දැල් ආම්පන්න තවම පරණ විදිහටයි මේ ධීවරයින් පාවිච්චි කරන්නෙ. ඒක නිසා මේ මාළු අස්වැන්න වැඩි කරගන්න අමාරුයි. ඉදිරියට හරි ජනතාවට අලුත් තාක්ෂණය ලබා දෙනවානම් ලංකාවටම වුණත් උතුරෙන් මාළු දෙන්න පුළුවන්. අපේ මුහුදේ මාළු වැඩියි. ඒක නිසා තමයි ඉන්දීය ධීවරයින් ලංකාවට එන්නේ. ' එසේ පැවසුවේ මණ්ඩතිව් වෙරළේදී අපට හමු වූ ඒ. නිමල්රාජ් ය‍.

එසේම ඇන්ටන් ජින්සම පැවසුවේද එවන්ම කතාවකි. උතුරේ ධීවර වරායන් ගොඩක් තියෙනවා. ඒ හැම කෙනෙතුටම තියෙන බෝට්ටුවලින් උපරිම මාළු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වුණත් තවම ‍ගොඩක් අය ඉන්නෙ අවුරුදු 30ක් විතර පැරැණි දැල් පාවිච්චි කරමින්. බෝට්ටු වුණත් ඒ තරම් දියුණු තත්ත්වයක නැහැ. සමහර දවස්වලට දැල්වලට අහුවෙන මාළු ටික ගේන්න බැරිව බර වැඩි නිසා අල්ලපු මාළු මුහුදට දානවා. ඒ මාළු අපටත් නැහැ. මුහුදටත් නැහැ. ඒක නිසා මේ තත්ත්වය වෙනස් කරලා අලුත් බෝට්ටු වගේම බහුදින යාත්‍රාවලට මේ ධීවරයින් හුරු කරන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕන. ඉන්දියන් ‍බෝට්ටු ප්‍රශ්නය ගොඩක් දුරට ඉවර වුණත් ඒ අය තවමත් එනව. අපේ මාළු ඒ අයගේ 'බොටම් ට්‍රෝලින් නිසා නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි කොරල් පර වගේ සියලුම දේ විනාශ වෙනවා' මණ්ඩතිව් උතුරේ දූපත්වලින් දරිද්‍රතාවෙන් වැඩිම ධීවරයින් සිටින දූපතක් මෙන්ම ධීවර කලාපයකි. මේ කලාපයේ සිටින අයගේ ජීවන වෘත්තිය මේ වන විට සැලකිය යුතු ලෙසින් ඉහළ ගොස් ඇත. ඒ ධීවරයින්ගේ අත මිට අදට වඩා සරු කරලන්නට කටයුතු කළ හැකිනම් මාළු මිල අහස උසට නගින්නේ ද නැත. මේ ධීවරයින් ආ දුරට වඩා යා යුතු දුර ඉතා කෙටිය. බහු දින යාත්‍රා පහසුකම් මෙන්ම නව තාක්ෂණය ලබා දුනහොත් ලංකාවටම මාළු අඩු මිලට ලබා දෙන්න ඔවුහු සූදානමින් සිටිති. අද ඔවුන් සිදු කරන්නේ දිනකට ‍දෙකකට පමණක් සරිලන මාලු රැගෙන ගෙන ඒම පමණකි. ඒ සම්බන්ධව ඇති සෙසු ගැටලු නිරාකරණය කරන්නට කටයුතු කරන්නේ නම් එය ශ්‍රී ලංකාවටම ආර්ථීක වශයෙන් විශාල වාසියක් වනු ඇත.

(විශේෂ ස්තුතිය - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු දිනේෂ් බණ්ඩාර සහ උත්තර නාවික විධානයේ ලුතිනන් කොමාන්ඩර් දිලිප් ප්‍රනාන්දු මහත්වරුන්ට)

තාරක වික්‍රමසේකර
සේයාරූ - විමල් කරුණාතිලක

 

Comments