ඉපැරණි ජනාවාසයක් මතුවෙයි! | Page 2 | සිළුමිණ

ඉපැරණි ජනාවාසයක් මතුවෙයි!

යෝධවැව පිටවාන ආශ්‍රිත ඇළ මාර්ගයේ දකුණු පසින් වූ ගොඩැල්ලෙන් “මූල ඓතිහාසික යුගයට“ අයත් ජනාවාසයක තොරතුරු අනාවරණය කර ගැනීමට රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය සමත්ව ඇත. මේ කැණීම් මගින් කාල රක්ත මැටිබඳුන්, විවිධාකාර පබලු, පබලු සෑදීමට යොදාගත් කෝව ආදිය හමු වී ඇත. මෙම ස්ථානයේ තිබී වීදුරු උණු කළ අවශේෂ හමු වී තිබීම විශේෂත්වයකි. ඒ සමඟම ගොඩනැගිල්ලක ගල් පාදම් කිහිපයක් ද හමු වි තිබේ.

වර්තමානයේ සිදු වී ඇති මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සීග්‍රයෙන් විනාශයට පත්වෙමින් පවත්නා මේ භූමියේ සිදුකෙරුණු කැණීම රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ පුරාවිද්‍යා කථිකාචාර්ය ටිකිරිබණ්ඩාර විජේපාල මහතා සිදුකරන අතර ආචාර්ය චන්දන රෝහණවිතානාච්චි හා ආචාර්ය තුසිත මෙන්ඩිස්යන මහත්වරුන් විසින් අධික්ෂණය කෙරේ. මේ භුමියේ ස්වභාවිකව පිහිටි පහත් ජල භූමිය යෝධ වැව ආශ්‍රිතව මූල ඓතිහාසික යුගයේ ජනාවාසය ඉදිවිමට හේතුවන්නට ඇතැයි ද පසු කාලිනව එම භූමිය ආශ්‍රිතව යෝධ වැව ඉදිවන්නට ඇතැයිද පුරාවිද්‍යාඥයන් අදහස් කරයි.

මාතොට වරාය හා බැඳුණු ප්‍රධාන මාර්ගය මේ ආසන්නයේ පැවැති ම හේතුවෙන් මේ ස්ථානය අතීතයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් වන්නට ඇතැයි උපකල්පනය කෙරේ. කැණීම තව දුරටත් සිදු කෙරේ. 

Comments