HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

 වෙරිමරගාතේ මොන බිලියඩ්ද?

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ චිත්‍රපට මාලාවේ රඟපෑ කිට් හැරින්ටන්ගේ හැසිරීමක් නිසා ඔහුව අවන්හලකින් පිටමං කළ පුවතක් හොලිවුඩ් පුරයෙන් වාර්තා වෙනවා. පිටමං කිරීමට හේතු වුණේ මේ ජනප්‍රිය නළුවා අධික ලෙස බීමත්ව සිටීමයි.

මැන්හැටන් ප්‍රදේශයේ පිහිටි එක්තරා අවන් හලක් වෙත ගිය මේ 31 වියැති නළුවා, එහිදී මත්පැන් පානය කර තිබෙනවා. ටිකෙන් ටික තමන් පානය කරන මත්පැන් ප්‍රමාණය වැඩි වී ඇත්තේ හැරින්ටන්ටත් නොදැනීමයි. ඉන් පසුව බමන මතින් ගමන් කළ ඔහු, එම අවන්හලේ පිහිටි බිලියඩ් මේසය අසලට ගියේ ක්‍රීඩා කරන්න හිතාගෙනයි. නමුත්, ඔහුට ක්‍රීඩා කිරීමට තරම් සිහියක් තිබුණේ නැහැ. කෑගසමින් බිලියඩ් මේසයට ගිය ඔහු, එහි තිබූ බිලියඩ් යෂ්ටියක් දෑතට ගෙන එතෙක් ක්‍රීඩා කරමින් සිටි අයට බාධා කරන්නට පටන් ගත්තා.

මේ කලබැගෑනිය මැඩ පවත්වන්නට එතැනට පැමිණි එම අවන්හලේ නිලධාරීන් කිහිප දෙනකු ඔහුට දැන් වූයේ වහාම පිටවී යන ලෙසයි‍. කැරින්ටන් ඒ උපදෙස පිළිපැද්දේ නැහැ.‍ ඒ නිසා අවන්‍හලේ නිලධාරීන් ඔහුව බලහත්කාරයෙන් ම ඇදගෙන විත් එයින් එළියට දැමීමට කටයුතු කළා.

මුදුවක් රකින්න ‘සිකියුරිටි’!

විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් පැලඳු මුදුවක ආරක්ෂාවට, ආරක්ෂක නිලධාරීන් ‍යොදා ගත් පුවතක් හොලිවුඩ්පුරයෙන් දැන ගන්නට ලබෙනවා. එවැනි ආරක්ෂාවක් යොදා ගෙන ඇත්තේ විවාහ ගිවිස ගත් මුද්ද අධික වටිනාකමක් සහිත එකක් නිසා බවට නම් සැකයක් නැහැ. මේ මුද්ද පැලඳගෙන සිටින්නේ විලාසිතා ලොව අංක එකේ නිරූපිකාවක වන පැරිස් හිල්ටන්. ඇය පැලඳ මුදුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක්.

මේ වටිනා මුදුව ඇයට පැලඳුවේ ඇගේ පෙම්වතා වන හොලිවුඩ් නළු, ක්‍රිස් සිල්කායි. ඔහු විසින් පැරිස්ට මේ මුදුව පැලඳුවේ පසුගියදා. කොලරාඩෝහිදී පැවැති විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවේදීයි. මේ රන් මුදුව ආරක්ෂා කිරීමට දවසේ පැය 24 තිස්සේ ම ආරක්ෂක නිලධාරීන් යොදවා තිබෙනවා. ක්‍රිස් සිල්කා 2014 අප්‍රේල් මාසයේදී, නිරූපිකාවක වන හානා බෙත් මෙර්ජස් සමඟ විවාහ ගිවිස ගත්තා. ඒත්, 2015 මුල් භාගයේදී දෙදෙනා ඒ විවාහය කටුගා දැමුවා.

මදුරු දෂ්ටනයට ගොදුරු වී...

කැරෙන් ගිලාන් හෙමින් සීරුවේ ජනප්‍රියත්වය සොයා යන නිළියක්. ස්කොට්ලන්තයේ උපත ලබා ඇති ඇය හොලිවුඩ් සිනමාවේ ප්‍රධාන ප්‍රවාහයට එක්වුණේ 2010 දී තිරගත වූ ‘ඩොක්ටර් හූ’ චිත්‍රපටයෙන්. මේ දිනවල ඇගේ රංගනයෙන් හැඩවුණු චිත්‍රපටයක් තිරගත වෙනවා. ඒ, ‘ජුමාන්ජි: වෙල්කම් ටු ද ජන්ගල්’ චිත්‍රපට‍යකි. මේ නමින් තවත් චිත්‍රපටයක් මුලින් ම තිරගත වුණේ 1995 දී යි.

මේ චිත්‍රපටයේ දර්ශන කිහිපයක ඇතුළත් වූ නිශ්චල ඡායාරූප නිකුත් වූ විට හටගත්තේ ආන්දෝලනයක්. එම ඡායාරූපවල සටහන් වී තිබුණේ කැරෙන්, ඉතා කෙටි කලිසමකින් සහ සිරුරට සිරවූ, ළමැදෙන් අඩක් විවර වූ කමිසයකින් සැරසී රඟපාන අයුරුයි. මෙය දුටු සමහරු කීවේ කැරෙන් රඟපාන චරිතයට අනුව මෙවැනි ඇඳුමක් නොගැළපෙන බවයි. කෙසේ වෙතත් ඇය එම චිත්‍රපටයේ රඟන්නේ සටන් දර්ශනවල නිසා එවැනි ඇඳුමක් ගැළපෙන බවයි, සමහරුන්ගේ මතය වුණේ. මේ චිත්‍රපටය රූගත වුණේ හවායි දූපත්වල නිවර්තන වනාන්තරවලයි. එහි රඟපාද්දී තමන්ට මදුරුවන්ගෙන් පීඩා වූ බව කැරෙන් පැවසුවා. “මම ස්කොට් ජාතිකයෙක් නිසා මගේ හම ගොඩක් සුදුයි. ඒ නිසා මදුරුවන්ට මාව හොඳට පෙනෙන්න ඇති” කැරෙන් සිනාසෙමින් පැවසුවා.

‘ටී.වී‍. එකට යන්න කිව්වා’

සුරූපී නිළි පෙනිලෝප් කෲස් දරුවන් දෙදෙනකු‍ගේ මවක්. ඇගේ සැමියා, ස්පාඤ්ඤ ජාතික නළුවෙකු වන ජාවියර් බාඩෙව්. මේ දෙදෙනා විවාහ වුණේ 2010 දීයි. ජාවියර් - පෙනිලෝප් යුවළගේ වැඩිමලා ලියෝ එන්කිනාස් කෲස්. ඔහුගේ වයස අවුරුදු 6 යි. දෙවැනියා සිව් හැවිරිදි ලුනා එන්කිනාස් කෲස්.

පෙනිලෝප් ගේ නිවස තුළ මේ වනවිට රූපවාහිනී යන්ත්‍රයක් නැහැ. දරු දෙදෙනා ලැබීමෙන් පසුව ඇය තමන් සතුව තිබුණු රූපවාහිනිය, නිවසෙන් ඉවත් කළා. ඒ ඇයි දැයි අපි ඇයගෙන් ම අහමු... “මම කැමැති නැහැ, මගේ දරුවන් ටී.වී. එක ඉස්සරහ ඉඳගෙන ඒක දිහා බලාගෙන ලොකු මහත් වෙනවට.‍

මම දැකල තියෙනවා, වයස අවුරුදු 11, 12 වෙන කොට ගොඩක් දරුවන් හැදෙන්නෙ ෆෝන් කනේ ගහගෙනයි. ඒ අය මූණට මූණ බලාගෙන කතා කරන්නෙ නෑ. කතා කරන්නෙ ෆෝන් එකෙන්. මේ දරුවො පුංචි කාලෙදිම වැඩියෙන් ම කාලය ගත කරන්නෙ ටී.වී. එකත් එක්ක, වීඩියෝ ගේම් එක්ක, ෆෝන් එක්ක, එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් එක්ක.

මම නම් මගේ දරුවන් දෙන්නව ඒවට යොමු කරන්නෙ නැහැ. ඒ නිසා ටී.වී. එකක්වත් මගේ ගෙදර නැහැ. මම කැමැති, මගේ දරුවන් ස්වභාව ධර්ම‍යත් එක්ක වැඩෙනවටයි. හොලිවුඩ් නිළියක් මෙහෙම කියද්දී අපේ දරුවන්ගෙන් බහුතරය කොතනද ඉන්නෙ කියලත් අපි හිතමු. 

Comments