සුපර් බයික් කාණ්ඩයේ ශූරතාව පිට පිටම දෙවසරක් දිනූ ෂොයෙල් ඩැනියෙල් | Page 2 | සිළුමිණ

සුපර් බයික් කාණ්ඩයේ ශූරතාව පිට පිටම දෙවසරක් දිනූ ෂොයෙල් ඩැනියෙල්

 ආරම්භයේ සිටම කියමු. කොහොමද ඔබ යතුරුපැදි ධාවන තරගවලට යොමු වුණේ? මොකක්ද ඔබේ ආරම්භය?

2008 දී තමා මුලින්ම සියලුදේ පටන් ගත්තේ.ඒ මගේ සහෝදරයා නෙඩ් ඩැනියෙල් යතුරුපැදි ධාවන තරග වලට සහභාගි වීමත් එක්කම. ඔහු 250CC කාණ්ඩයේ තරග කරමින් හිටියේ. ඒ අතරතුර ඔහුගේ යතුරුපැදි වර්ක්ෂොප් එක පටන් ගත්තා. ඔහුගේ රේස්වලදී ප්‍රධාන සහායකයා වුණේ මම. ඒ එක්කම ඔහුගේ ඇසුර නිසා සහ ඒ අවශ්‍ය පසුබිම ඔහු හරහා හැදුණු නිසා මම ගොඩක් ආසාවෙන් හිටියේ ඔහු වගේම යතුරුපැදි ධාවන තරගවලට සහභාගි වෙන්න. මම මුලින්ම පටන් ගත්තේ ෆෝ ස්ට්‍රෝක් 150 CC කාණ්ඩයෙන්. මගේ මුල්ම තරගය වන කටුකුරුන්දෙදි පැවැත්වුණු 150 CC කාණ්ඩය තරගයෙදි දෙවැනි ස්ථානය දිනුවා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 16යි.

පසුගියදා නිමාව දුටු කටුකුරුන්දේ පැවති මෝටර් සයිකල් ධාවන තරගයෙදී 'සුපිරි' දස්කම් දැක්වූවා. ඒ ගැන කතා කරමුද?

ඔව්. 1000 CC කාණ්ඩය හඳුන්වන්නේ 'සුපර් බයික් රේස්' කියලා. ඒ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය පිට පිට දෙවැනි වතාවටත් මම ජයග්‍රහණය කළා.

සාමාන්‍යයෙන් යතුරුපැදි ධාවන තරගයකදී, තරග කරන්නේ ධාවකයා විතරයි. නමුත් ඉදිරිපත් වෙන්නේ කණ්ඩායම් වශයෙන්. ඇයි ඒ?

අපට පෙනෙන්නේ ධාවකයා මෝටර් සයිකලය උඩ ඉන්නවා පමණක් වුවත් මේක කණ්ඩායම් උත්සහයක්. ශරීර යෝග්‍යතාව, වාහනයේ තාක්ෂණික යෝග්‍යතාව, පිටියේ සහය, අනුග්‍රාහක සහය වගේ දේවල් මේ ක්‍රීඩාවේදී අත්‍යවශ්‍යයි. ඒ නිසා තනි තනිව ධාවකයාට විතරක් කරන්න පුළුවන් ක්‍රීඩාවක් නෙමේ මේක.

කොහොමද ඔබ තරග කරන හෙලිබීස් කණ්ඩායමෙන් ඔබට ලැබෙන සහය?

ඉතාම විශාල සහයක් ලැබෙනවා. විශේෂයෙන්ම තරගාවලියක් පටන් ගන්න මාස ගණනාවකට පෙර ඉඳලම කණ්ඩායමෙන් විශාල තාක්ෂණික වගේම මානසික සහයක් ලැබෙනවා.

'හෙලිබීස් රේසිං' ඉතිහාසය ගැනත් කියමුද?

ඇත්තටම හෙලිබීස් රේසිං පටන් ගන්නේ මමත්, මගේ සහෝදරයාත්, සංගීත් සූරියගේත් එකතු වෙලා. සංගීත් කියන්නේ 'සුපර් මෝටර්' ධාවන ශූරයෙක්.

ඒ වගේම මෙතැනදී ඉතා විශේෂයෙන් සඳහන් කළ යුතු නමක් තියනවා. ඒ මුරාඩ් ස්මයිල් මහත්මයා ගැන. ඔහු තමා මගේ දක්ෂතාවන් හඳුනාගෙන, මෙතරම් දුර හෙලිබීස් කණ්ඩායම ගෙන එන්න අනුග්‍රාහකත්වය ලබාදෙන්න කටයුතු කළේ. ඔහුගෙන් හැම තිස්සෙම ලැබෙන සහය ඉතා විශාලයි. හෙලිබිස් රේසිං කණ්ඩායමේ මූලිකයින් මේ හතර දෙනා තමයි.

ඔබ හැරුණකොට මේ වසරේ කටුකුරුන්දේ පැවැති තරගාවලියට ඔබේ කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වුණේ කවුද?

මාත් එක්ක ලතික ශාමල් සහභාගි වුණා. ලතික බොහෝ කාලයක සිටම මගේ සහයකයා. මගේ අයියා 250 CC කාණ්ඩයේ තරගවදින කාලයේ ලතික ඔහුත් එක්ක තරග කළා. පස්සේ අයියා තරගවැදීම නැවැත්තුවට පස්සේ ලතික මාත් එක්ක තරග කරනවා.

ලතික 'හෙලිබීස් රේසිං' එක්ක තරග කරන්න පටන් ගත්තහම අපි දෙන්නා 600 CC කාණ්ඩයේ එකට තරග කළා. දැන් අපි දෙන්නම 1000CC කාණ්ඩයේ තරග කරනවා.

1000CC කාණ්ඩය කියන්නේ මිල අධික මෝටර්බයිසිකල් වලින් සැදුම්ලත් කාණ්ඩයක්. ලංකාව වගේ රටක ඒ වගේ කාණ්ඩයක තරග කරන්න නම්, ඉතා ප්‍රබල අනුග්‍රාහකයෝ අවශ්‍ය වෙනවා. මේ කාරණය ඔබ කියවන්නේ කොහොම ද?

ඇත්තටම මේ වගේ ක්‍රීඩාවක අනාගතය සහ පැවැත්ම තියෙන්නේ අනුග්‍රාහකයන්ගේ අතේ. ඉතාම විශිෂ්ටව තරගාවලි සංවිධානය කිරීම වගේම පුළුල් මාධ්‍ය ආවරණයක් ලබාදීම මේ වගේ තරගාවලියක අත්‍යවශ්‍ය සාධකයක්. මෝටර් ජීපි තරගයකදි වගේම යතුරුපැදි තරගයකදීත් තමන්ගේ බ්‍රෑන්ඩ් එක (සන්නාමය) වැඩි ක්‍රීඩාලෝලීන් පිරිසකට පෙන්වීමේ හැකියාව අනුග්‍රාහකයන්ට ලැබෙනවා. ඒ වගේම මේ ක්‍රීඩාවේ තියෙන ජවය එම අනුග්‍රාහක ආයතන වල සන්නාම වලටත් වැඩි වටිනාකමක් එකතු වෙනවා.

යතුරුපැදි ධාවන තරග බොහෝ කාලයක් තිස්සේ ලංකාවේ පැවැත්වෙනවා. ඒත් මේ ක්‍රීඩාව වෙනුවෙන් පොදුවේ තියන අවධානය අඩුයි. ඒ වගේම මේ ක්‍රීඩාවෙන් රටේ ක්‍රිඩා ක්ෂේත්‍රයට ලොකු දායකත්වයක් ලැබෙනවද කියන දේත් සැක සහිතයි. ඇයි ඒ?

විශේෂයෙන් බොහෝ ක්‍රීඩාවල අන්තර්ජාතික තරගාවලි ලංකාවේ සංවිධානය වුණත්, නියම ප්‍රමිතියේ යතුරුපැදි ධාවන තරගාවලි ලංකාවේ පැවැත්වෙන්නේ නෑ. මෝටර් ජීපී, සුපර්බයික් වගේ තරගාවලි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් මේ රටේ පැවැත්වෙන්න ගත්තොත් බොහෝ විදේශිකයන් පිරිසක් මේ රටට ඒවි. ඒ හරහා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න පුළුවන් වේවි. ඒ වගේම මුළු ලෝකයේම ක්‍රීඩා රූපවාහිනී ආයතන ලංකාවට එයි. ඒ හරහා විශාල විදේශ විනිමයක් උපයන්න පුළුවන්. මේ වෙනුවෙන් මුලින්ම මේ රටේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ධාවන පථ හදන්න අවශ්‍යයි. ඒ වගේම 1000CC කාණ්ඩයේ වගේ මෝටර්බයිසිකල් මේ රටේ නිත්‍යානුකූල කරන්න වෙනවා.

ඒ වගේ ජාත්‍යන්තර තරග සංවිධානය කළ හැකි පසුබිමක් මේ රටේ තියනව කියලා ඔබ හිතනවද?

අනිවාර්යයෙන්. ඒ සඳහා හැකියාව තියන පිරිස් මේ රටේ ඉන්නවා. ඒ වගේම අපේ රටේ කාලගුණය රේසිං වලට බොහොම හිතකරයි. අපි UK (එක්සත් රාජධානිය ) වගේ රටක් ගත්තොත් ඒ අයට වින්ටර් එකේදී ධාවන තරග තියන්න බෑ. ඒත් අපිට සෘතු ප්‍රශ්නයක් නෑ. මේ රටේ පොළොව, මාර්ග ඒ සඳහා සුදුසුයි.

දැනට සති කීපයකට කලින් කටුකුරුන්දෙදි අවසන් වුණු තරගයට ආපසු එමු. ‘සුපර් බයික් කාණ්ඩයේ‘ රේස් එකේදී ඔබට බාධාවක් වුණා. මොකක්ද ඒ වෙලාවේ සිද්ධ වුණේ?

මගේ තාක්ෂණික ශිල්පියා ලෙසත් කටයුතු කරන්නේ මගේ සහෝදරයා. ඔහු කීප වතාවක් ම තරගයට පෙර මෝටර්සයිකලය පරීක්ෂා කරලා බලලා නිවැරැදි තත්වයෙන් තියෙන බව තහවුරු කරලා තිබ්බේ. ඒත් තරගය ආරම්භයෙදීම මට මෝටර් බයිසිකලය ස්ටාට් කරගන්න බැරි වුණා. කීප වතාවක් උත්සහ කළත් අනෙක් තරගකරුවන් වට බාගයක් විතර ගියහම තමා මගේ බයිසිකලය ස්ටාට් වුණේ.

ආරම්භයෙදි ප්‍රමාදය දැනුණාට පළමුවැනි වට දෙක ඇතුළෙත් මගේ අයියා මාව දැනුවත් කළා අනිත් තරගකරුවන් සහ මගේ පරතරය කොතරම්ද කියලා. ඒ වගේම මම පවත්වා ගත යුතු වේගය ගැනත් තක්සේරුවක් ඇති කරගන්න මට පුළුවන් වුණා. තරගය වට 22ක්. පළමු වට කීපයෙදිම අනිත් තරගකරුවන් එක්ක තිබ්බ පරතරය අවම කරගන්න මම කටයුතු කළා. අවසන් වට කීපය වෙනකොට ඔවුන්ගේ ඉදිරියට එන්න මට පුළුවන් වුණා.

ෂොයෙල්ගේ ජාත්‍යන්තර තරග අත්දැකීම් මොනවද?

මගේ මුල්ම ජාත්‍යන්තර තරගය වුණේ ජපානයේ පැවැත්වුණු 'ආසියානු මාර්ග ධාවන ශූරතාවය' (Asia Road Race Championship) ඒකෙදි මම ශ්‍රී ලංකාව නියෝජනය කළේ 150CC කාණ්ඩයෙන්. ඒ 2010 වසරේදි. ඊට පස්සේ ආසියානු මාර්ග ධාවන ශූරතාවයේ දෙවැනි වටයට මම තායිලන්තයෙදි සහභාගි වුණා. 2015දී තායිලන්තයේදී 'ආසියානු සිහින කුසලානය' (Asia Dream Throphy) තරගාවලියට සහහාගි වුනා. ඒ තරගාවලිය පැවැත්වුණේ හොණ්ඩා අනුග්‍රහකත්වයෙන්. ඉන්දුනීසියාව, තායිලන්තය , ජපානය, ඉන්දියාව ඇතුළු ආසියාවේ විශාල රටවල් ගණනක තරගකරුවන් මේ තරගාවලියෙදි තරග කළා. මේ තරගාවලියෙදි මම 250CC කාණ්ඩයෙන් තරග වැදුණේ.

යතුරුපැදි ධාවන ක්‍රීඩාවේ ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්...?

හෙලිබීස් රේසිං කණ්ඩායම විදිහට අපි අපේ කණ්ඩායමේ විතරක් නෙමෙයි, ධාවන පථයේ ඉන්න යතුරුපැදි සහ මෝටර්කාර් ධාවකයන් සියලු දෙනාට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. මගේ බලාපොරොත්තුවක් තමා මේ ක්‍රීඩාවට සම්බන්ධ නොවන පළාත්වල ඉන්න අයටත් මේ ක්‍රීඩාව ප්‍රචලිත කරවන්න, ඔවුන්ට දැනුම දෙන්න අවශ්‍ය පුහුණු ආයතනයක් පටන් ගන්න එක. ඒ වගේම අනුග්‍රාහකයන්ගේ සහය වැඩිවෙන තරමට මේ ක්‍රීඩාව ප්‍රචලිත කරන්නත් පහසු වෙනවා. ඒ නිසා වැඩි අනුග්‍රාහකත්ව සහය ලබාගන්න හැකි විදිහට ජාත්‍යන්තර තරගයක් සංවිධානය කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් එක්කම මම පෞද්ගලිකව බලාපොරොත්තු වෙනවා, ආසියානු සිහින කුසලානය වගේ තරගාවලියකට 1000CC කාණ්ඩයෙන් තරග කරන්න.

යතුරුපැදි ධාවන ක්‍රිඩාවේ ඔබේ වීරයන් කවුද කියලා දැනගන්න කැමති?

ලංකාවේ ධාවන ශූරයන් අතරින් නම් මගේ වීරයා මගේම සහෝදරයා, නෙඩ් ඩැනියෙල් (Ned Daniel). ඔහු මගෙ රේසිං ගුරුවරයා, ඒ වගෙම මගේ තාක්ෂණික පුහුණුකරුවා, තාක්ෂණික කළමනාකරුවා. ඔහු 250CC කාණ්ඩයේ ශූරයෙක් වගේම 'සුපර් මෝටර්' කාණ්ඩයේ ශුරයෙක්. විදේශීයව මගේ වීරයා ස්පාඤ්ඤ ජාතික මාක් මාකේස් (Marc Marques). ඔහු දෙවරක් මෝටර් ජීපී, ලෝක ශූරයා වූ සුප්‍රකට ක්‍රීඩකයෙක්.

ක්‍රිකට්, රගර්, පාපන්දු වගේ ක්‍රීඩා පටන් ගන්න තැන් බොහොමයක් ලංකාවේ තියනවා. නමුත් යතුරුපැදි ධාවන තරග ධනවත් සීමිත පිරිසකට පමණක් සීමාවුන ක්‍රීඩාවක් විදිහට ලංකාවේ තවම හදුනගෙන තියෙන්නේ. ඔබ හිතනවද; දැනට නරඹන්නෝ විදිහට ඉන්න, නමුත් තරගකරුවෝ ලෙස ධාවන පතයට එන්න කැමැති අය මේ සීමාවන් බිඳ දැමිය යුතුයි කියලා? නැත්නම් මේ සීමා තවදුරටත් පවත්වා ගත යුතුද?

නරඹන්නකු විදිහට ක්‍රීඩාවට කැමැත්තෙන් තරගකරුවන් දිහා බලාගෙන ඉන්න වෙලාවට එන හැඟීම් කොහොමද කියලා මම හොඳට දන්නවා. මමත් එහෙම හිටපු කෙනෙක්. මගේ අදහස මේ ක්‍රීඩාවෙදී වැදගත් ම දේ මූලිකවම ක්‍රීඩා තාක්ෂණික කාරණා දැනගෙන ඉන්න එක. 50CC හෝ 125CC කාණ්ඩයේ වෙන්න පුළුවන්. මොන කාණ්ඩයේ වුණත් මූලික හැදෑරීමක් සහිත වීම ඉතාම වැදගත්. මේ දේ හැමෝටම පහසුවෙන් ලබාගන්න පුළුවන් විදිහට ක්‍රීඩාවේ බලධාරීන් කටයුතු කළ යුතුයි කියන එකයි මගේ ඉල්ලීම.

ඒ වගේම ඊළගට වැදගත්ම කාරණය ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව. මේ ක්‍රීඩාවේදි බොහෝ ආරක්ෂක ආවරණ පැළදිය යුතුයි. මෝටර්සයිකලය කොච්චර හොඳ වුණත් වැඩක් නෑ, එක අනතුරකින් මුළු ක්‍රීඩා අනාගතයම නැති වෙනවා නම්. නමුත් ප්‍රශ්නය තමා මේ ආරක්ෂක ආවරණ වලට ඉතා වැඩි බදු මුදලක් ගෙවිමට සිදු වීම. ක්‍රිකට් බූට් දෙකක්, ෆුට් බෝල් ෂූස් දෙකක් ගන්නවා වගේ සාමන්‍ය මුදලකට රේසිං සම්බන්ධ ආවරණ ගන්න බෑ මේ අධික මුදල නිසා. ඒ වගේම 1000CC වගේ මෝටර්බයිසිකල් අපේ රටේ මාර්ගවල ධාවන කිරීම නිති විරෝධී නිසා මේ යතුරුපැදි වල අමතර කොටස් විශේෂයෙන්ම අපිට ජපානය වගේ රටවලින් ගෙන්නවන්න වෙනවා. ඒක විශාල වියදමක් යන වැඩක්.

මට පෞද්ගලිකව අත් විඳන්න වුණ කාරණයක් කියන්නම්. ළඟදී විදේශයකින් ගෙන්වා ගත්ත ආරක්ෂිත හිස්වැස්මක් (Safety Helmet) රේගුවෙන් නිදහස් කරගන්න ගියහම මට කරදර රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හේතුව ඒ හිස්වැස්ම වලට SLS ප්‍රමිති සහතිකය නැති වීම. රේසිං ක්‍රීඩාවේ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් තියනවා. උදාහරණ විදිහට ජපානය වගේ රටවල භාවිත කරන ස්නෙල් (Snell) සහ ඩොට් (DOT) රේටිං. ඒ රටවල අය SLS ගැන වදවෙන්නේ නෑ. මොකද අපේ රටේ හෙල්මට් වෙළෙඳපොළ විශාල එකක් නෙමේ. ඒත් SLS නැතිව අපිට ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියක් තියන හෙල්මට් එකක් ගෙන්න ගන්නවත් බෑ.

රජයෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දෙන සහය මේ ක්‍රීඩාව මේ තත්වයෙන් තියාගන්න ප්‍රමාණවත් වේවි. නමුත් මේ ක්‍රීඩාවේ සීමාව බිදලා, තවත් ඉහළ තැනකට උස්සලා තියන්න නම් මීට වඩා සහයක් අවශ්‍ය වේවි. පුරා හෝරාවක පිළිසඳර අවසන් කරමින් මේ ක්‍රීඩාශීලී තරුණයා රසඳුන සමග පැවසුවේ, යතුරුපැදි ධාවන තරග සඳහා අවතීර්ණ වීමට සිහින මවන ඕනෑම අයකුට සහය ලබාදීමට තමන් කැමැත්තෙන් ඉන්නා බවය. ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවියට සිළුමිණ රසඳුන වෙතින් සුබ පැතුම්!

 

ඡායා­රූප - සාජිත් අසීස් 

Comments