'යූත් විත් ටැලන්ට්' සමඟ ගමේ හැ‍මෝම එකට එකතු වුණා | Page 2 | සිළුමිණ

'යූත් විත් ටැලන්ට්' සමඟ ගමේ හැ‍මෝම එකට එකතු වුණා

'යූත් විත් ටැලන්ට් ' වැඩසටහනේ නිර්මාතෘ

ජාතික තරුණ සේවා සභාවේ සභාපති

නීතිඥ එරන්ද වැලිඅංගේ

 

ජාතික තරුණ සේවා සභාව සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් ගෙන ආ ‘යූත් විත් ටැලන්ට් ‘ රියැලිටි වැඩසටහනේ පළමු අදියර ඉතා සාර්ථකව පසුගියදා නිමාවට පත්වූයේ වාර්ථාවක්ද තබමිනි. ඒ එදා මෙදා තුර අපේ රටේ විකාශය වූ සියලුම රියැලිටි වැඩසටයන් අභිබවා යමින් වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ වැඩසටහන ලෙස ඉතිහාසයට එක් වෙමින්. මෙහි දෙවැනි අදියර ලබන මැයි මස 06 වැනිදා ඇරැ‍ඹෙන අතර පළමු වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳවත් දෙවැනි වැඩසටහන පැවැත්වෙන ආකාරය පිළිබඳ වත් මෙම වැඩසටහනේ නිර්මාතෘ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සමඟ රසඳුන කළ සංවාදයයි මේ.

 

• පළමුවැඩසටහනේ සාර්ථකත්වය ගැන මුලින්ම කතාකරමු

මෙම වැඩසටහන පටන් ගත්තෙ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟ පෙන්විමත් නායකත්වයත් යටතේ. මුල ඉඳලම මම කිව්වෙ ජාතික තරුණසේවා සභාව තරුබිහිකරන්නෙ නෑ බිහිකරන්නෙ චරිත කියල.

චරිතයක් බිහිවුණාම ඒ චරිතයෙන් ගමට වැඩක් වෙන්න ඕන. රටට වැඩක් වෙන්න ඕන,ඒවගේම පුද්ගලිකව තමන් ගැන හිතනවට වැඩිය රට ගැන ගම ගැන හිතන පුද්ගලයො විය යුතුයි.

ඒ සඳහා මේ වැඩසටහන කොටස් දෙකකින් ගියා. එකක් තමන්ගේ ඕනෑම සුවිශේෂී දක්ෂතාවක් ඉදිරිපත් කරන්න වේදිකාවක් නිර්මාණය කළා.

අනෙක් අතට ලංකාවේ තිබෙන සියලුම යෞවන සමාජවලට ගමේ තියෙන දැවෙන ප්‍රශ්න, වැදගත් සංවර්ධන ව්‍යාපෘති කරන්න නායකත්වය ලබා දෙන්න අපට අවශ්‍ය වුණා. ඒ අනුව අපි එක් ව්‍යාපෘතියකට රුපියල් 75000 ගණනේ ලබාදුන්නා. ඒකෙන් ඔවුන් ලක්ෂ හයදහසක ව්‍යපෘති කරල තිබුණා.

අවසානයේ නෙළුව හප්පිටියේ රිදී තරු පාලම හොඳම ව්‍යාපෘතිය බවට පත්වෙලා කෝටිය දිනාගත්තා.

තවත් ව්‍යාපෘති 8 කට ලක්ෂ දහය බැගින් මුදලින් ලැබුණා.ඉතින් අපි දැක්කා අපේ තරුණ තරුණියන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා . ඒ තැන්වලට ගියාම පේනවා මහා යෝධයෝ ඒ කාලෙ කරපුව තමයි මේ තරුණ තරුණියො කරල තියෙන්නෙ කියල .

 

• මේ වැඩ සටහන තුළින් ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු වුණා කියා හිතනවද?

ඇත්තෙන්ම. අපි හුඟක් වෙලාවට දේශපාලන අධිකාරියට බනිනවා මුදල් වලින් වැඩ කරන්නෙ නැහැ කියල . හැබායි මේ තරුණයෝ රටට ඔප්පු කරල පෙන්නුව දෙන මුදල විසිගුණයකින් තිස්ගුණයකින් වැඩිකරල ඒ ගොල්ලන්ට වැඩකරන්න පුළුවන් කියල. ඉතින් අපි ඒකට නායකත්වය දීම, මුල පිරීම තමයි කළේ . එතැනින් එහාට ගිහිල්ල බැලුවොත් දැන්

සමාජයේ ගොඩක් දෙනෙක් විශේෂයෙන් තරුණ අය අන්තර් ජාලය එක්ක තමයි ගොඩක් ගනුදෙනු කරන්නෙ.තාක්ෂණයත් එක්ක මේ විදියට ළංවුණාම ගමේ අය ඈත් වෙනවා. ගොඩනැගිලි භෞතික දේවල් වලට අමතරව තරුණයො ගමක් හැටියට ගමම එකතු කළා.

මුළු නගරයම එකතු කළා. අවසානයේ ගම් 1500 එකතු වුණාම රටක් හැටියට රටම එකතු වෙනවා. මේ වැඩ සටහන එක්ක ගමම එකතු වෙන තැනට අද පත්වුණා.ජාතික සංහිඳියාව ඇතිවෙන්නමෙයින් ලොකු සේවයක් වුණා.

අනිත් පැත්තේන් මේ රියැලිටි වැඩසටහනත් එක්ක සැඟවෙච්ච බොහෝ දක්ෂතා තිබෙන අය ඉදිරිපත් වෙලා ලෝකයටම ඔවුන්ගේ ඒ දක්ෂතා පෙන්නුවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වුණු දේ ඉටුවුණා කියලා.

 

• ජයග්‍රහණය කළ තරුණයන්ගේ දක්ෂතා මෙතැනින්ම අවසන් වේවිද?

පළමු තැනට පත්වුණු සර්කස් පෙන්වූ තරුණයා ගත්තොත් ඔහු අති දක්ෂයෙක්.අපේ ඇඟකිලිපොලා ගියා ඒක දිහා බලන් ඉන්නකොට.ඔහු හරි දුප්පත් තරුණයෙක්. ඔහුට මේ වේදිකාවෙන් ලොකු අවස්ථාවක් ලැබුණා. දැන් ඔහු ප්‍රසිද්ධ චරිතයක්.

සමරෙ සමරේ, වගේම ජයග්‍රහණය කළ හැම කෙනෙක්ම එහෙමයි. හැබැයි අපි එතැනින් ඔවුන්ව අතරමං කරන්නෙ නෑ.

ජාතික තරුණ සේවා සභාවත් අයි ටී එන් එකත් එක්ක එකතු වෙලා ගරු අගමැති තුමා සමඟ සාකච්ඡා කරලා එතැනින් එහාට ඔහුගේජීවිතය හදාගන්න අවස්ථාව ලබාදෙනවා.

ඔහු දැන් ජනප්‍රියයි කියලා අතහැරල දැම්මොත් ඔහුගේ දක්ෂතාවන් නැතිවෙනවා . ආර්ථික ප්‍රශ්න ඇතිවෙලා වෙනත් රැකියාවල් වලට යොමුවෙන්නත් පුළුවන්. ඉතින් අපි එතැනින් එහාට ඒ දක්ෂතා ඉදිරියට ගෙනියන්නෙ කොහොමද ජනප්‍රිය චරිතයක් විදියට සමාජයට ආදර්ශවත් පුද්ගලයෙක් ලෙස හැසිරෙන්න ඔහුට උදව් කරනවා. සමරෙ සමරෙ දෙදෙනා, නර්තනය කළ තරුණයා, මැජික් ශිල්පියා මේ හැම දෙනා ගැනම අපි බලනවා.

 

• වේදිකාවේ තනි කකුලෙන් නර්තනයේ යෙදුණු තරුණයා ගැන කතා කළොත්.

ඉතිහාසයේ පළමු වතාවට දෙමළ තරුණයෙක් ආවා අවසන් මහාතරගයේදී ඒ රියැලිටි වේදිකාවට. යුද්ධ කාලෙදි ඔහුගේ කකුලක් අහිමි වෙලා.ඒත් ඔහු වේදිකාවෙදි කකුලක් නැතිව වුණත් ධෛර්යයෙන් යුතුව නැටුවා.ඔහු අපිට ලොකු පණිවුඩයක් දුන්නා ඔහුගේ ජීවිතය හදන්න අපිට දැන් අවස්ථාව ලැබිල තියෙනවා. මේ හින්දම ඔහුට විවාහ වෙන්නත් පුළුවන් වෙලා තියෙනවා හොඳ ගැහැනු ළමයෙක් එක්ක.ඒකත් අපට සුබ ආරංචියක්. මේ වගේ විශාල පිරිසක් හිටියා. ඉතින් මේ ඔක්කෝටම අපිට වේදිකාව තනන්න පුළුවන් වුණේ මේ 'youth with talent'වැඩසටහන නිසා.

 

• මෙය ඔබේ සංකල්පයක්.ඒත් මේ තරම් සාර්ථක වේවියැයි සිතුණාද ?

මට මේ සංකල්පය ආවේ මොනරාගල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘතියක් බලන්න ගියාමයි.ඒ සංකල්පය දියුණු කරල තමයි මෙය නිර්මාණය කළේ.ගොඩක් අය කිව්ව මේක කරන්න බෑ, කරන්න එපා කියල. හුඟක් අය හිනාවුණා.

හැබැයි ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් බලපු වාර්තාගත වැඩසටහන බවට මෙය පත්වෙලා තියෙනවා.ඒ බව රේටින් වලින් දැන් සනාථ වෙලා තියෙනවා.රේටින් 42 ක්. කවදාවත් කිසිම වැඩසටහනකට ඇවිල්ලා නෑ මේතරම් ප්‍රමාණයක්. ඒ කියන්නේ හිතාගන්නවත් බැරිතරම් පිරිසක් මේ වැඩසටහන නරඹලා තියෙනවා. ඒක කාටවත් කඩන්නත් බැරිවේවි.

 

• වැඩසටහන අවසානයේ ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද ?

හැම කෙනාම පාහේ හොඳයි කියන දේ තමයි කිව්වේ.යන යන හැම තැනකම හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ. ඒ නිසා ලොකු දෙයක් අපිට ජාතික තරුණ සේවා සභාවෙන් කරන්න පුළුවන් වුණා. ලොකු පිබිදීමක් අපිට හම්බ වුණා.

 

දෙවැනි අදියර ගැනත් තොරතුරු කියන්න.

මෙහි දෙවැනි අදියර අපි ආරම්භ කරන්නේ දිස්ත්‍රික්ක පුරා මැයි 06 සහ 07 දවස් දෙක තුළ. ඒ සඳහා දැන් ඉල්ලුම් කරන්න පුළුවන්.

මේ මාසය ( අප්‍රේල්) අවසන් වන තුරු ව්‍යාපෘති වාර්තා බාරදෙන්න පුළුවන්. මෙවර අපි රුපියල් ලක්ෂය බැගින් අරමුදල් ලබා දෙනවා ලංකාව පුරා තරුණ තරුණියන්ට ව්‍යාපෘති කරන්න.

විශේෂිතම දේ තමයි මෙහි කිසිම දේශපාලන අරමුණක් නෑ. ව්‍යාපෘති තෝරාගැනීමේදී දේශපාලනයක් බලන්නෙ නෑ. තරග කරුවන් තෝරා ගැනීමේදී දේශපාලනයක්, ජාති, ආගම්, කුල භේද බලන්නෙ නෑ හුදෙක් ස්වාධීන රාජ්‍ය ආයතන මගින් කරන ඉතාමත් දැවැන්ත වැඩ සටහනක් හැටියට මෙය හඳුන්වන්න පුළුවන්.

 

• දෙවැනි අදියරට ඉල්ලුම් කරන්නේ කොහොමද ?

ඕනෑම තරුණ තරුණියකට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ජාතික තරුණ සේවා සභාවට කතා

කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරි මහත්මයකු හෝ මහත්මියක් ඉන්නවා.එයා සමඟ කතා කරලා ඒ ඔස්සේ සම්බන්ධ වෙන්නත් පුළුවන්.ඒ වාගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන පළමු වැඩසටහනේ අවසන් වටයට තේරුණු අවසන් දසදෙනාට හැර අනෙක් ඕනෑම කෙනකුට යළි ඉදිරිපත් වෙන්න පුළුවන්.

 

• දෙවැනි අදියරට සහභාගිත්වය වැඩිවේවි යැයි සිතනවාද ?

ඇත්තටම ,අපට තවත් තරග කරුවන් පැමිණේවි යැයි බලාපොරොත්තු වනවා.මීට වඩා සුවිශේෂී දක්ෂතා තිබෙන තරුණ තරුණියෝ අපේ රටේ ඉන්නවා.පළමු වැඩසටහන පිළිබඳවඑතරම් විශ්වාසයක් නොතිබුණු නිසා බොහෝදෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් දැන් ඒ විශ්වාසය ඇතිවුණා. දැන් දන්නවා සැබෑ හැකියාවට අවස්ථාවක් තිබෙනවා කියලා ඔවුන්ට සමාජයේ ඇගයීමක්, වටිනාකමක් ලැබෙනවා කියලා.

 

Comments