Home » රංගනයෙදි මට සීමා මායිම් නෑ

රංගනයෙදි මට සීමා මායිම් නෑ

ඩිෂ්නි රාජපක්ෂ

by Mahesh Lakehouse
April 20, 2024 12:30 am 0 comment

– රංගන වෘත්තිය දැන් මගේ ෆැෂන් එකක් වෙලා ඒක මගේ ලයිෆ් ස්ටයිල් එක
– රංගනයෙන් කිසිම වෙලාවක ඈත් වෙලා නැහැ මට ඈත් වෙන්නත් බැහැ
– රංගනය තුළදී උසස් නිර්මාණයක් වෙනුවෙන් සීමාවන් පනවාගෙන නෑ
– මම ආදරේ ඉස්සරහ ගොඩක් සංවේදීයි වගේම ආදරේ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරපු කෙනෙක්
– විවාහය ගැන කියන්න වෙන්නේ මම විවාහ වුණු දවසක

ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්. නිළියක් හැටියට වගේම නර්තන හැකියාව නිසා කාගෙත් අවධානය ගත්ත ඇය මේ කාලයේ නම් නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇය මේ වෙද්දී ජිවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිසා. මෑතක ලංකාවට ඇවිත් නැවත ඔස්ට්‍රේලියාවටම ගිය ඩිෂ්නි සමඟ කළ කතාබහකි මේ.

ඩිෂ්නි කොහොමද ජීවිතේ?

ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගෙවෙනවා. ඒ එක්කම හැමෝටම වගේ එක එක අභියෝගත් ජීවිතේට එනවා. මම හිතන්නේ ඒ දේ හැමෝටම පොදුයි. ජීවිතේ කියන්නේ ඒකටනේ. එන අභියෝගවලටත් සැහැල්ලුවෙන් මුහුණ දෙමින් මම මගේ අරමුණට යනවා.

එකපාරටම ලංකාවෙන් යන්න හිතුවේ ඇයි?  

මම එකපාරටම ලංකාවෙන් ආවා නෙවෙයි. මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා තමයි මාස්ටර් එක කරන්න මට යන්න තිබුණේ. නමුත් යම් යම් කලා කටයුතු නිසා ඉගෙනීම කල් ගියා. මෙගා ස්ටාර් නිසා කල් ගියා. ඒ එක්කම විනිශ්චය මණ්ඩලයට මාව සම්බන්ධ කර ගත්ත නිසා ආයෙම කල් ගියා. ඒ නිසා මම හිතුව ඒ දේවල් ඉවර වුණු ගමන්ම මගේ මාස්ටර් ඉවර කරන්න ඕනේ කියලා. ඒ නිසයි මම ඔස්ට්‍රේලියාවට ආවේ.

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් එක කරන ගමන් මොනාද කරන්නේ?

මම ඔස්ට්‍රේලියාවේ මාස්ටර් එකට ඉගෙන ගන්න ගමන් මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ජපානයෙන් වාහන ගෙන්වන බිස්නස් එකක් කරගෙන යනවා. ඒ එක්කම මට ආසාවක් තිබුණා. ඔස්ට්‍රේලියාවේ නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න. ඔය දේවල් තමයි මම මෙහෙ ඉඳන් කරන්නේ.

පහුගිය කාලේ ලංකාවට ඇවිත් ගියා නේද?

ඔව්. මම ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ චිත්‍රපටයක රූපගත කිරීම්වලට දායක වෙන්න ලංකාවට ආවා. ඒ කටයුතු අවසන් කරලා නැවත ඔස්ට්‍රේලියාවට පැමිණියා.

කොච්චර කාලයක් ලංකාවේ හිටිය ද?

මාස දෙකක් වගේ කාලයක් රූපගත කිරිම් තිබුණේ. ඒ කාලය තුළ මම ලංකාවේ හිටියේ.

නිළියක් වෙන්නෙ කාලයක් උත්සාහ කරලා. එහෙම ආව තැනකින් ඔබට මේ විදිහට ඈත් වෙලා ඉන්න පුළුවන් ද?

රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ අපේ මනස ඒකට හැඩ ගැහෙනවා. ඒ නිසා කාලාන්තරයක් තිස්සේ එකම වෘත්තියකට හුරු වුණාම වෙන වෘත්තියක් කරන්න අපහසුයි. මම ඇත්තටම රංගනයෙන් කිසිම වෙලාවක ඈත් වෙලා නැහැ. මට ඈත් වෙන්නත් බැහැ. ඒ නිසා රංගන ක්ෂේත්‍රය අතහරින්නේ නැහැ. පසුගිය කාලේ මම ටෙලි නාට්‍යවලට වඩා චිත්‍රපටවලට වැඩි ඉඩක් දුන්නා. ඒ නිසා පිටරටක හිටියත් ලංකාවේ නිර්මාණය වන හොඳ වැඩක් වෙනුවෙන් ඕනෙම වෙලාවක මම රංගනයෙන් දායක වෙනවා. රංගන වෘත්තිය දැන් මගේ ෆැෂන් එකක් වෙලා. මගේ ලයිෆ් ස්ටයිල් එක. මම හිතන පතන විදිහ මගේ මනස වැඩ කරන විදිහ කියන මේ හැමදෙයක්ම රංගන ශිල්පිනියක් කොයි විදිහටද හිතන්නේ ඒ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ. ඒක දැන් මගේ ජීවිතේම වෙලා ඉවරයි.

ලංකාවේ නිර්මාණවලින් ඩිෂ්නිව හොයන්නෙ නැද්ද?

අනිවාර්යෙන්ම මාව හොයනවා. සමහර රංගන ශිල්පිනියන් දාගත්ත යම් යම් සිමාවන් තියෙනවා. ගොඩක් වෙලාවට මගේ රංගනය තුළ උසස් නිර්මාණයක් වෙනුවෙන් සීමාවන් පනවාගෙන නැති තරම්. මම විශ්වාස කරනවා මා තුළ මටම අනන්‍ය වූ හැකියාවන් ටිකක් තියෙනවා. සමහර රංගන අභියෝග මම නිර්මාණ වෙනුවෙන් ගන්න කෙනෙක්. ඒ වගේ මම මට ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න උපරිම කැපවෙනවා. එතැනදී මගේ බාහිර ස්වරූපය ගැන ගන්න තියෙන අවදානම ගැන හිතන්නෙම නැති තරම්. මා එක්ක වැඩ කරන්න පහසුයි කියන එකත් මා එක්ක වැඩ කරපු අධ්‍යක්ෂවරු කියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මට ගැළපෙන නිර්මාණවලදී මාව හොයනවා කියන එක.?

ජීවිතේ ගැන යම් කලකිරීමකින් ද ඉන්නෙ?

කලකිරීම් කියන එක හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ ජීවිත තුළ අපිට දුක සැප කියන හැමදේම එනවා. මානසික සහ කායික වශයෙන් කලකිරීම් එන්න පුළුවන්. මටත් ඒ දේ පොදුයි. හැබැයි මගේ ජීවිතේ ගැන මේ වෙද්දී මම කිසිම කලකිරිමක් නැහැ. මම කෙටි කාලයක් තුළ මේ ආපු ගමන ගැන සතුටුයි. මගේ ජීවිතේ කියලා මම අදහස් කරන්නේ මගේ රංගන ජීවිතේ. ඒ ගැන සතුටක් තියෙන්නේ. පෞද්ගලික ජීවිතේ ගැන වුණත් මේ මොහොතේ එහෙම කිසිම කලකිරීමක් නැහැ.

ආදරේ දකින්නේ කොහොමද?

ආදරේ කියන්නේ ජීවත් වෙන්න නැතුව බැරි දෙයක්. ආදරේ හින්දා තමයි අපි ගොඩක් සතුටින් ඉන්නෙත්. ඒ වගේම දුක්වෙන්නෙත්. ආදරේ කියන්නේ වෙලාවකට වේදනාවක්. අපි වැඩියෙන්ම හොයන දේ ආදරේ. ඒ තරමට ආදරේට ආස හින්දා. මමත් ආදරේ ඉස්සරහ ගොඩක් සංවේදී කෙනෙක් සහ ආදරේ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු කෙනෙක්. ආදරේට මම ගොඩක් ආසයි.

ආදරවන්තියක් ද?

ඔව්. මම ආදරවන්තියක්.

විවාහය ගැන මොකද හිතෙන්නේ?

විවාහය ගැන නම් ලොකුවට කියන්න මට තේරෙන්නේ නැහැ. මම විවාහ වෙලා නැති හින්දා. විවාහ වෙන්න ලොකුවට ආසාවකුත් නැහැ. විවාහය ගැන කියන්න වෙන්නේ මම විවාහ වුණු දවසක. මට පේන දේවල් එක්ක නම් විවාහය කියන්නේ ලොකු වගකීම් ගොඩක්. විවාහයෙන් පස්සේ දරුවෝ හදනවා කියන්නේ මනුස්සයෙක් ගොඩක් වෙනස් වෙන තැනක්. විවාහය නිසා අපි නැති වෙන්නේ නැත්නම් විවාහයත් එක්ක අපිට අපිව නැති නොවී සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් විවාහයත් සුන්දර වෙයි. මොකද අපේ මේ ජීවිත හරි කෙටියි. ඒ කෙටි ජිවිත කාලය තුළ විවාහය කියන සාධකය මත මම දැකලා තියෙනවා ගොඩක් අය අසතුටට පත්වෙලා තියෙනවා. අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හමුවුණොත් විවාහය කියන දේ සුන්දර වෙයි. මම කර්මය විශ්වාස කරනවා. විවාහය තුළ තමයි ගොඩක් දෙනෙක්ට කර්මය කියන දේ බලපාන්නේ. ඒ නිසා විවාහය තුළ දී එකිනෙකාට ගරු කරමින් තේරුම් ගනිමින් නොගැළපීම් ගළපා ගනිමින් ගමනක් යන්න පුළුවන් නම් විවාහය සාර්ථක වෙයි. විවාහ වෙන්න ඕනේ කියලා මටම දැනුණොත් මම විවාහ වෙයි. හැබැයි මම හිතන්නේ විවාහයකට තවම මම සූදානම් නැහැ.

ඩිෂ්නි කියන්නෙ කොහොමද කෙනෙක් ද?

බොහොම සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. මම ගොඩක් වගකීම්සහගත කෙනෙක්. මගේ වෘත්තිය ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ දී මම උත්සහ කරනවා මම කරන දේ ඉතාම හොඳින් හරියටම කරන්න. ඒවගේම මම ගොඩක් සංවේදී කෙනෙක්. ඒ එක්කම මම ශක්තිමත් කෙනෙක්.

නර්තනය රංගනය අතහැරලා ගත කරන ජීවිතේ කොහොමද දැනෙන්නෙ?

නිතර නිතර රූපවාහිනිය තුළ මාව පේන්න නැති වුණාට රංගනය නර්තනය කියන දේ මම අතහැරලා නැති නිසා මට දුකක් දැනෙන්නේ නැහැ. රංගනය නර්තනය මා තුළ තියෙනවා. මට අවශ්‍ය වෙලාවට ඒ දේවල් මම යොදා ගන්නවා. ඔස්ට්‍රේලියාව තුළ පවා මම නර්තනය සහ නිරූපණය කරනවා. ඒ දේවල් අතහැරලා නම් මට ජීවත් වෙන්න බැරි වෙයි.

කොහේ හිටියත් ශරීරයේ හැඩය ගැන හිතනවනේ. ලස්සනට ඉන්න මොනවද කරන්නෙ?

ගොඩක් වෙලාවට මම ව්‍යායාම කරනවා. මම ආලේප වර්ග පාවිච්චි කරන්න සහ සැලෝන් යන එක නම් අඩුයි. නමුත් මම ඉස්සරහට ඒ ගැනත් සැලකිලිමත් වෙන්න හිතනවා. ප්‍රධාන වශයෙන් මම කරන්නේ ව්‍යායාම කිරීම සහ මගේ හොඳ ආහාර පුරුදු ටිකක් තියෙනවා. ඒ දේවල් කරගෙන යන එක.

කටකතා, ගොසිප්වලට බය ද?

ඕකට ගොඩක් බය කාලයක් තිබ්බා. දැන් නම් මම කටකතා ගොසිප්වලට බය නැහැ. මම දන්නවා මම වගේම ගොඩක් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ලොකු කැපකිරීම් කරලා මේ තැනට ඇවිත් ඉන්නේ. අපි ආව ගමන සුන්දර ගමනක් නෙවෙයි. ඒ ගමනේදී අපි අද ඉන්න තැන එක්ක කටකතා ගොසිප් හදන්න හරි පහසුයි. නමුත් අපි ආව පාරේ ආව කෙනෙක් නම් තව කෙනෙක්ට මුකුත් කියන එකක් නැහැ. ගොඩක් වෙලාවට කටකතා ගොසිප් කරන්නේ ජීවිතේ ඇරියස් තියෙන මිනිස්සු. ජීවිතේ ගැන තමන්ට සතුටු වෙන්න බැරි අනිත් කෙනාගේ සතුට දරා ගන්න බැරි මිනිස්සු. ඒ දේවල්වලට මම බය නැහැ. මම කිසිම දෙයක් බලෙන් ලබා ගන්න යන්නේ නැහැ. මෙතෙක් මගේ ජීවිතේ හම්බ වුණු හැමදෙයක්ම වගේ මම බලෙන් ගත්තු දේවල් නෙවෙයි. මට ලැබුණු දේවල්. ඒ නිසා මම මගේ ගමන කාටවත් කරදරයක් නොකර මම යනවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. ඒ අතර සුදේශ් වසන්ත පීරිස් මහතාගේ සීරුවෙන් චිත්‍රපටය එන්න තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අප අතරින් වෙන් වුණු ජැක්සන් ඇන්තනි මහතා සියලු වැඩ අවසන් කරපු අවසන් චිත්‍රපටය. එතුමන් සමඟ ප්‍රධාන චරිතයක් කරන්න මට අවස්ථාව ලැබුණු නිර්මාණයක්.

අලුත් නිර්මාණවලට ඇරයුම් ලැබුණොත් භාර ගන්නවද?

අනිවාර්යෙන්ම ඔව්. මගේ ප්‍රධාන අරමුණ හොඳ නිර්මාණවලට දායක වෙන එක.

ඩිෂ්නිගේ ජීවිතේ ඉලක්කය මොකක් ද?

මම එහෙම ලොකුවට බලාපොරොත්තු ඉලක්ක තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. එකම දේ හොඳ නිර්මාණවලට දායක වෙන එක. පෞද්ගලික ජීවිතේ දේවල් සිද්ධ වෙන්න ඕනේ වෙලාවට වෙයි. ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න මම ආස නැහැ. මොකද ඒවා අහිමි වුණාම දුක්වෙන්න වෙන නිසා. ඒ නිසා මම මගේ වෘත්තිය ජීවිතේ ගැන තමයි සතුටු වෙන්නේ.

ඩිෂ්නිට ආදරේ කරන අයට කියන්න තියෙන්නේ මොකක් ද?

මම කොහේ හිටියත් මට ප්‍රේක්ෂක ආදරේ ලැබෙනවා. ඒක මට දැන් හොඳින්ම දැනෙනවා. ඒක ලොකු වාසනාවක්. ඒ ආදරේ තමයි අපි මේ ක්ෂේත්‍රයට අල්ලලා බැඳලා තියෙන බැඳීම. ඒ ආදරේට මම ගෞරව කරනවා. ඒ ආදරේ නිසා තමයි ප්‍රේක්ෂකයින්ට හොඳ දෙයක් දෙන්න උත්සහ කරන්නේ.

 

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division