Home » ගායනය කියන්නේ මට මානසික සැනසීමක්

ගායනය කියන්නේ මට මානසික සැනසීමක්

by Mahesh Lakehouse
April 20, 2024 12:30 am 0 comment

– ජනප්‍රිය රැල්ලට යොමු වෙනවාට තාත්තා කැමැති වුණෙත් නැති නිසා අපි තුන්දෙනා හොඳට ඉගෙන ගත්තා
– ස්ටුඩියෝ එකේදී ගීතය මුලින්ම අහද්දි තාත්තා ගොඩාක් සංවේදී වුණා

අපේ ගායන ක්ෂේත්‍රය දිනූ පිය පුතු බැඳීම් ප්‍රකට ය. ඒ තරමට ම නොවූව ද පිය දියණි බැඳීම් ද විරල නොවේ. ආචාර්ය පණ්ඩිත් අමරදේව, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ, රූකාන්ත ගුණතිලක, අතුල අධිකාරි ආදි වශයෙන් ගැයුමෙන් ක්ෂේත්‍රයෙහි බැබළෙන ගායක පියවරුන්ගේ දියණිවරු ද සිය පිය මඟ ජය ගෙන ඇත. මේ නම් අතරට එක් වන ඇය යුගයක් වසඟ කළ, ප්‍රසංග වේදිකාවට නැතිව ම බැරි ගායන යුග පුරුෂයෙකු වූ ප්‍රවීණ ගායන ශිල්පී පුන්සිරි සොයිසාගේ ආදරණීය මද්දුම දෝණි විශාරද සත්මිණි සොයිසා ද එක්ව සිටී. ඇය තම පියා පිළිබඳ ගැයූ “සසරේ පින් කර මම නුඹෙන් ලද…“ පිය සෙනෙහසේ ගීතය බෙහෙවින් ජනප්‍රිය වන්නා සේ ම ගායන ක්ෂේත්‍රයේ සිටින පියෙකු ගැන ගායක දියණියක විසින් ගැයූ මුල්ම ගීතය ද එය වීම විශේෂයකි. නදීරා නල්ලපෙරුම ලියූ මේ ගීතය සංගීතවත් කළේ විශාරද සමන්ත පෙරේරාය.

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක ද වන ඇය ගායන විශාරදවරියක වුව ද වෘත්තීය ගණකාධිකාරිවරියකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය පිළිබඳ ගෞරව උපාධිය ලැබ රත්මලාන මැලිබන් ආයතනයේ ගණකාධිකාරිවරියක ලෙස අතිශය කාර්යබහුල වෘත්තියක නිරතවන්නීය.

“කුඩා කල පටන් මට නිතරම පෙනුණේ වේදිකාවේ, රූපවාහිනියේ ගී ගයන මගේ තාත්තා බොහෝ දෙනාගේ ආදරය දිනූ ජනප්‍රිය කෙනෙක් හැටියටයි. වෙන දරුවන්ට උදේ ම වැඩට යන තාත්තා කෙනෙක් පෙනුණාට මම දැක්කේ රාත්‍රී ප්‍රසංගවල, ජනප්‍රිය මාධ්‍යවල ගී ගයන තාත්තා කෙනෙක් නිසාදෝ තාත්තා ගැන ලොකු ආඩම්බරයක්, ලොකුකමක් පුංචි මගේ සි‍තට එ් කාලේ ඉඳලා දැනී තිබුණා. යන එන හැමතැනක දී ම ලොකු පිරිසක් තාත්තාව වට කරගෙන එයාලාගේ ආදරය තාත්තාට පෙන්නූ හැටි මම දැක්කා. මට අක්කෙක් සහ නංගියෙක් ඉන්නවා. අපි තුන්දෙනාටම හොඳට සිංදු කියන්න හැකියාව පිය උරුමයෙන්ම ලැබුණා. අපි තුන්දෙනාම ගීත ගයනවාට තාත්තා ගොඩාක් කැමැති වුණා. හැබැයි වේදිකා ප්‍රසංගවල සිංදු කියනවාට නම් තාත්තා කැමැති වුණේ නැහැ. අපට ඒකට ඉඩ දුන්නෙත් නැහැ. සංගීත ගුරුවරියක් වගේ වෙයි කියන කැමැත්තක් තාත්තාට අපි තුන්දෙනා ගැන තිබුණා. ඒ තල්ලුව නිසාදෝ මම එක පැත්තකින් පිය උරුමය දරමින් එතැනින් නොනැවතී සංගීතය හදාරන්න පටන් ගත්තා. ඒ ඇරඹි ගමන විශාරද දක්වා හොඳින් ඉගෙන ගත්තා. මගේ අක්කා නර්තනය හැදෑරුවා. නංගී නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. ගායන ක්ෂේත්‍රයට ආවේ මම විතරයි. මට හොඳට මතකයි පහේ ශිෂ්‍යත්වය සමත් වුණු වෙලාවේ මගෙන් අම්මායි තාත්තායි ඇහුවා මොන වගේ තෑග්ගක් ද ඕනේ කියලා. මම එකපාරට ම කිව්වේ ‘වයලීනයක්’ ඕනේ කියලා. ඊට පස්සේ වයලීනයත් අරන් හයේ පන්තියේ ඉඳලා සංගීතය ඉගෙන ගන්න විශාරද අමරසිරි මුණසිංහ ගුරුතුමාගේ ‘සංහිඳ’ කලායතනයට මාව දැම්මා. එතැනින් මම ගායනය වගේම වාදනයත් විශාරද දක්වා හැදෑරුවා.“

ඔබ මේ වනවිට ගීත කීයක් කරලා තියෙනවා ද….?

මම දැනට ගීත පහක් කරලා මගේ යූටියුබ් නාළිකාවට මුදාහැර තියෙනවා. විශාරද ප්‍රණීත් සාරංග තනු නිර්මාණය කළ ‘ඉවසන්න බැරි හුදෙකලාවක්…’ ගීතය, මහේෂ් විතාන තනු නිර්මාණය කළ ‘ඇවිත් වස්සානේ….’ ගීතය, අමාන් වික්‍රමසිංහ තනු නිර්මාණය කළ ‘මේ වැස්ස…’ ගීතය සහ තාත්තා ගැන මම ගැයූ ගීතය මේ වනවිට විවිධ නාළිකාවලත් ප්‍රචාරය වෙනවා. ඊට අමතරව කුලරත්න ආරියවංශ පද රචනා කළ, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු තනු නිර්මාණය කළ තාත්තාගේ ජනප්‍රිය ගීතයක් වන ‘යළි හමුවේවා…’ ගීතය රූප රචනයක් එක්ක ගයන්න මම සූදානම් වෙමින් ඉන්නේ.

තාත්තා වෙනුවෙන් ගැයූ ගීතය ගැන තාත්තාගේ ප්‍රතිචාර කොහොම ද….?

මගේ හැම ගීතයක්ම පටිගත කිරීම්වලට තාත්තා එක්ක ගියේ. හැම පටිගත කිරීමකදීම තාත්තා මට පුදුම විදිහේ සහායක් ලබා දෙනවා. එයාගේ අත්දැකීම් එක්ක මගේ පටිගත කිරීම සාර්ථක කර ගන්න හැම පැත්‍තකින්ම උදව්ව ලැබෙනවා. ඒ වගේම තාත්තා ගැන ගීතය පටිගත කරන්න ගියේත් තාත්තා එක්කමයි. හැබැයි ස්ටුඩියෝ එකට යනකන් තාත්තා දැනගෙන හිටියේ නැහැ මේ ගීතය මගේම තාත්තා ගැන මම ගැයූ ගීතයක් කියලා. ස්ටුඩියෝ එකේදී ගීතය මුලින්ම අහද්දි තාත්තා ගොඩාක් සංවේදී වුණා. මාත් ගොඩාක් සංවේදී වුණා. ඒ හැඟීම් එක්කම ගීතයත් පටිගත වුණා. තාත්තා බලාපොරොත්තු වුණේ කවදත් අපි වේදිකාවට නඟිනවාට නෙවෙයි. මේ වගේ ගමනක් යයි කියලා යි. තාත්තා මගේත්, අක්කාගේත්, නංගිගේත් නම් දාලා අපි තුන්දෙනා වෙනුවෙන් වෙන වෙන ම ගීත තුනක් කරලා තියෙනවා.

අක්කයි, නංගියි ගායන ක්ෂේත්‍රයට යොමු වෙලා නැද්ද…?

ඒ දෙන්නාටත් හොඳට ගීත ගයන්න පුළුවන්. ඒ වුණාට ඒ පැත්තට එයාලා යොමු වුණේ නැහැ. අක්කා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ ගිණුම්කරණ අංශයේ ගණකාධිකරණ අංශයේ රැකියාව කරනවා. නංගි විදුලිබල මණ්ඩලයේ රැකියාව කරනවා.‍

දූලා තුන්දෙනෙකුට මවුපියන්ගෙන් ලැබුණු රැකවරණය මොන වගේ ද…?

තාත්තා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් නිසා තාත්තා ගොඩාක් වෙලාවට රාත්‍රි කාලයේ ගෙදර හිටියේ නැහැ. දවල්ටත් තාත්තා සංගීත වැඩ, පටිගත කිරීම්, විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. අපට අවශ්‍ය මූල්‍යමය පහසුකම් හැමදෙයක්ම බැලුවේ තාත්තා. අපේ අධ්‍යාපන කටයුතු, අපිව පන්ති එක්කගෙන යන ඒවා, අනෙකුත් හැමදේටම අපි තුන්දෙනාගේ ළඟින් හිටි‍යේ අම්මා. ජනප්‍රිය රැල්ලට යොමු වෙනවාට තාත්තා කැමැති වුණෙත් නැති නිසා අපි තුන්දෙනා හොඳට ඉගෙන ගත්තා. වෙනත් වෘත්තියක නිරත වෙමින් ගායනයත් කරගෙන යන්න ලැබීම ගැන මට සතුටුයි.

පාසල් ජීවිතයේදී ඔබ ගායනයට යොමු වුණේ කොහොම ද….?

මම මුලින්ම ගියේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයට. සාමාන්‍ය පෙළ සමත් වෙලා කොළඹ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයට ගියා. පාසල් කාලයේ මම සංගීත කටයුතුවලටත් වඩා ක්‍රීඩා අංශයට වැඩිපුර යොමු වුණා. කණ්ඩායම් තරගවලට වගේම මම පාසල් සහ පාසලෙන් ඉහළ ජයග්‍රහණ රැසක් මලල ක්‍රීඩාවලින් දිනාගෙන තියෙනවා. ගායන තරගවලටත් පාසල් සහ පාසලෙන් ඉහළ තරගවලට පාසල නියෝජනය කරමින් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබා ගත්තා.

සංගීත අධ්‍යාපනය විශාරද මට්ටමෙන් ඉහළට යන්න ඔබගේ බලාපොරොත්තුවක් නැද්ද….?

විශාරදවලින් පස්සේ සංගීත් නිපුන් කරන්න ඕනේ. සංගීත් නිපුන් කරන්න ඉන්දියාවට යන්න ඕනේ. මං කරන රැකියාව නිසා ලොකු නිවාඩුවක් අරගෙන ඉන්දියාවට ගිහින් සංගීත් නිපුන් කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් දැනට තියෙන හැකියාව රඳවා ගනිමින් විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වෙලා ගීත ගායනා කරද්දි ලොකු මානසික සතුටක් තියෙනවා. මම කරන රැකියාවත් මනසට වෙහෙසකර නිසා සංගීතය, ගායනය මට මානසික සැනසීමක් ගෙන දෙනවා. වැඩිදුර ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනතුරු මේ මට්ටමෙන් පවතින්න උත්සාහ කරනවා. ඒ අතරට අලුත් ගීත එළිදක්වන්න කටයුතු කරනවා.

විවාහ ජීවිතය ඔබේ කටයුතුවලට බාධාවක් නෙවෙයි ද…?

මම 2020 වසරේදි විවාහ වුණා. ඔහු රන්දුල නානායක්කාර. මට ඔහු හමුවන්නේත් රූපවාහිනී වැඩසටහනකට සහභාගි වුණු අවස්ථාවකදී. රන්දුල පෞද්ගලික නාළිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහට වෘත්තියෙහි නියැළී සිටිනවා. ඔහු මගේ ගායන කටයුතුවලට ලොකු සහායක් ලබා දෙනවා. ඔහු නිසා වෙනත් නාළිකාවල සහ සංගීත ක්ෂේත්‍රයේ නව සබඳතා ගොඩනැඟෙනවා. විවාහ ජීවිතය මගේ හැම කටයුත්තක් ම සාර්ථක වීමට හේතුවක් වෙලා තියෙනවා.

ඉදිරියේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙන්නේ මොන විදිහේ ගීතයක් ද…?

අලුත් ම ගීතය හැටියට ‘පිසලන්න එපා කඳුළු…’ ගීතය එළිදක්වන්න කටයුතු කරගෙන යනවා. ගීතයේ පටිගත කිරීම් කළා. රූපමය නිර්මාණයක් එක්ක ඒ ගීතය කලඑළි ගන්වන්නයි මම බලාගෙන ඉන්නේ.

තුෂාරී කළුබෝවිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division