Home » උමා ඔය 24 වැනිදා ජනතා අයිතියට

උමා ඔය 24 වැනිදා ජනතා අයිතියට

by sachintha
April 20, 2024 1:19 am 0 comment

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතින් අප්‍රේල් 24 වැනිදා සිදු කිරීමට නියමිතය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා එක්වූ අවස්ථාවේදී ඉරාන ජනාධිපතිවරයා සමඟ උමා ඔය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළ අතර එහිදී ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරයට පැමිණීමට කැමැත්ත පළ කර ඇත. එහිදී මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම සඳහා එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහයන් විසින් ඉරාන ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති අතර ජනාධිපති ඊබ්‍රහිම් රයිසි එම ඇරියුම ඉතා සතුටින් පිළිගෙන තිබේ.

ඒ අනුව ඉකුත් ජනවාරි මාසයේදී මෙම සංචාරය පිළිබඳ මෙරට දැනුවත් කර ඇති අතර ලබන 24 වැනිදා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතය.

ආර්ථිකය කඩා වැටීමත් සමඟ ඉරානය ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදුන් අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉරානයට තේ කොළ අපනයනය කරන ලදී. ආර්ථික අර්බුදයේදී ඉරානය ලබාදුන් සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් අගය කළේ ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හමුවූ අවස්ථාවේදීය.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳව පූර්ව ආරක්ෂක කටයුතු සොයා බැලීම සඳහා ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් ද ඉකුත් 17 වැනිදා දිවයිනට පැමිණ තිබුණි.

ඉරාන ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර ඔහු එදිනම (24 වැනිදා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division