Home » මම ගායකයෙක් කියලා තවම කවුරුවත් දන්නේ නෑ

මම ගායකයෙක් කියලා තවම කවුරුවත් දන්නේ නෑ

by thanushika
April 13, 2024 12:30 am 0 comment

ඇතැම් කලා නිර්මාණ මිනිසුන්ගේ දෙසවන්තුළ රැව්පිළිරැව් දුන්නත් එහි නිර්මාණකරුවා ගැන සහෘදයන්ට අවබෝධයක් නැත. එසේ අපූරු නිර්මාණ කිහිපයක් කර ප්‍රේක්ෂකයන් අතරට ගිය ඔහු ද එකී කුලකයට අයිති පුද්ගලයෙකි. ඔහු චන්දන ගු ණරත්නයි .

මේ දවස්වල මොනවද ඔබ කරන කලා කටයුතු?

මම මේ දිනවල අලුත් ගීතයක් නිර්මාණය කරමින් සිටිනවා. එය ගීතවත් කරන්නේ රජරට සේවය හා සම්බන්ධ කරුණාරත්න විජේවර්ධනයි. නිමල් අරනායක එයට පද රචනයෙන් දායක වෙනවා.

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද

මම ජීවත් වුණේ අනුරාධපුරයේ තිරප්පන කියන ප්‍රාදේශීය සභාවේ පුංචිගමකයි. මම ගියේ ගමේ පාසලට. අඩුම තරමේ එම පාසලේ සංගීතය විෂයක් ලෙසවත් හැදෑරීමට පහසුකම් තිබුණේ නැහැ. අපම නිර්මාණය කරගත් සංගීත මෙවලම් කිහිපයක් හැරුණු කොට අපට වෙනත් සංගීත භාණ්ඩයක් පැවතුණෙත් නැහැ. එකී පරිසරය තුළ මගේ කලාවට නැඹුරු වීමේ ගමන තරමක් දුෂ්කර වුණා. මම කුඩා කාලයේ පටන්ම කවි, නිසදැස්, සඳැස් ලියන්න යොමු වුණා. මම වැඩියෙන්ම ලිව්වෙ ආදරය සම්බන්ධ ගීතයි. මම මේ වෙනකොට ගීත එකසිය ගාණක් රචනා කර තිබෙනවා .1998 වර්ෂයේ මම කැසට් පටයක් එළි දැක්වුවා. එයට ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත , නිමල් රංජිත් වැනි අය සහයෝගය ලබා දුන්නා. ඉන් පසු 2001 දී මම රෑ තුන් යාමේ කියලා තවත් කැසට් පටයක් කළා. එය පටිගත කරන විට මම සේවය කළේ නාවික හමුදාවෙයි.

හිරු පායලා නිල් අහසේ වැනි පැරණි ජනප්‍රිය ගීත ඔබගේ නිර්මාණ බව බොහෝ දෙනා දන්නේ නැහැ .එයට හේතුව මොකක්ද

ඔව් මගේ ගීත කිහිපයක් රසිකයන් අතරට ගියා. ඇතැම් ගීත යූටියුබ් එකේ තියෙනකොට ඒවා ගායනා කරන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් විමසා තිබුණා. නමුත් කවුරුත් මගේ ගීත මං ගායනා කරන්නේ කියලා දන්නේ නැහැ .

ඔබ කාලෙකදී ගායනයෙන් ඉවත් වෙනවා නේද

මම කාලයකදී ගායනයෙන් තරමක් ඈත් වෙනවා. ඉන්පසු දර්ශන වික්‍රමතුංග සමඟ 2015 දී නැවත ගීතයක් කළා. ඒ ගීතය නිර්මාණය කළේ අමිල දිසානායකයි. ඉන්පසු මංගලා ගුණරත්න සමඟ යුග ගීතයක් ගායනා කළා .අනතුරුව මෑතකදී ආචාර්ය රෝහණ වීරසිංහ සමඟත් මම ගීතයක් කළා. මම මෑතකදී ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු සමඟත් ගීතයක් කළා. එහි පද රචනය කළෙත් මමයි. එම ගීතය සංගීතවත් කළේ රොෂාන් ප්‍රනාන්දු .

කලාව තුළ ඔබගේ ඉදිරි ගමන සැලසුම් කර තිබෙන්නේ කොහොමද

තවත් නැවුම්, රසවත් ගීත ප්‍රේක්ෂකයාට තිළිණ කරන්න මම බලාපොරොත්තු වෙනවා. එකී ගීත නිර්මාණය කිරීමට දැනටමත් මම සැලසුම් කරමින් සිටිනවා .

විශ්මි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division