Home » අප්‍රිකාවේ රාජ්‍යතාන්ත්‍රික අර්බුද යුද ගැටුම් බවට පත්වීමේ අවදානමක්

අප්‍රිකාවේ රාජ්‍යතාන්ත්‍රික අර්බුද යුද ගැටුම් බවට පත්වීමේ අවදානමක්

by gayan
January 20, 2024 12:30 am 0 comment

සුඩානය, එරිත්‍රියාව, ඉතියෝපියාව, ජිබූටි සහ සෝමාලියාව යන රටවලින් සමන්විත අඟක් මෙන් අර්ධද්වීපයේ ඉහළට නෙරා පිහිටීම හේතුවෙන් හෝන් ඔෆ් ඇෆ්‍රිකා යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන (Horn of Africa) අප්‍රිකානු මහාද්වීපයේ ඊශානදිග කලාපය දශක ගණනාවක් පුරාවට පවත්නා දිග්ගැස්සුණු සන්නද්ධ ගැටුම්, දරුණු ආහාර අර්බුද සහ මහා පරිමාණයේ ජනයා අවතැන්වීම් හේතුවෙන් ගෝලීය අවධානයට ලක්වූ කලාපයකි.

මෙම හෝන් ඔෆ් ඇෆ්‍රිකා කලාපය වර්තමානයේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුද දෙකකට මුහුණ පා සිටී. සෝමාලියාව ඉතියෝපියාවේ සිටි තම තානාපතිවරයා ආපසු කැඳවූ අතර සුඩානය කෙන්යාවේ සිට සිය තානාපතිවරයා ආපසු කැඳවා ඇත. දෙරටම අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම් සහ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල කරන බවට එකිනෙකාට චෝදනා කරයි.

සුඩානයේ සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් ප්‍රමුඛ සුඩාන රජය, කෙන්යානු රජය විසින් බුර්හාන්ගේ ප්‍රතිවාදියා වන සුඩානයේ පැරාමිලිටරි ක්ෂණික ආධාරක බළකායේ (Rapid Support Forces) නායක හමෙඩ්ටි හෙවත් මොහොමඩ් හම්දාන් ඩගාලෝට උණුසුම් පිළිගැනීමක් ලබා දීම සම්බන්ධයෙන් කෙන්යාව කෙරෙහි සිය අප්‍රසාදය පළ කළේය.

මාස නවයකට ආසන්න කාලයක් පවතින සුඩාන ගැටුමට සාමකාමී විසඳුමක් සෙවීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස කෙන්යාව ඉකුත් සතියේ ඩගාලෝව තම රටට පිළිගත්තේය. මෙම පියවරෙන් කෝපයට පත් වූ සුඩාන රජය නයිරෝබි හි සිටි සිය තානාපතිවරයා ආපසු තම රටට කැඳවා ඇත.

අල්-බුර්හාන් කෙන්යාව ගැටුමේදී හමෙඩ්ටිට අනුග්‍රහය දක්වන බව දකින අතර ප්‍රාදේශීය කණ්ඩායමක් වන සංවර්ධනය පිළිබඳ අන්තර්රාජ්‍ය අධිකාරිය හෙවත් IGAD විසින් මෙහෙයවනු ලබන සමථකරණ ප්‍රයත්නයේ පාර්ශ්වකරුවෙකු නොවන ලෙස නයිරෝබි පාලනයට දැනුම් දී ඇත.

විවෘත කිරීමෙන් අනතුරුව 1869 දී සූවස් ඇළ මාර්ගය ආසියාව, යුරෝපය සහ මැද පෙරදිග අතර වෙ‍ෙළඳාම දැවැන්ත පරිවර්තනයකට ලක් කළේය. ඉකුත් වසරේ පමණක් නාවික යාත්‍රා 24,000ක් පමණ මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද යා කරමින් ගමන් කළ අතර, පරිමාව අනුව ගත් කල ගෝලීය මුහුදු වෙ‍ෙළඳාමෙන් 10%ක් රැගෙන ගියේය. නමුත් තීරණාත්මක වැදගත් කමකින් යුත් මෙම සාගර ප්‍රවේශ මාර්ගය මේ වන විට තර්ජනයට ලක්ව පවතී. යේමනය පදනම් කරගත් සටන්කාමී කණ්ඩායමක් වන හවුතිවරු ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පළ කිරීම්ක් ලෙස රතු මුහුදේ නැව්වලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙම ප්‍රහාර මැද පෙරදිග ගැටුමේ විෂය පථය පුළුල් කරමින් ගෝලීය වෙ‍ෙළඳාමට ප්‍රබල තර්ජනයක් එල්ල කරයි.

නොවැම්බර් 19 වන දින භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලොමු දැහැගැන්වෙන අයුරින් පැහැර ගැනීමත් සමඟ නැව් සමාගම් කිහිපයක් රතු මුහුද ඔස්සේ යාත්‍රා කිරීම අත්හිටුවන ලද අතර, ඒ වෙනුවට දකුණු අප්‍රිකාවට පහළින් සුබ පැතුම් තුඩුව හරහා යළි ගමන් ආරම්භ කළේය – මෙහිදී ගමන් කාලය සාමාන්‍යයෙන් දින 10කින් වැඩි වන අතර පවුම් මිලියන 1.6ක පමණ අතිරේක පිරිවැයක් දැරීමට සිදු වේ.

මර්මස්ථානයක් යනු කුමක්ද?

සාගරයේ මර්මස්ථානයක් (choke point) යනු විශාල ප්‍රදේශ දෙකක් එකිනෙක හා සම්බන්ධ කෙරෙන සාගරයේ පටු ප්‍රවේශ මාර්ගයකි. සමුද්‍ර වෙ‍ෙළඳාම සම්බන්ධයෙන් ගත් කල, මේවා සාමාන්‍යයෙන් සමුද්‍ර සන්ධි හෝ ඇළ මාර්ග වන අතර ඒවායේ මනා පිහිටීම නිසාම ඒ ආශ්‍රිතව අධික ගමනාගමන තදබදයක් දක්නට ලැබේ.

මුහුදු වෙළෙඳාමට පහසුකම් සලසන අතරම, මෙම මර්මස්ථාන අවදානම් කිහිපයක් උද්ගත කරයි:

ව්‍යුහාත්මක අවදානම්: මෑතකදී සූවස් ඇළ මාර්ග අවහිරතාවයෙන් පෙන්නුම් කළ පරිදි, ප්‍රවේශ මාර්ගය ඉතා පටු නම්, නෞකා ඇළ ඉවුරේ ගැටීමෙන් දින ගණනක් පුරාවට නෞකා ගමනාගමනයේ තදබදයක් ඇති විය හැක.

භූ දේශපාලනික අවදානම්: ඒවායේ අධික තදබදය නිසාම, දේශපාලන නොසන්සුන්තා ඇති කාලවලදී මර්මස්ථාන අවහිර කිරීම් හෝ හිතාමතාම බාධා කිරීම්වලට විශේෂයෙන් ගොදුරු වේ. සැපයුම් දාමයන් භූ දේශපාලනික අවියක් ලෙස යොදා ගැනීම ආර්ථික රාජ්‍ය යන්ත්‍රණයේ කොටසක් බවට පත් වන විට, මෙම මර්මස්ථාන ආශ්‍රිත අවදානම වර්ධනය වේ. හවුතිවරුන් පෙන්වා දී ඇති පරිදි, මෙම මර්මස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරෙන ගෝලීය වෙ‍ෙළඳාම කඩාකප්පල් කිරීමට විශාල යුද ශක්තියක් තිබිය යුතු යැයි නියමයක් නොමැත.

පැනමා ඇලේ ප්‍රවාහනයටත් බාධා

නමුත් ලොව තවත් ප්‍රධාන මර්මස්ථානයක් මේ වන විට දැඩි බාධාවන්ට ලක්ව ඇත. අත්ලාන්තික් සාගරය හා පැසිෆික් සාගරය යා කරන පැනමා ඇළ දැඩි නියඟයකට මුහුණ පා සිටී. දැන් පැනමා ඇළේ ජල මට්ටම ඉතා අඩු බැවින් නැව්ගත කිරීමේ ධාරිතාව දැඩි ලෙස සීමා වී ඇත. ලොව විශාලතම නැව් සමාගමක් වන මාර්ස්ක් මෑතකදී ඇළට සමාන්තරව දිවෙන දුම්රිය මාර්ගයට තම භාණ්ඩ මාරු කළේය. වත්මන් අර්බුදය උද්ගතවීමට පෙර, ඇතැම් නැව්වලට සූවස් ඇළ ඔස්සේ ආසියාව සහ එක්සත් ජනපදයේ නැඟෙනහිර වෙරළ තීරය අතර ගමන් කිරීමේදී දින දහයක කාලයක් ගමන් කිරීමට සිදු විය.

බාබ් එල්-මන්ඩෙබ් සහ සූවස් ඇළ ඔස්සේ මාර්ගය සඳහා විකල්ප සීමිතය. පැනමා ඇළ මේ මොහොතේ ශක්‍ය විකල්පයක් නොවේ. ආසියාව යුරෝපය හා සම්බන්ධ කිරීමෙහිලා උතුරු මුහුදු මාර්ගය සූවස් ඇළ හරහා ඇති විකල්ප මාර්ගයට වඩා 40% කෙටි වේ. නමුත් අයිස් නිසා වසරකට මාස පහකට වඩා වැඩි කාලයක් එහි යාත්‍රා කළ නොහැකි වන අතර බිඳෙනසුලු ආක්ටික් පරිසර පද්ධතියට නැව්වලින් එල්ල වන බලපෑම පිළිබඳ කනස්සල්ලක් පවතී.

හෝමුස් සමුද්‍ර සන්ධිය

රතු මුහුදේ මුල් යුද මෙහෙයුම හැඳින්වූයේ “ඔපරේෂන් ප්‍රොස්පරිටි ගාර්ඩියන්” (සෞභාග්‍ය ආරක්ෂකයා මෙහෙයුම) ලෙසිනි. යේමනයට එරෙහි ප්‍රහාර පිළිබඳ ධවල මන්දිරයේ නිවේදනයට සම්බන්ධ රටවල් අතර ජර්මනිය සහ දකුණු කොරියාව, ඩෙන්මාර්කය, බලපෑමට ලක් වූ නැව් සමාගමක් වන මාර්ස්ක් සහ වෙනත් අය මෙන්ම ඔස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි ප්‍රධාන අපනයනකරුවන් ද ඇතුළත් වේ. මෙය රතු මුහුදේ නාවික ගමනාගමනයට එල්ලව ඇති බාධාව විසින් ඇති කරන ගැඹුරු ගෝලීය බලපෑම් පිළිබඳ ඇඟවීමකි. අනතුරු ඇඟවීම් නොතකා හවුති ප්‍රහාර අඛණ්ඩව එල්ලවීමෙන් පසුව, යුදමය ක්‍රියාමාර්ගයට අධික පිරිවැයක් වැය වුව ද, නෞකාවන්ට නිදහසේ සංචාලනය කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන බවට ප්‍රබල සංඥාවක් යවා ඇත.

එය ලොව වෙනත් මර්මස්ථාන ආරක්ෂා කිරීමට රටවල් සූදානම් බවට දුන් සංඥාවක් ලෙස ද වටහා ගත හැකිය. බොහෝ දුරට හෝමුස් සමුද්‍ර සන්ධිය මෙහි ඉලක්කය බවට පත්වනු ඇත. ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ (OECD) හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයකු විසින් මෙය හඳුන්වනු ලැබුවේ “රතු මුහුදේ තත්ත්වය හෝමුස් සමුද්‍ර සන්ධිය දක්වා පැතිර යාමේ බිහිසුණු සහ නොවැළැක්විය හැකි වර්ධනයක්” ලෙසිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division