Home » මුවන්පැලැස්සේ කෝරළේ මහත්තයාට වයස අනූවයි… 

මුවන්පැලැස්සේ කෝරළේ මහත්තයාට වයස අනූවයි… 

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

ඒ  1962 වසරයි. රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කරන ලද සුහද දිවි පිදුම චිත්‍රපටයේ රූ ගත කිරීම් සිදු වෙමින් තිබිණි. සියලු නළු නිළියන් රූගත කිරීම් සඳහා සූදානම් ය. එහෙත් පැමිණිල්ලේ නීතිඥවරයාට රඟන නළුවා තවමත් රූගත බිමට පැමිණ නැත. පැයක් හමාරක් ගෙවී ගියේය. ඔහු එන පාටක් නැත. අධ්‍යක්ෂවරයා නොසන්සුන් ය. අන් සියලු දේ තිතට සූදානම් කර තිබියදී ඔහුගේ නොපැමිණීම නිසා රූගත කිරීම් නතර කරන්නට බැරි ය.  

ඒ අතරේ රොබින්ගේ ඇහැ ගියේ රූගත කිරීම් බලන්නට ආ තරුණයකු දෙසට ය. ඒ වෙන විටත් රොබින්ගේ හිතවතකු වූ මේ තරුණයා මහත් ආසාවෙන් නළු පෙළ චිත්‍රපටයට පෙළ ගැසෙන අන්දම දෙස බලා සිටියේ ය. එක්වරම මේ තරුණයා දෙසට හැරුණු රොබින් මේ චරිතය කළ හැකි දැයි විමසුවේ ය. මොකද බැරි යැයි පැවසූ මේ තරුණයා අතට තිර පිටපතක් ද ලැබිණි. ඒ වන විටත් ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයකු ලෙස විවිධ කලා කටයුතු සඳහා සහභාගී වෙමින් සිටි මේ තරුණයා රාජකරුණා අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ ය. හැමෝම ආදරයට ඔහු අමතන්නේ වරක්ස් කියා ය.

අධ්‍යක්ෂවරයාගේ සිතැඟි හඳුනා ගත් මේ තරුණයා දෙවරක් නොසිතා හඬ කලාවෙන් රිදී තිරයට පියමැන්නේ සිය නිසඟ හැකියාව ප්‍රදර්ශනය කරමිනි. දශක හතකට වැඩි කාලයක් තිස්සේ සිය රංග හා හඬ පෞරුෂයෙන් රසික ප්‍රේක්ෂක හද මන රංජනය කළ මේ රංගධරයා සිය ජීවිතයේ පරිණතම දශකයට පා තබන්නේ එළැඹෙන 21 වැනිදා ය. 90 වැනි වියට එළැඹෙන විජේරත්න වරකාගොඩ නම් මේ සොඳුරු කලාකරුවා තවමත් තරුණයකු සේ ක්‍රියාශීලී ය. නිරවුල් බවෙන් හා ස්මරණීය ශක්තියෙන් පිරිපුන් ය. සිය පුද්ගලික වාහනය පදවා ගෙන තමන්ගේ අවශ්‍යතා සඳහා තවමත් හේ යන්නේ නීරෝගි බව ප්‍රකට කරමිනි. අප දන්නා කියන කාලයේ සිට ඔහු මුවඟ රැඳි නිරහංකාර සිනහව අදටත් එසේ ම ය. සිය මතක අතර සරද්දී මඳ සිනා නඟමින් ඒ ස්මරණ අතර අතරමං වෙන හේ දැක්ම ම ප්‍රසන්න ය.

විජේරත්න වරකාගොඩ ගුවන් විදුලියට එන්නේ 1960 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් ලෙසිනි. 1964 මාර්තු මස 12 වැනිදා පළමුවරට ගුවන්ගත වූ මුදලිනායක සෝමරත්නගේ මුවන්පැලැස්ස රේඩියෝ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව වන කෝරළේ මහත්තයාගේ චරිතය ජීවමාන වන්නේ ඔහුගේ හඬිනි. මුවන්පැලැස්ස ආරම්භයේදී බොහෝ ශ්‍රාවක සිත් හි ඔහු ජීවමාන වූයේ මුවන්පැළැස්සේ ආරච්චි ලෙසිනි. මුවන්පැලැස්ස ගැන මතක් කරද්දී ඔහුගේ මුවේ නැඟෙනුයේ තෘප්තිමත් සහ සැනසිලිදායක සිනහවකි. සැණෙන් හේ අතීතයට යයි. මඳක් නිහඬ ව එහි සැරූ ඔහු අතීත කතාවක් මතක් කරයි.

“මගෙ සීයා ඒ කියන්නේ අම්මාගේ අප්පච්චි සැබෑවට ම කෝරළේ ප්‍රධානියෙක් වෙලා හිටියා. අපි කිව්වේ කෝරළේ අත්තා කියලයි. මම කුඩා කාලෙදි ම කෝරළේ අත්තා මිය ගියා. ඔහු පිළිබඳ ලොකු මතකයක් මට නැහැ. මුවන්පැළැස්සේ කෝර‍ෙළ් මහත්තයා නම් ඉතින් ඓතිහාසික යි.”

ඒ ආභාසය ඔහු ලැබෙන්නට ඇති බව නිසැක ය. බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිටුපස ඇති ප්‍රතිභාවේ යම් යම් සාධක සම්පාදනය වෙන්නට දිවිසැරියේ විවිධ ආභාස උපස්ථම්භක වෙන්නේ ය.

විජේරත්න වරකාගොඩ ශ්‍රාවක හදවත් නැළ වූ ගායකයෙකි. ගුවන් විදුලියට එන්නට පෙර සිට ම හේ ඒ වෙනුවෙන් කප් ගැසූවෙකි. ඒ කොළඹ ආනන්දයේ දී ය. 1952 වසරේ ආනන්දයේ ජ්‍යෙෂ්ඨ පන්තිවල සිංහල ගුරුවරයා වූයේ ලේඛකයකු හා කලා විචාරකයකු ලෙස ප්‍රකට ඩී. බී. කුරුප්පු ය. පාසල් විවේක කාලයේදී එක්තරා ජ්‍යෙෂ්ඨ පන්තියක් අසලින් යමින් සිටියදී තලාත් මෙහෙමුද්ගේ චිත්‍රපට ගීතයක් සිසුවකු විසින් මනරම් ව ගයනු ඔහුට ඇසුණි. සිසුන්ට නොදැනෙන සේ පන්ති කාමරයට එබී බැලූ සිංහල ගුරුවරයා දුටුවේ ගීතය ගයන්නේ විජේරත්න වරකාගොඩ බව ය. ඔහු ගීය ගයද්දී තාලය අල්ලන සෙසු සිසු රසික පිරිස අතර, ඩී .බී. නිහාල්සිංහ, සුමිත්ත අමරසිංහ, බණ්ඩාර කේ. විජේතුංග, අසෝක පොන්නම්පෙරුම, ජේ. බී. දිසානායක, සුනන්ද මහේන්ද්‍ර, එම්. එච්. ගුණතිලක මෙන්ම දයානන්ද ගුණවර්ධන ඇතුළු පිරිසක් ද වූහ. ආනන්දේ සිලෝන් තලාත් මෙහෙමුඩ් නමින් ප්‍රකට ව සිටි වරකාගොඩට කවුරුත් ආදරය කළේ ය. විජේරත්න වරකාගොඩ කුඩා කාලයේ සිට ම සිහින දැක්කේ ගායකයකු වීමට ය. එහෙත් දෛවය ඔහුට මුලින් ම පාර කැපුවේ කලාව දෙසට නම් නොවේ.

ලංකා බැංකුවෙන් ඇරඹෙන ඔහුගේ වෘත්තියමය ජීවිතය විවිධ රජයේ තනතුරුවලින් කලින් කල සජ්ජිත විණි. රජයේ ලිපිකරු විභාගයෙන් ලංකාවෙන් ම දෙවැනියා ලෙස සමත් වී රජයේ ලිපිකරුවකු වෙන ඔහු එයින් ඉවත් වී, 1956 දී පොලිස් පරික්ෂක විභාගයෙන් සමත් ව සිය අප්පච්චී සේ ම පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳුණේ ය. කලාවේ දොරටු ඔහු වෙනුවෙන් විවර වන්නේ ඒ කාලයේ දැන හඳුනා ගත් කලාකරුවන් නිසා ය. පොලිස් නිලධාරි භූමිකාවෙන්, චිත්‍රපට සංස්ථාවේ, ටවර් රඟහල පදනමේ, කළමනාකරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් භූමිකාවලට පිවිසෙන ඔහු ජනමන රංජනය කළේ නම් කලාකරුවකු ලෙස විවිධ ඉසව් ස්පර්ශ කිරීමෙනි.

ගුවන් විදුලියේ මනරම් ගී රැසක හිමිකරුවා ඔහු ය. අනුලා බුලත්සිංහල ගායිකාව සමඟ ගයන රඟහල දැන් ඇත අඬ අඳුරේ…. ගීය නොගැයෙන විනෝද චාරිකාවක් සොයා ගැනීම උගහට වන්නට තරම් එය ජනප්‍රිය ය. ඉර පායනවා…, මිහිරි සිහිනයක්… වැනි ගී ද රසික හදවත්වලින් මැකී නොයන අමරණීය ගී ගොන්නට අයත් ය.

ඔහු කලා කෙත විවිධ නිර්මාණ ඉසව් ඔස්සේ අස්වැද්දුණු හැටි අපූරු ය. වේදිකාවේ වරෙක ඔහු හුණුවටයේ කතාවෙහි පූරක ය. තවත් වරෙක මනමේ නාටකයේ වැදි රජු ය. පොතේ ගුරු ය. මහාසාර නාටකයේ දී රජතුමා ය. එතැනින් අනතුරුව පෙමතො ජායතී සොකො, කුවේණි, අපට පුතේ මඟක් නැතේ, ජනේලය, රංකඳ ආදී නට්‍ය ද හේ සිය රංගන ප්‍රතිභාවෙන් වර්ණ ගැන්වූයේ ය. වේදිකාවේ ගායනය, රූපණය සේම නර්තනය ද ඔහුට ආගන්තුක නැත. මහාචාර්ය සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, ධම්ම ජාගොඩ, රංජිත් ධර්මකීර්ති, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චන්ද්‍රසේන දසනායක හා ජයලත් මනෝරත්න ආදීන්ගේ වේදිකා නාට්‍ය ඔස්සේ හේ සිය වේදිකා රංග ප්‍රතිභාව මොනවට පතළ කළේ ය. නාට්‍ය පෙළ විසින් ඉල්ලා සිටින රංගනය හේ සිය චරිතයෙන් ඉස්මතු කළේ ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත් කරමිනි. හුණුවටයේ පූරකට අවශ්‍ය රංගන හා ගායන විලාස හඳුනා ගන්නා වරකාගොඩ ඊට හාත්පසින්ම වෙනස් වූ ශෛලිගත සම්ප්‍රදායේ මනමේ හි දී පොතේගුරු චරිතය හා රාජගුරු චරිතය තම හඬ, අභිනය අවශ්‍ය ලෙස භාවිත කොට ගනිමින් නිරූපණය කිරීම ඒ සඳහා උදාහරණ කිහිපයක් පමණී.

ගුවන් විදුලියෙන්, වේදිකාවෙන් හමු වන ඔහු සිනමාවේ ද, පුංචි තිරයේ ද, හඬ නළු භූමිකාවේ ද එක සේ සුරු බව අවිවාදිත ය. දෙලොවක් අතර, ගොළු හදවත, අක්කර පහ, බැද්දෙගම, නිධානය, කැලෑමල් ආදී චිත්‍රපට රැසක් ඔහුගේ රංගන ප්‍රතිභාවෙන් එකලු වූයේ ය. අමරපුරය, සිටුවරයෝ සත්පුර වැසියෝ, සූරිය නෑයෝ වැනි ටෙලි නාට්‍ය විජේරත්න වරකාගොඩගේ අමතක කළ නොහැකි මතක ඉතිරි කළ රංගන ය. රංගනයේ විවිධ පරාස ගැන දැනුම්වත් ව චාතූර් අභිනයෙන් ම සජ්ජිත ව රංගනයේ නිරත වූ ඔහු රසිකයන් අතර බෙහෙවින් ආදරයට පාත්‍ර වූ කලාකරුවකු විණි.

සිය රංගන පෞරුෂය වෙනුවෙන් හේ විවිධ සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ය. ඔහුට 1963 සිංහල නාට්‍ය උත්සවයේ දී ශෛලිගත අංශයේ හොඳම නළුවාට හිමි අග්‍රාණ්ඩුකාරවරයාගේ තෑග්ග ප්‍රදානය කරනු ලබන්නේ විමල් නවගමුවගේ අජාසත්ත නාට්‍යයේ බිම්බිසාර රජුගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙනි. 1985 ජනාධිපති සිනමා සම්මාන උලෙළේ දී හා OCIC සිනමා උලෙළේදී අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ අරුණට පෙර චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් වසරේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වන්නේ ද වරකාගොඩ ය. සුනිල් ආරියරත්නගේ කැලෑමල් චිත්‍රපටයේ රඟපෑමට ජනාධිපති සිනමා සම්මාන උලෙළේ දී කුසලතා සම්මානයක් දිනාගන්නා වරකාගොඩ, 1969 සරසවිය සිනමා සම්මාන උලෙළේ දී ලෙස්ටර්ගේ ගොළු හදවත රඟපෑම් වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි කර ගනී. 2003 සුමති සම්මාන උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලබන හේ, 2018 රයිගම් ටෙලි සම්මාන උලෙළේ දී ද ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

ඔහුගේ ජීවන රඟමඬල විචිත්‍රවත් කළේ චිත්‍රා වරකාගොඩ ප්‍රිය බිරිය විසිනි. දියණිය වින්ද්‍යා රන්මල් ගේ සහ ජනනාත් රංගන පුතුණුවන්ගේ මවුපියන් වන ඔවුහු ජයලී රමල්කා අයේෂා සහ ජනුත් රන්සන මුනුබුරාගේත් මිනිපිරියගේත් ආදරය විඳිමින් සොඳුරු සැඳෑ සමය ගෙවති.

ජීවිතයේ එදා මෙදාතුර දිවිසැරි ස්මරණයේ දී දැනෙන හැඟීම ගැන මා විමැසූ විට හේ මඳක් කල්පනාබරිත වූයේ ය. නිහඬ ව විනාඩි කිහිපයක් සිට ඔහු පැවසූ දේ මා මඳක් නිහඬ කරන්නට සමත් විණි.

‘ මට හිතෙනවා මට හරියට ම ගැළපෙන චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබුණෙ නෑ කියලා. ඒ කියන්නේ මගේ උපරිමය පෙන්නන්න මට බැරි වුණා. කවුරුහරි අධ්‍යක්ෂවරයෙක් මගේ රංගන අනන්‍යතාව හඳුනා ගත්තා නම් කොච්චර හොඳ ද? මට ප්‍රධාන චරිත කරන්න ලැබුණු අවස්ථාත් හරි අඩුයි. සහය චරිත තමයි නිතරම ලැබුණෙ. ලැබුණු එක්තරා ප්‍රධාන චරිතයකටත් මට සාධාරණය ඉෂ්ට කර ගන්න බැරි වුණා කියලා හිතෙනවා‘

අවසන මම මෙසේ ඇසුවෙමි. ප්‍රධාන චරිත ගොඩක් කළ නළුවනුත් අමතක රටක සහය චරිත කළ මේ කලාකරුවාට මේ තරම් ජනප්‍රසාදයක් උරුම වූයේ කොහොමද….

එවර නැවතත් ඔහුගේ මුවේ අර සුන්දර මඳහස නැඟිණි. තෘප්තිමත් බවේ මෙන් ම අභිමානයේ රේඛා ද එහි යහමින් මතු විණි.

‘ඒක නම් ඇත්ත. පාරට බැස්සත්, කොහේ ගියත් මට පුදුම ආදරයක් මගේ රසිකයන්ගෙන් ලැබෙන්නෙ. සමහර වෙලාවට බස් එකකට නැග්ගොත් මගෙන් මුදල් ගන්නෙත් නෑ. පාරේ ඇවිදන් යද්දි වුණත් ඒ අයගේ කතා, ආශීර්වාද මට හරි වටිනවා. කොටින්ම මගේ මේ 90 වැනි උපන්දිනය වෙනුවෙන් බෞද්ධ වන්දනා ගමන් ලෑස්ති කරන ශාන්ති ට්‍රැවල්ස් ආයතනයෙන් මමයි චිත්‍රාවයි දඹදිව වන්දනා ගමනකුත් එක්ක යනවා. සියලු වියදම් දරන්නේ ඔවුන්. ඉතින් මේ ජීවිතේ ලැබුණු ලොකු ම දේ ප්‍රේක්ෂක ආදරය තමයි‘

දශක නවයක් යනු දීර්ඝ කාලයකි. නිදහස ලැබීමටත් අවුරුදු 15කට පෙර උපන් හේ මේ රටේ කලාවේ, සංස්කෘතියේ අනේකවිද වෙනස්කම් දශක නවයක් තිස්සේ සියැසින් දැක අත්වින්දෙකි. ඒ අත්දැකීම් බාහුල්‍යත්වයට එකතු වූ නිහතමානී, තෘප්තිමත් හා සැනසිලිදායක බවේ හැඟීම් බෝ වෙන සුළු ය. ඒ නිවෙසේ ගත කළ සොඳුරු හෝරා කිහිපයේ අප විඳි ඒ සෙනෙහස ඊට සජීවි උදාහරණයකි. විජේරත්න වරකාගොඩ නම් සොඳුරු කලාකරුවාගේ දශක නවයක දිවිසැරියේ ලිවිසැරිය ඒ දශක නවයට සේ ම රටට ද ආලෝකයක් එක් කළ බැව් අවසන ලියා තබමි.

දීර්ඝායු වේවා කලාකරුවාණෙනි!

සුමුදු චතුරාණී ජයවර්ධන, ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නෙ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division