Home » ලෝකයේ විකට කලාකරුවන් සිය දෙනා අතරට ගිය අපේ රටේ සඳරු

ලෝකයේ විකට කලාකරුවන් සිය දෙනා අතරට ගිය අපේ රටේ සඳරු

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– ප්‍රහසන රංගන ශිල්පියෙක් නොවුණත් ආතල් වැඩ කරන්න මං කැමැතියි

අපේ පුංචි රටේ චුට්ටන් බට්ටිචි කොල්ලෙක් ලෝකයම හොල්ලා හමාරය. නමුත් පුදුම එලවන කාරණය සබන් බෝල මෙන් වූවන් වයිරල් වන කාලයක සඳරු සත්සර හැඳින ගත්තේ ජාත්‍යන්තරයේ ප්‍රේක්ෂක බහුතරයකි. ඒ නිසාම රසඳුන ඔහු වෙනුවෙන් ඉඩක් වෙන් කළා.

“චුට්ටන් බට්ටිච්චා” ඉපදුණු කතන්දරය අපි මුලින්ම කිව්වොත්?

මගේ සිංහල ගීතයක් වයිරල් වුණු පළවෙනි අවස්ථාව තමයි ඒක. මම ඊට පෙර කරමින් සිටියේ ඉංග්‍රීසි කවර් සින්දු විතරයි. සින්දුවක් කරන්න අවශ්‍යතාවක් තිබුණත් මට ඒකට අදහසක් ආවේ නැහැ. දවසක් ඩ්‍රයිව් කර කර ඉන්නකොට අපි පුංචි කාලේ කිව්ව චුට්ටන් බට්ටිච්චා කවිය වෙනස් බීට් එකකට වෙනස් රිද්මෙකට මම කිව්වා. ඒක මට දැනුණ නිසා ගෙදර ගිය ගමන් රෙකෝඩ් කළා. ඒ ගීතයට ඊට පස්සේ දවසෙම විෂුවල් එකක් කරලා රිලීස් කරා. ඒක ක්ෂණිකව වුණු වැඩක්.

කලාකාමී පවුල් පරිසරය ඔබගේ ගමනට රුකුලක් වුණා නේද? මට සංගීත ආභාසය ලැබෙන්නේ මගේ අම්මගෙන්. මගේ අම්මා සංගීත ගුරුවරියක්. අම්මත් ඉගෙනීම ලැබුවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන්. අම්මගෙ ඉගැන්වීම් වගේම මම විෂයක් ලෙසත් සංගීතය හැදෑරුවා. ඒ අධ්‍යාපනය මගේ ගමනට රුකුලක් වෙන්න ඇති කියලා මම හිතනවා.

ලෝකයේ විකට කලාකරුවන් සිය දෙනා අතරට ඔබ පත් වෙනවා. ඒ අපූරු ජයග්‍රහණය තවදුරටත් විග්‍රහ කළොත්..

ඒක මට ලොකු සතුටක්. මම දන්න විදියට ලංකාවේ කෙනෙක් එවැනි ජයග්‍රහණයක් මින් පෙර ලබල නැහැ.

ඔබගේ ජයග්‍රහණයට නිසි ඇගයුමක් ලැබුණේ නැහැ වගේ හැඟීමක් අපට දැනෙනවා. ඒ ගැන මොකද කිියන්නේ?

ඒක අපේ රටේ ස්වභාවය. එනිසා ඒ ගැන මම කනගාටු වෙන්නේ නැහැ. වැඩියෙන්ම රීච් වෙන ටොපික් එකක් සමාජ මාධ්‍යවල සතියක් විතර දුවනවා. නමුත් ජයග්‍රහණයකට එවැනි ඇගයීමක් ලැබෙනවා අඩුයි. ඒ ගැන මම කනගාටු වෙන්නේ නැත්තේ ඒක හැටි කියලා මම දන්න නිසා.

ප්‍රහසනය අඩු තක්සේරුවකට දමා, ප්‍රහසන රංගන ශිල්පීන් කොනකට තල්ලු කර ඇති වටපිටාවක තරුණ කලාකරුවෙක් ලෙස ඔබ ප්‍රහසන කාර්යයට යොමුවීම අභියෝගයක් නේද?

ප්‍රහසන රංගන ශිල්පියෙක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නැහැ. මම ප්‍රහසන රංගන ශිල්පියෙක් නොවුණත් මං කරන කාර්යය ඇතුළේ ආතල් වැඩක් කරන්න මං කැමතියි. ඒ නිසා අනිත් මිනිස්සු මාව ප්‍රහසන කලාකරුවෙක් විදිහට දකිනවා වෙන්න පුළුවන්. නිර්මාණයක් ඇතුළේ විනෝදය, ප්‍රහසනය එක්කරන නිසා මිනිස්සු ඇත්ත ජීවිතේත් අපි දිහා බලන්නෙ හිනා වේවි. විහිළු වීඩියෝ එකක් කරාම, විහිළු සින්දුවක් කරාම ඇත්ත ජීවිතෙත් අපි විහිළුකාරයෝ කියලා ප්‍රේක්ෂකාගාරය අපව පටලව ගන්නව. මං හිතන්නේ ප්‍රහසනයට අඩු තක්සේරුවක් ගොඩනැඟිලා තිබෙන්නේ ඒ හේතුව මතයි.

රැල්ලට දුවන, වෙනස්කම් භාර ගන්න අඩු රුචිකත්වයක් තිබෙන රටක වෙනස් නිර්මාණ කරන එක අභියෝගයක් නේද?

යම් සමාජ මාධ්‍යයක ප්‍රේක්ෂකාගාරයක් ගොඩනඟාගත් විට අලුත් දෙයක් කරන්න බොහෝ දෙනෙක් මැළිවෙනවා. මොකද අලුත් දෙයක් තුළින් පවතින ප්‍රේක්ෂකාගාරය කැඩෙයි කියලා සාධාරණ බයක් දැනෙනවා. චුට්ටන් බට්ටිච්චා කියන්නෙත් මං ගත්ත ඒ වගේ අවදානමක්. ඉංග්‍රීසි කවර් ගීත කරලා ඒකට ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයක් ගොඩනැඟී තිබෙන කොට සිංහල සින්දුවක් කිරීම තුළ ඒ ප්‍රේක්ෂකාගාරය මට අහිමි වෙයි කියන බය තිබුණා. නමුත් මම ඒ අභියෝගය භාර ගත්තා. වෙනසක් කරන්න නම් අවදානමක් ගන්නම ඕනේ.

තවත් ජාත්‍යන්තරය හොල්ලන්න බලාපොරොත්තු වෙනවද?

ඉස්සරහට කරන වැඩවලින් ජාත්‍යන්තරයේ තවත් හෙල්ලෙයි කියල බලාපොරොත්තු වෙනවා.

පෙම්වතියගෙන් ඔබට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

ඇයගේ නම අංජලී බණ්ඩාර. ඇය නොසිටින්නට මම මෙතන නැහැ කියන තරමටම ඇය මගේ ගමනට උදව් වෙනවා. මගේ අදහස් වැඩිදියුණු කරල ඔපමට්ටම් කරන්නේ ඇය. ඒ නිසා මගේ ජයග්‍රහණවල අයිතිය ඇයටත් හිමියි.

විශ්මි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division