Home » මොරගහහේන සුපිරි නිවෙසේ හොර මත්පැන් ස්කාගාරය

මොරගහහේන සුපිරි නිවෙසේ හොර මත්පැන් ස්කාගාරය

by thanushika
April 27, 2024 12:30 am 0 comment

නොවටිනා මිල ගණන්වලට කුලි නිවාස මිලදී ගන්නා පුද්ගලයන් මේ ජන සමාජයේ එමට සිටිති. එහෙත් ඔවුන් මෙසේ නොවටිනා මිල ගණන්වලට කුලී නිවාස මිලදී ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සොයා බැලුවොත් එහි යම්කිසි රහසක් ඇති බව අනිවාර්යයෙන්ම සොයාගත හැකිය.

පිළියන්දල පොලිසිය මෑතකදී සිදු කරන ලද විමර්ශනයකින් හෙළි වූයේ කැස්බෑව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කුලියට ගත් නිවාසයක සිටින පුද්ගලයකු කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වන බවය. අදාළ පුද්ගලයා පකිස්තාන ජාතිකයකු බවද ඔහු මෙම නිවස කුලියට ගෙන තිබුණේ මාසිකව රුපියල් ලක්ෂයක් පමණ ඊට ගෙවීමේ පදනම යටතේ බවද පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය.

විශේෂයෙන් නිවාස සංකීර්ණවල පිහිටි නිවාස කුලියට ගැනීමට ජාවාරම්කරුවෝ උත්සුක වන බව රහසක් නොවේ. වටිනාකමට වඩා මුදලක් කුලිය වශයෙන් ගෙවීමට කුලී නිවැසියා සූදානම් නම් නිවසේ අයිතිකරු දෙවරක් සිතිය යුත්තේ තමාද මේ නිසා අනිවාර්යයෙන් අමාරුවේ වැටීමට ඇති ඉඩකඩ නිසාය.

ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී) යොදාගෙන කුලියට ගත් නිවසක සංවිධානාත්මක පිරිසක් සිදු කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල ගැනද කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. කුලී නිවාසවලට වැඩි මුදලක් මාසිකව ගෙවා ගණිකා මධ්‍යස්ථාන, මත්ද්‍රව්‍ය ජාවාරම් පවත්වාගෙන යාම ගැන පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ කාලයක සිටය. ලොකු මිල ගණන්වලට තම නිවාස කුලියට ගන්නට එන පුද්ගලයා නිවස අයිතිකරු විසින් නිශ්චිතවම හඳුනාගත යුත්තේ එබැවිනි.

මේ එවැනි කතාවකි. වාර්තා වූයේ බණ්ඩාරගම පොලිස් ස්ථානයෙනි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධරයන් පසුගිය කාලයේ එක්රැස් කරගන්නා ලද තොරතුරු පොලිස් ස්ථානවලට ලබා දී එමඟින් සිදු කරන ලද වැටලීම්වලින් මේ වන විට අත්කරගෙන ඇති ප්‍රතිඵලය ඉතා ඉහළය. විශේෂයෙන් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය වෙනුවෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් පොලිස් ස්ථානවලට ලබා දී තිබූ ඉතා වැදගත් තොරතුරුවලට අනුව සිදු කරන ලද වැටලීම්වල ලොකු ප්‍රගතියක් තිබූ බවද දැනගන්නට ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ රාජකාරියේ නිරත එමෙන්ම මේ වන විට බණ්ඩාරගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන නිලධරයාද දක්ෂ එමෙන්ම තොරතුරු ජාලාවක් සහිත අයෙකි. ඔහු විසින් ලබා දෙන තොරතුරුවලට අනුව පොලිසිය මේ වන විට සිදුකර ඇති සාර්ථක වැටලීම් 20කට ආසන්නය. මේ බුද්ධි නිලධරයා පසුගියදා අත ගසන්නේ එවැනිම තොරතුරු ජාලයකින් තොරතුරක් ලබාගැනීම සඳහාය.

මේ නිලධරයාට තොරතුරක් ලැබෙන්නේ මොරගහහේන ප්‍රදේශයේ ජයටම එසේම මහා පරිමාණයෙන් ජාවාරම් කරගෙන යන හොර මත්පැන් ස්කාගාරයක් පිළිබඳවය.

මේ ජාවාරම කලක සිට සිදු කරගෙන යන පුද්ගලයා ඇතුළු ජාවාරමට සම්බන්ධ සියලු තොරතුරු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධරයා විසින් සොයා ගන්නේ තවත් දින කීපයක් ඇතුළතදීය. මෙහෙයුම සිදු කිරීමට බණ්ඩාරගම පොලිසියේ විශේෂ කණ්ඩායමක් සූදානම් කැරිණි. ඒ බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිම්න ජයසුන්දර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

පොලිස් කණ්ඩායම අදාළ තොරතුරු ඔස්සේ සිදු කරන ලද විමර්ශනයෙන් අනතුරුව මොරගහහේන, ගෝනපළ, කුඹුක වත්ත නිවාස සංකීර්ණයක පිහිටි අති සුඛෝපභෝගී නිවසක් වටලන්නේ එහි සිටින කිසිවකුට ඉන් පැන යාමට නොහැකි වන සේය.

පොලිස් කණ්ඩායම එහි යන විටත් හොර මත්පැන් පෙරා බෝතල් කිරීමේ කාර්ය එහි සාර්ථකව සිදු කරගෙන යමින් තිබිණි. රුපියල් විසි ලක්ෂයක් පමණ වටිනා නීති විරෝධී මත්පැන් ගෝඩා සහ උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

සුඛෝපභෝගී කාරයකින් මේ හොර මත්පැන් බෙදාහැර ඇති බව පොලිසිය සොයා ගන්නේ ඉන් අනතුරුවය.

නීති විරෝධි මත්පැන් බෝතල් 180ක්, ගෑස් ලිප් 3ක්, සිලින්ඩර බැරල් 6ක්, ලීටර් 1000 වතුර ටැංකි 4ක්, ගෝඩා වතුර මෝටර් මේ හොර මත්පැන් ස්කාගාරයේ තිබියදී සොයා ගැනිණි. ජාවාරම සිදුකරගෙන ගිය පුද්ගලයාද අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. සැකකරු බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මේ නිවස කුලියට ගෙන ඇත්තේ මාසිකව රුපියල් පනස් දහසක් ගෙවීමේ පදනමටය. කල්බදු ක්‍රමයට මිලදී ගත් කාරයට මාසිකව රුපියල් 60,000ක් ගෙවන බවද හෙළි විය. මෙසේ හොර මත්පැන් ස්කාගාරයෙන් දෛනිකව සිදුවන නිෂ්පාදනය සඳහා සැකකරු රුපියල් ලක්ෂයක පමණ මුදලක් දෛනිකව ගනුදෙනු කරන බවද පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය විය.

අදාළ සුඛෝපභෝගී නිවසේ දෙවන මහලේ මත්පැන් පෙරීම සිදුවන අතර එහි ඇති බැරල්වලින් බට මඟින් පහත මාලයට ගෙන එන ගෝඩා නැවත මෝටරයක් මාර්ගයෙන් ඉහළ මාලයට යවන අතරේ හොර මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය එලෙස සිදුවන බවද හෙළි විය.

නිවස පිටුපස ලෑලි කුටියක තිබූ ලීටර් 1000 ටැංකි 4ක් ද පොලිසිය සොයාගෙන තිබේ.

මෙලෙස යන්ත්‍රානුසාරයෙන් පෙරන ලද හොර මත්පැන් බෝතල් කර පාණදුර, පිළියන්දල, බණ්ඩාරගම, ඉංගිරිය ප්‍රදේශවලට බෙදාහැර ඇත්තේ සුඛෝපභෝගී කාරය උපයෝගී කරගෙනය. අත්අඩංගුවට ගැනුණු සැකකරු 42 හැවිරිදිය. අදාළ නිවෙසේ තිබුණු ඊස්ට් පැකට් දාහක පමණ හිස් කවරද පොලිසිය විසින් සොයාගෙන තිබේ. මේ ඊස්ට් තොග හොර මත්පැන් නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නට ඇතැයි සැක ‍කෙරේ.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිම්න ජයසුන්දර, කොස්තාපල්වරුන් වන (97340) හේරත්, (104643) සේනාරත්න, (104678) තුෂාර ඇතුළු කණ්ඩායම වැටලීම සිදු කරන ලදි.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division