Home » උදව්වට ආවා වගේ පෙන්වා අහිංසක මිනිසුන්ගේ තුට්ටු දෙකට තට්ටු කළ කම්කරුවා

උදව්වට ආවා වගේ පෙන්වා අහිංසක මිනිසුන්ගේ තුට්ටු දෙකට තට්ටු කළ කම්කරුවා

by thanushika
April 27, 2024 12:30 am 0 comment

කුමක් හෝ උප්පරවැට්ටියක් කර අසරණ මිනිසුන් රවටා ඔවුන් සතු මිල මුදල් වංචනිකව ලබාගන්නා පුද්ගලයන් අඩු නැතුවම මේ ජන සමාජයේ සිටින බව ඕනෑම කෙනෙකු දන්නා කාරණයකි. මේ පුද්ගලයන් ඇතැම් අවස්ථාවල අසරණ අහිංසක මිනිසුන් මහ දවාලේ රවටා ඔවුන් සතු මිල මුදල් වංචනිකව ලබාගන්නේ සිත්පිත් නැති අය සේය.

මෙවැනි සංවිධානාත්මක පුද්ගලයන් මේ අසරණ අහිංසක මිනිසුන් රැවටීම සඳහා තමන්ගේ තාක්ෂණික දැනුම ද ඇතැම් අවස්ථාවලදී උපයෝගී කර ගැනීම ද අමුතුවෙන් කිවයුතු නැත. පරිගණක සාක්ෂරතාව අඩු අහිංසක අසරණ මිනිසුන් රවටා ඔවුන් අමාරුවෙන් හරිහම්බ කරන තුට්ටු දෙක මංකොල්ල කන මේ කපටින් ඕනෑම තැනක සිටිය හැකිය. මහජනතාව එය අනිවාර්යයෙන් දැන සිටිය යුතු කරුණකි.

එවැනි සංවිධානාත්මක පුද්ගලයන් පිරිසක් විසින් රටේ විවිධ ප්‍රදේශවල සිදු කරන වංචනික ක්‍රියාවන් ගැන වඩා අවධානය පසුගියදා යොමු වූයේ හැටන් පොලිසිය සිදු කරන ලද විමර්ශනයකදී අනාවරණය වූ සිද්ධියක් නිසාය.

මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

හැටන් සහ යාබද ඇතැම් ප්‍රදේශවල පිහිටි ඒටීඑම් යන්ත්‍ර භාවිත කර කාඩ්පත් මඟින් මුදල් ලබා ගැනීමට පැමිණෙන ඇතැම් ගනුදෙනුකරුවන්ට උදව් උපකාර කිරීමේ මුවාවෙන් ඔවුන් වටා ඔවුන් සතු බැංකු කාඩ්පත් සහ රහස්‍ය අංකය ද ලබාගෙන එමඟින් එම පුද්ගලයන් සතු මිල මුදල් වංචනිකව රැගෙන පලා යන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක ඇතුළු කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය.

හැටන් පොලිස් බල ප්‍රදේශය සහ ඊට යාබද තවත් පොලිස් බල ප්‍රදේශ කීපයක ඒටීඑම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන ඇතැම් අසරණ අහිංසක පුද්ගලයන්ට උදව් කරන මුවාවෙන් ඔවුන් සතු බැංකු කාඩ්පත් සහ රහස්‍ය අංකය ඉතා සූක්ෂමව ලබාගෙන එම පුද්ගලයන් සතු ගිණුම්වලින් මිල මුදල් වංචනිකව ලබාගෙන පලා යන පුද්ගලයකු පිළිබඳව සහ එවැනි සිදුවීම් කීපයක් පිළිබඳව හැටන් මූලස්ථාන පොලිසියට සහ යාබද පොලිස් ස්ථාන කීපයකට පැමිණිලි කීපයක් ලැබී තිබුණේ පසුගිය දිනවලය.

හැටන් මූලස්ථාන පොලිසියට ලැබුණු එවැනි එක් පැමිණිල්ලකින් කියැවුණේ පැමිණිලිකරු රවටා ඔහුගේ ගිණුමෙන් ඒටීඑම් යන්ත්‍රයකින් රුපියල් පන්ලක්ෂ දසදහසක මුදලක් කිසියම් පුද්ගලයකු ලබාගෙන ඇති බවය. තලවකැලේ ප්‍රදේශයේදී ද රුපියල් එක්ලක්ෂ දෙදහසක මුදලක් මේ ආකාරයෙන්ම ඒටීඑම් යන්ත්‍රය ඔස්සේ කිසියම් පුද්ගලයකු විසින් ලබාගෙන තිබුණේ ගිණුම හිමි පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස රවටා ඔහුගේ ඒටීඑම් කාඩ්පත සහ රහස්‍ය අංකය ලබාගත් පුද්ගලයකු විසිනි.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගමට මේ තොරතුරු සැලවීමත් සමඟ පොලිස් අධිකාරිවරයා මේ ගැන විමර්ශන පවරන්නේ හැටන් මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංකටය.

මේ පැමිණිලි සම්බන්ධයෙන් ඒ මොහොතේ දීර්ඝ විමර්ශනයක් පොලිස් පරීක්ෂක මධුෂංක විසින් ආරම්භ කරන්නේ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේනගේ උපදෙස් මතය.

මෙසේ ඒටීඑම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන සමහර පුද්ගලයන් අසලට ළංවී ඔවුන්ට මුදල් ලබා ගැනීම සඳහා උදවු කරන මේ පුද්ගලයා ඉතා සූක්ෂමව ඔහුගෙන් උදවු ලබා ගන්නා පුද්ගලයාගේ බැංකු කාඩ්පත සහ එහි රහස්‍ය අංකය ලබා ගන්නා බවද අනතුරුව උදවු ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට හොරෙන් ඔහුගේ හෝ ඇගේ ගිණුමෙන් මුදල් ලබාගෙන ව්‍යාජ කාඩ්පතක් උදවු ලබාගන්නා පුද්ගලයාට අතට පත්කොට ගිණුමෙන් මුදල් ලබා ගැනීමට බැරි බව හෝ කාඩ්පතේ දෝෂයක් ඇති බව කියා ඔහු – ඇය මුළාකොට එතැනින් පැන යන බව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් මධුෂංක ඇතුළු කණ්ඩායම සිදු කරන ලද විමර්ශනයේදී හෙළි විය.

හැටන් කොට්ඨාසයේ අපරාධ දත්ත වාර්තා මින් අනතුරුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක සොයා ගන්නේ මෙවැනිම වංචනික ක්‍රියාවක් මීට කාලයක් තිස්සේ මීට පෙර කාලයක සිදු කරන ලද පුද්ගලයකු පිළිබඳ තොරතුරුය. මෙවර ඒ වංචනික ක්‍රියාව නැවත සිදු කරන්නේ එකම පුද්ගලයා ද යන්න පිළිබඳව පොලිස් පරීක්ෂක මධුෂංක සැක කරන්නේ එම සිද්ධිවල අපරාධ වාර්තා පරිශීලනය කරද්දීය.

විශේෂයෙන් පරිගණක සාක්ෂරතාව වැඩිපුර නැති ග්‍රාමීය ප්‍රදේශවල පදිංචි අහිංසක ගැමියන් මේ පුද්ගලයාට පහසුවෙන් රැවටී ඇති බවද ඔහු මේ වංචනික ක්‍රියාව විශේෂයෙන් සිදු කරන්නේ බැංකු සහ රජයේ නිවාඩු දිනවලදී බවද පොලිස් පරීක්ෂක මධුෂංක සොයා ගන්නේ ඒ ගැන සිදු කරන ලද විමර්ශනයේදීය.

සැකකරු අල්ලා ගැනීම සඳහා ඉන් අනතුරුව සැලැසුමක් සකස් කරන පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක හැටන් සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ඒටීඑම් යන්ත්‍ර අසල සිවිල් ඇඳුමෙන් සැරසී කරක් ගසන්නේ සැකකරු කොයි මොහොතක හෝ කොටුකර ගැනීමේ අරමුණිනි. විශේෂයෙන් රජයේ සහ බැංකු නිවාඩු දින මේ සඳහා යොදා ගැනීමට පොලිස් පරීක්ෂක මධුෂංක කටයුතු යොදා තිබිණි.

පොලිස් පරීක්ෂකවරයාගේ මේ සැලැසුම සාර්ථක වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. හැටන් නගරයේ ඒටීඑම් යන්ත්‍රයක් අසල සැක කටයුතු ලෙස ගැවසුන පුද්ගලයෙක් දැක ඔහුගේ අනන්‍යතාව පරීක්ෂා කරන පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ මුදල් පසුම්බියේ තිබූ රිසිට් පත්‍රයක් නිරීක්ෂණය කරද්දී එහි සටහන්ව තිබූ බැංකු කාඩ්පත් ගණනාවක අංක දැක ඒ පිළිබඳ සැකය මත සැකකරුගෙන් ප්‍රශ්න කරද්දි මේ පුද්ගලයා අහිංසක මිනිසුන් අන්දා ඔවුන් සතු බැංකු කාඩ්පත් සොරකම් කර මුදල් වංචා කළ පුද්ගලයාම බව හෙළිකර ගන්නේ පැය කීපයක් ඇතුළතදීය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු හැටන් දික්ඔය මේෆීල්ඩ්වත්තේ පදිංචිකරුවකු වන 27 හැවිරිදි අයෙකි.

සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන්නේ ඔහු හැටන්, ලිඳුල, තලවකැලේ, කොටගල ප්‍රදේශවල ඒටීඑම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට ඒ සඳහා උදවු වන මුවාවෙන් ඔවුන් සතු ඒටීඑම් කාඩ්පත් සහ රහස්‍ය අංකය ලබාගෙන ඔවුන් සතු මුදල් වංචනිකව ලබාගෙන පලා යන බවය.

සැකකරු සතුව තිබූ ඒටීඑම් කාඩ්පත් කීපයක් ද පොලිස් නිලධාරින් විසින් සොයා ගන්නේ ඉන් අනතුරුවය. මොහුගේ වංචනික ක්‍රියාවට වැඩිපුර ලක්වී ඇත්තේ වතු කම්කරු ජනතාවය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුන දෙහිගමගේ උපදෙස් මත හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේනගේ මඟපෙන්වීමෙන් හැටන් මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක, සැරයන්වරුන් වන විතානගේ (31110 ), ක්‍රිෂෝර් කුමාර් (73813), කොස්තාපල් සෂිකුමාර් (8638), කාන්තා කොස්තාපල් (12473) කුමාරි යන නිලධාරින් නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division