Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

කෝපි මල්

රන්වන් හිරු­රැස් උදා­වට පෙර පිපි කෝපි මල්
තද නිල් තුරු අතු මත පේළි­යට පිපි කෝපි මල්
පිනි බිඳු විසිර සුදු පැහැ­යෙන් දිලෙන කෝපි මල්
කවි සිත­කට සොඳුරු සිතු­විලි මැවෙන කෝපි මල්
සුදෝ සුදු පොකුරු පොකුරු කෝපි මල්
මීමැසි කැල ගුමු ගුමුව නඟන කෝපි මල්
ඈතින් මෑතින් සුවඳ හමන කෝපි මල්
අම්මේ ඔබේ සුවඳ දැනෙනා කෝපි මල්

සුනේත්‍රා විජේ­රත්න


යුග දිවි ගමන

නෙක නෙක ගැටලු බාධක මතු­වන විටදී
විස­ඳා­ගත යුතුය නිසි කල නිසි පරිදී
තීරණ තනිව ගෙන වැඩ කළ විට වැරදී
දිවි මඟ කරන සට­නෙදි නිත­රම පරදී
කළ යුතු නොකළ යුතු කිව­යුතු නොකිව යුතු
හරි දෙය වැරදි දෙය පටලා නොගත යුතු
ඇසු දුටු පම­ණින්ම නොසොයා නියම තතු
පිළි­ගනු එපා වැන­සෙයි ජීවි­තය මතු

අජිත් ජෝතිය කර­සිංහ


වෙච්ච දෙයක්

පසු­ගිය සමේ වට මහ වැහිවලට තද
රටෙ­හිම වගා­වන් වැනසී නොසිතු ලෙද
සුප් එක­කට පවා ගන්නට බැරිව අද
එළ­වළු ගණන් ගොස් ඇත හිඟය මැද
හිඟ­කම ඇතත් අස්වනු ලද යුතු රටට
එයි අඩු නැතුව එළ­වළු කඩ­යට පොළට
ඇති හැකි අයට කම් නැහැ දැනු­ණට මිටට
එළ­වළු මිලෙන් වැදු­ණෙත් දුප්පත් අපට
වම්බටු දඹල මෑ කර­විල මිරිස් පවා
ගත හැක කාගෙ කාගෙත් පොඩි ඉඩක වවා
නොවවා සිටි­යො­තින් අප සිත් දුකෙන් දවා
එළ­වළු ගණන් යයි තව හිඟ­ය­කුත් මවා

ඩී.සී.වැලි­කල


මල්වර සොබාදහම

දොඹ සපු නා වැටකේ මල් පිපී සුවඳ දෙමින් කැලේ
අඹ කජු කොස් පල බර වී සතුට පිරී නුවන් හැලේ
ඉඹ ඉඹ නල වැල් ඇසුරින් නෙලුම් ඕලු දසුන් විලේ
සුබ අවුරුදු අසිරි මවයි කොවුල් ගීත දෙමින් තොලේ
මල් වර වු ලකුණු කියයි එරබඳු මල් පිපී ගසේ
සල්මල් මකරඳ සුවඳට බිඟු කැල වෙත හැදුණි විසේ
පිල් මොණරකු ගයති රඟති මොණරිට ඇති වන්න තොසේ
වෙල් ඉපනැල්ලේ ළමයින් ගයන ගීත කණට ඇසේ
රඹකැන් අතිරස මුංගුලි කොකිස් සුවඳ නැහැය දනී
අඹ කජු පුහුලන් කන්නට පොඩි උන් ගස්වලට පනී
සුබ අවුරුදු නැකැත්වලට බුද ජය ගති නසා සනී
ඔබ අප හැමටම තෙරුවන් බලයෙන් සිත සතුට දුනී

මුණසිංහ නිස්සංක


සක්විති රජෙක්

පෙර කාලයේ අවුරුදු සිරි සිහි වෙද්දී
සුසුම් නැඟෙනවා අද හා සසඳද්දී
අටු කොටු පිරී බත බුලතින් සරු වෙද්දී
අවුරුදු උදා විය තුරුලිය පිබිදෙද්දී
ගුණ නැණ බල මහිම ගෙන දුන් ගුරු දෙගුරුයි
වැව දාගබ දැය සුරකූ විහාරයයි
සොබා දමට මුල්තැන දුන් හෙළ සිරිතයි
අවුරුදු මිහිර මිහිරක් කළ හැටි මතකයි
එපා දොස් තෙපුල් වු දේ වුණාදෙන්
සෝබන කතා පොරොන්දු දිය වී යද්දෙන්
රට ගොඩ නඟන දන උල්පත් මතු වෙද්දෙන්
සක්විති රජෙක් පාලනයට පැමිණෙද්දෙන්

නාරංවල ජේ.ජේ. රාජපක්ෂ


ආද­රය

කුලය බලය ධනය පිවි­තුරු ආද­ර­යට වුව­මනා නැහැ
මහ මන්දිර යාහන වාහන නැති­වට කමක් නැහැ
දෙහ­දක බැදුණු සෙන­හස තරම් වටිනා දෙයක් නැහැ
සිහි­ව­ට­න­යයි රතු රෝස­මල් අම­තක කරලා බැහැ
සැඩොල් කුල­යක ඉප­දුන රුවැති අසෝ­ක­මාලා
සාලිය කුමරු පෙම් බැන්දේ කුලය අම­තක කරලා
පචා­චාරා සිටු දිය­ණිය මෙහෙ­ක­රුට ආද­රෙන් බැදිලා
සිටු මැදු­රෙන් නික්මුණේ ආද­රය ඔහුට පුදලා

ඩබ්.පි. ඉන්ද්‍රානි


මේ ඔබ­ටයි

කළ යුතු සියලු දේ කර බාධක මැද්දේ
නෑසෙන ලෙසින් නින්දා අප­හස සද්දේ
නිවැ­රදි ඉල­ක්ක­ය­ටයි වැඩි­පුර විද්දේ
ජය­ගමි මියෙ­න­තුරු මම ජීවන යුද්දේ
වැටිලා ඇත්තේ කටු ඔටු­නුය හිස මතට
තුති මල් පොකුරු වෙනු­වට ගල් මුගුරු කැට
සිත තුළ වෛර­යක් නැත මගේ කිසි­වෙ­කුට
මා මියගියත් මම නම් බිය නොමැත හෙට
එන දුක පැණි රසයි කිය­මින් සිනා­සෙමි
ලද දෙය ලබා­ගෙන මම හිත හදා­ගමි
ඉව­සුම් සැන­සු­මයි මට මම කියා­ගමි
යන ලෝක­යට වැඩ කට­යුතු හදා­ගමි

අනුර රත්න­ප්‍රිය


ගඟ නොවේ ඔබ

ගලා ගිය දිය වදුල නිසල වන­පෙත මැදින්
පසු කර ආව මහා ගිරි කඳු සිඛර පසු­ක­රන්
පෙනි පෙනී මහ සයුර අතර සැඟවී යන්න පෙර
සොඳුරු දුප­තකි දිය කඳුර මැද හදි­සියේ හමු වු
මඳක් සලා ගිමන් යා යුතුද එහි නිබඳ
රැගෙන යා යුතුද බිම් කඩද ගලන දිය කැටුව
දමා යන්නට ඉඩ දේද ඵල පිරුණු ඒ රැඳුම
විමසා සිටියි ගං දිය නිබඳ තමන් හා පැමිණි
ගඟක් නැත දෙව­රක් ගලා
ගලා ආ ගඟ නොවේ ඔබ
ගලා යන්නෙ යළිඳු නොවේ ඔබ
රැඳී ඉන්නේ ගලා ආ නොවේ ඔබ ද
සෙමින් කීවේය ගඟ ඔහුට

චම්මින්ද වෙල­ගෙ­දර


හමාස් ජුදෙව් හබය්‍

ඊශ්‍ර­යල් පල­ස්තී­නුන් මිනි­සුන්ගේ
නිමා නොවනු කිම යුද ගිනි අවු­ලන්නේ
යූ.එන්.එකේ මහ ලේකම් මහ­තුන්නේ
ඇයි මේ හබය වෙත මැදි­හත් නොම වන්නේ
ගාසා තීරයේ බල රැක ගනු යෙදුණේ
යුදෙව් හමාස් ජාතීන් දෙප­සට බෙදුණේ
දෙර­ටේම දිවි දහස් ගණ­නක් මියැ ඇදුණේ
යූ.එන්. එක ඇයි තවම ගොළු­වත රකිණේ
රැක­ගනු කිම බලය දිවි ගණ­නක් නැසුවේ
තියනා එක හොඳින් සිහි­යට ගනු මැනවේ
මෙත් මුදි­තාව කරුණා ගුණ වඩ යුතුවේ
සාමෙට පිළි­තු­රකි බුදු හිමි­යන් දෙසුවේ

චම්පා ගුණ­සේ­කර


සසර මුතු

අඹ දල්ලට වැටී ළා හිරු කිරණ රතු
අනි­යත කියා දෙයි සසරේ ලැබෙන මතු
අත­පත නොගෑ­වට හඳු­නමි වටින මුතු
ආදර හැඟුම් පිබි­දෙයි ඉන් විලස පැතු
ගල් කඳු ගිනි අව්වෙ වියැ­ළෙයි
නොමැත පලක්
ඒ මැද රස කතා විට­කදී ගනිති මිලක්
වටි­නා­කම එන්න ගත විය හැකිය කලක්
මා වැලි­ක­තරේ තනි වුණ
හුරු­බු­හුටි මලක්…
හිමි­දිරි උදේ හිරු හිනැ­හෙන
ගගන ගැබේ
තුරු­මත විහඟ නද අත­රින් සතුට ලැබේ
ආදර හැඟුම් බස් මතු වූ නමුදු ඉබේ
එහි සුව තනිව විඳ­ග­න්නට සිදුව තිබේ

ජනි නෙරං­ජලා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division