Home » වත්තෙ වැව ළඟ නිසල නිවහන මමම හැදුවා පොඩි පුතේ

වත්තෙ වැව ළඟ නිසල නිවහන මමම හැදුවා පොඩි පුතේ

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

රිදුණු බිඳුණු සිතක් සනසන්නට නළවන්නට ගීතයකට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. පෙමක් බිදුණ විට, හැරගිය විට ලියැවුණ ගී බොහෝය. මව් ගුණ පිය ගුණ ගී මෙන්ම මෙ සමාජයේ ඇති විවිධාකාර මිනිස් බැඳිම් හැඟිම් දැනිම් ගැන ලියැවුණ ගී ද බොහෝය. ඒ කෙසේ වෙතත් ගමන නිමාකළ පියෙකුගේ අවසන් ගමන ගැන කියැවෙන මේ ගීතය අපට අසන්නට ලැබුණේ මීට ටික කලකට පෙරය. ඒ පද ඉරේෂා හේමමාලි කිවිියගේය. ඇය විසින් ලියන ලද හමාර බණවර කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් වුණ මේ පද ගීයක් බවට පත් කරන්නේ ගායන ශිල්පි රවී රොයිස්ටර් විසිනි.

රවී විසින් ගැයු මේ ගී පද නොවිඳි කෙනෙක් නැති තරම්ය. ඒ තරමටම ඔහුගේ හඬත්, සංගීතයත් සමඟ ඉරේෂාගේ වචන හා බද්ධ වී ඇත.

වසර දෙක තුනකට පෙර ගැයුණු මේ ගීතයේ අරුත එදාටත් වඩා අද දවසේදී වඩ වඩාත් සංවේදීව අපට දැනෙන්නට පටන්ගෙන ඇත. ඒ පසුගියදා නොසිතු මොහොතක සිය දිවි ගමන නිමාකළ කළක් නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටි, පසුකාලිනව ක්‍රියාකාරි දේශපාලනයෙන් ඈත්ව පොදු මහජනතාව වෙනුවෙන් සේවය කළ පාලිත තෙවරප්පෙරුමයන්ගේ අභාවයත් සමඟ හමාර බණවර ගීතය පිළිබඳ යළිත් කතාබහ කරන්නට විය. පාලිත තෙවරප්පෙරුමයන් විසින් තමන්ට ගැලපෙන පරිදි එහි වචන කිහිපයක් වෙනස් කර තිබිණි. ගීතය කරලියට ආවේ ඒ වෙනසත් සමඟිනි. කලකට පෙර පාලිත විසින් ඒ ගැන කියුවේ මෙවන් අදහසකි.

“මම දන්නවා මම මැරෙනවා කියලා. ජීවත් වෙලා ඉන්නකොට තේරුම් ගන්න ඕන තමන් මැරෙන බව. මැරෙන්න කලින් සොහොන් හදන්නේ නැත්තේ මැරෙන්නේ නෑ කියලා හිතන් ඉන්න මිනිස්සු. මගෙ ලොකු පුතා තමයි මගෙ ජීවිතේ. මගේ පුතා මිය යන විට ඔහුට අවුරුදු විසිතුනයි. මම නිතරම හැමදාම වත්තට යනවා එනවා. මට පුතාගේ මතකය අමතක කරන්න හරිම අමාරුයි. පුතාගේ මිනිය වැළලුවේ ගේ ඉස්සරහ. පුතාගේ යාළුවෝ මිනිය වළලන්න වෙනම තැනක් හදලා තිබුණා. එතැන පුතාව වළදමන්න මම කැමැති වුණේ නෑ. මමයි පුතාගේ වළ කැපුවේ. පසුව තමයි එතැන හොඳට හැදුවේ. පුතා ගැන මතක් වෙනකොට මට රෑට නින්ද යන්නේ නෑ. ඔහොම ඉන්න අතරෙ තමයි මම මේ ගීතය ඇහුවේ. මම ඒ පද මෙහෙම වෙනස් කළා

“වත්තෙ වැව ළඟ නිසල නිවහන
මමම හැදුවා පොඩි පුතේ
මගේ තනියට ලොකු පුතා ඇති
සොයා ගන්නම් හෙට උදේ…“

ජීවත් වෙද්දීම තමන් ද දිනෙක මිය යන බව දැන සිටි මිනිසෙකුගේ කතාවයි ඒ. ජනතාව වෙනුවෙන් සේවය කළ ඔහු මිය ගියදා ඔහුට ගෞරව දැක්වීමට නන්දෙසින් ජනතාව පැමිණියහ.

ඔහුගේ අභාවයත් සමඟම “පුරුදු පාරෙම අදත් යනවා…“ ගීතය ඒ වෙනස සමඟම ගයන්නට ගායකයා ඉදිරිපත්වීම විශේෂය.

බොහෝ සෙයින් ජනප්‍රිය ‘හමාර බණවර‘ ගීතයට සිදු වුයේ කුමක්ද? අපි ඒ ගැන ඇසුවේ ගායන ශිල්පි රවී රොයිස්ටර්ගෙන්.

“2019 ජනවාරි මාසේ තමයි මට මේ පද පෙළ හමුවන්නේ. ඒ ඉරේෂා හේමමාලි සොයුරියගේ හමාර බණවර කවි පොතෙන්. මෙය ගීයතයක් බවට පත් කරන්නේ 2019 දෙසැම්බර් මාසේ. ගීතයට ලැබුණ ප්‍රතිචාර හරිම ඉහළයි. මම ඒ පදවලට කැමැති වෙන්න තිබුණ එකම හේතුව තමයි ඒ පදවල තිබුණ අරුත. ඒ පද වල තිබුණ අරුතට මම හරිම කැමැතියි. කොහොම නමුත් පසුගියදා පාලිත තෙවරප්පෙරුම මහත්මයා මිය ගියාට පස්සේ තමයි මම දන්නේ ඔහු මෙයට බොහෝ කැමති බව. ඇත්තටම ඔහු ජනතාව වෙනුවෙන් සේවය කළ මිනිසෙක්. මට හිතුණා එතුමාට උපහාරයක් ලෙස ඒ වෙනස් කරපු පද සමඟ මේ ගීතය ගයන්න. මම මේ පදවල හිමිකාරිය වන ඉරේෂා සොයුරියටත් ඒ බව දැන්නුවා. ඇයගෙත් අකමැත්තක් තිබුණේ නැහැ. පාලිත මහත්මා ඒ වෙනස් කරපු වචන එක්ක මම නැවත මේ ගීතය ගැයුවා. මම ඒහෙම කළේ ජනතාව වෙනුවෙන් සේවය කළ ඒ මිනිසා වෙනුවෙන්. අද මට ඒ ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා. මම ගීතය ගයලා ප්‍රසිද්ධියක්වත්, ජනප්‍රියත්වයක් නොවෙයි බලාපොරොත්තු වුණේ. මට ඕන වුණේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩක් කළ ඒ මිනිසාට ගෞරවයක් දැක්වීම පමණයි.“

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division