Home » මැයි දින රැලි

මැයි දින රැලි

by Mahesh Lakehouse
April 27, 2024 12:37 am 0 comment

එජාප මාලිගාවත්තේීදී 

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම “යළි නොවැටෙන අභිමානවත් රටක්” යන තේමාවෙන් කොළඹ මාලිගාවත්තේදී මැයි 1 වැනිදා පස්වරු 2 ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි දින සැමරුමට 50,000කට ආසන්න ජනකායක් සහභාගි වන බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. මැයි දිනයේ සංවිධාන කටයුතු එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරුන් දහසකට පවරා තිබෙන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායකයෙකු ජනාධිපති ලෙස පක්ෂ මැයි දින රැලියකට එක්වන පළමු අවස්ථාව මෙය වේ.

එක්සත් ජාතික පක්ෂ මැයි දිනයට සහභාගි වන ලෙස සියලු පක්ෂවලට විවෘත ආරාධනාවක් කර තිබෙන බව කී එජාප මහලේකම්වරයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු සන්ධානය ගොඩනැඟීමේ මුල් පියවර ලෙස එම පියවර ගත් බව කීය.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුමත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා දැවැන්ත ජන බලයක් ගොඩනැඟීමේ මෙහෙයුම අරඹන බව ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.


පොහොට්ටුව කැම්බල් පිටියේ 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙවර මැයි දින රැලිය කොළඹ කැම්බල් පිටියේදී සවස 2ට විශාල ජන සහභාගිත්වයකින් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර, ඒ සඳහා එම පක්ෂයට සම්බන්ධ මහජන එක්සත් පෙරමුණ, ඊ.පී.ඩී.පී ඇතුළු සියලු පක්ෂ සහභාගි වේ. පොදු ජන පෙරමුණේ මෙවර ද මැයි දින පෙළපාළියක් නොපැවැත්වේ.


සජබ චැතැම් වීදියේදී

සමගි ජනබලවේගය විසින් පවත්වනු ලබන මැයි දින රැලිය සමගි ජනබලවේගය නියෝජනය කරන ක්‍රියාකාරීන්, පාක්ෂිකයන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ චැතැම් වීදියේදී පැවැත්වෙන අතර පෙළපාළිය එම ස්ථානයට පැමිණෙන්නේ කොළඹ ඊ.ඒ. ගුණසිංහ පිටියේ සිටය.


මාලිමාව සමරු 4ක්

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි දින රැලි සහ පෙළපාළි පවත්වනු ලබන්නේ ජාතික ජනබලවේගය හෙවත් මාලිමාවේ මැයි දින සැමරුම ලෙසිනි. “රට හදන විසඳුමට – ජන බලය එක පෙළට” තේමාව යටතේ කොළඹ, මාතර, අනුරාධපුරය සහ යාපනයේ මාලිමාවේ මැයි පෙළපාළි 4ක් සහ රැස්වීම් 4ක් පැවැත්වේ. මැයි දින හවස 2.30ට බී.ආර් සී පිටියෙන් ආරම්භ වන පෙළපාළිය කොළඹ ලිප්ටන් වටරවුමට ළඟාවීමෙන් පසු ප්‍රධාන රැලිය පැවැත්වේ.

එල්. පී. සුරංග, සුරේකා නිල්මිණී ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division