Home » මුලින්ම යාළුවෝ වගේ හිටියට පස්සේ ආදරේ වැඩිවුණා

මුලින්ම යාළුවෝ වගේ හිටියට පස්සේ ආදරේ වැඩිවුණා

by Mahesh Lakehouse
April 20, 2024 12:30 am 0 comment

– දවසක දිනුෂා කැමති වුණොත් දරුවන් ගැන හිතලා අපිත් විදෙස් ගත වෙයි
– මම සමහර වෙලාවට උත්සාහ කරලා තියෙනවා සාමජ මාධ්‍ය භාවිත කරන්න
– ඉස්සර වගේ රිස්ක් එකක් අරන් චැනල්වලින් හොඳ අලුත් වැඩසටහන් අද කරන්නේ නෑ කියලා දැනෙනවා
– ප්‍රසිද්ධිය කියලා හිතලා අද හීනමානය තමයි කොහෙත් මාකට් කරන්නේ
– තවමත් ප්‍රේක්ෂකයෝ අපිව අහන්න ආසයි කියලා දැනෙන තැන් තියෙනවා

නිවේදන කලාව තුළ තමන්ටම වූ අනන්‍යතාවයක් හදා ගත් නිසා නිවේදනයේදි ඔහු බ්‍රෑන්ඩ් එකක් වීමට තරම් වාසනාවන්ත වුණා කියන්න පුළුවන්. රස රිසි ගී කියන්නේ සරල විනෝදාත්මක වැඩසටහනක් වුවත් නාරද බක්මීවැව තනූජා ජයවර්ධන සමඟ එක්ව ඊට වෙනම අලංකාරයක් ලබා දුන්නා. ඒ නිසා දශක දෙකක් පහු වුවත් නාරදව නොදන්න කෙනෙක් නැහැ. ඕනෑම රටාවකට වචන හසුරවන්න පුළුවන් ඔහු දැන් තිදරු පියෙක්. හැමෝගෙම හදවත්වල ඉන්න නිසා ඔහු ගැනත් ඔහුගේ කුටුම්බය ගැනත් මේ විදිහට කතා කරන්න හිතුවා. =

නාරද බක්මීවැව කිව්වම නොදන්න කෙනෙක් නැහැ. ආදරණිය ප්‍රතිචාර එක්ක ගෙවන සුන්දර ජීවිතේ කොහොමද නාරද ..?

රස රිසි කරන කාලේ මාසෙට ලියුම් ගෝණි දෙක තුනක් ආවා. මම අවුරුදු 10ක් ඒ වැඩ සටහන එක දිගට කළා. දැන් ඒ වැඩසටහනට අවුරුදු 25කට කිට්ටුයි. නමුත් එදා ලැබුණු ඒ ප්‍රතිචාර දැන් ලැබෙන්නේ ලියුම්වලින් නෙමෙයි. ඒ ජෙනරේෂන් එක පහු වෙලා තාක්ෂණය දියුණු වෙලා නේ. නමුත් දැන් ප්‍රතිචාර ලැබෙන්නේ මුණගැසිම් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ තමයි. හරි සතුටක් තියෙනවා දැක්කත් නොදැක්කත් එදා වගේම ලැබෙන ප්‍රතිචාර ගැන. ඒකේ අඩුවක් මට දැනෙන්නේ නැහැ. මෑතකදි රූපවාහිනි නාළිකාවකට සම්බන්ධ වෙලා වැඩ කළෙත් නැහැ. ඒ නිසා නිතරම දකින්න ලැබෙන්නේ නැහැ . නමුත් දැක්කා නොදැක්කා කියලා වෙනසක් නැහැ. කොහේ දැක්කත් කට පුරා හිනා වෙලා කතා කරන අඳුර ගන්න අය බොහෝයි. ඒ ප්‍රතිචාර හරි ආදරණීයයි. අමුතුවෙන් ගොඩ නඟාගන්න දෙයක් නැහැ කියලා හිතෙන තරමට ප්‍රතිචාර ලැබෙනවා . මේ ප්‍රතිචාර ඕගනික් ප්‍රතිචාර හැටියට යි මම දකින්නේ

නාරද චරිතය මේන්ටේන් කරන්න සමාජ මාධ්‍ය භාවිත කරන්නෙකුත් නෙමෙයි ..?

මම සමහර වෙලාවට උත්සාහ කරලා තියෙනවා සාමාජ මාධ්‍ය භාවිත කරන්න. ඒකට හේතුව ප්‍රේක්ෂක ජනතාවගේ වැඩි ප්‍රතිචාර ලැබෙන එක තැනක් එය නිසා. නමුත් මම කරන කියන යන හැම තැනකම ඒවා සමාජගත කරන්න කැමති නැහැ. ඒක උත්සාහයක් විතරක් වෙලා. මේන්ටේන් කරන්න කම්මැලිකමක් තියෙනවා . ඉඳ හිටලා දාන ඡායාරූප වලට එහෙම ලොකු ප්‍රතිචාර එනවා. මට හරි සතුටුයි ඒ වගේ ප්‍රතිචාර තවම ලැබෙන එක ගැන

ඔබේ පරම්පරාවේ නිවේදක නිවේදිකාවන් තවම ජනප්‍රිය එදා හදාගත් ප්‍රතිරූපය එක්ක. නිවේදන භූමිකාවේ බ්‍රෑන්ඩ් එකක් විදිහට තවම නාරද හදුන්වන්නේ. ඇත්තටම ඇයි වැඩක් නොකර ඉන්නේ..?

මගේ ක්‍රියේෂන් වැඩ කටයුතු කරගෙන යනවා. එකම දේ කරන්න අකමැත්තක් තියෙනවා. ඉස්සර වගේ රිස්ක් එකක් අරන් චැනල්වලින් හොඳ අලුත් වැඩසටහන් කරන බවක් පේන්නත් නැහැ. හොඳ ආරාධනාවක් ලැබුණොත් වෙනසක් එක්ක කරන්න මාව දකින්න ලැබෙයි. ඒ වගේම අපි ලෙජන්ඩ්ස් කියන ගොඩට දාලා අපේ අත්දැකීම් බෙදාගෙන උපදෙස් දෙන වගේ වැඩ වලට තමයි දැන් යොදා ගන්නේ. ඒ ලැබෙන ආරාධනාවලට නම් සම්බන්ධ වෙනවා.

යුරෝපා රටවල නම් තිරය ඉදිරියේ වැඩි ඉඩ ලැබෙන්නේ අත්දැකීම් බහුල වැඩිහිටි පරම්පරාවට. නමුත් ලංකාවේ නිවේදන කලාව තුළ තරුණ පරම්පරාව පමණක් භාවිත කිරිම් ගැන මොකද හිතන්නේ ..?

ඔව්. යුරෝපා රටවල අවුරුදු හැට හැත්තෑවේ අයත් නිවේදන කටයුතුවල නියැෙළනවා. නමුත් ගොඩවල් දෙකක් හදලා අලුත් පරණ කියන්න ඕන නැහැ කියන මතයේ මම ඉන්නවා. අලුත් පරණ කියලා නොබලා වැඩක් කරන්න පුළුවන් අයට ඉඩක් තිබ්බා නම් හොඳයි. මේ කලාව ඉදිරියට ගෙනියන්න අලුත් ජෙනරේෂන් එකක් ඕන. නමුත් චැනල් රැල්ලට යනවා. සිරස රිස්ක් එකක් අරන් අලුත් වැඩ හඳුන්වා දුන්නා. ඒවා බැණ බැණ වැඩිපුරම බලපු වැඩසටහන් බවට පත් වුණා. නමුත් දැන් එහෙම ඒවා බිහි වෙන්නෙ නැහැ. ප්‍රසිද්ධයි කියලා හිතලා අද හීනමානය තමයි කොහෙත් මාකට් කරන්නේ. ඉතිං අපි මොකද කරන්නේ.

තවම අපිව අහන්න ආසයි කියලා දැනෙන තැන් තියෙනවා. අපි කලාකරුවෝ විදිහට සම්බන්ධ වූ වැඩසටහන් යූටියුබ් ඔස්සේ පල කරද්දී ලොකු රීච් එකක් තියෙනවා. සමහර වැඩසටහන් ලක්ෂ ගණන් බලලා. ඒ කියන්නේ ඉල්ලුම තවම තියෙනවා

ඔය ඉල්ලුම එක්ක නාරද ඇයි යූටියුබ් චැනල් එකක් පටන් ගෙන තමන්ව මාකට් කරන්න උත්සාහ නොගන්නේ…?

එහෙම බලාපොරොත්තු කාලෙන් කාලෙට ආවා. විවිධ හේතු නිසා කල් ගියා. අලුත් වෙනසක් එක්ක ඒ වගේ වැඩකට අත ගහන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ ආදරණීය බිරිඳ රාගම වෛද්‍ය පීඨයේ එක් අංශයක අංශ ප්‍රධානි. ඇගේ රැකියාව ඔබේ රස්සාවට වඩා උතුම් කියල ඔබ ඔබේ ගමන නතර කරගත්තා කිව්වොත්..?

ඔව් එහෙම කියන්න පුළුවන්. මම පීක්ම කාලේ වැඩ ගොඩක් කළා. මහන්සි වුණා. දැන් හරි වැඩක් ලැබුණොත් කරනවා. බිරිද දිනුෂා බක්මීවැව වෛද්‍යවරියක්. ඇය රාගම වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානි විදිහට කාර්‍යබහුල ජීවිතයක් ගතකරනවා. සමහර දවස්වලට පාන්දර තුනේ ඉඳලා වැඩ. එයාට ඕන සේවයක් කරන්න. කරලා හොඳක් අහන්නත් නැහැ. සමහර වෙලාවට එයා ඇතැම් දේවල්වලින් මානසිකව විදවනවා මම දැකලා තියෙනවා. ඉතිං මම කියනවා කොච්චර කළත් වැඩක් නැහැනෙ කියලා. එයා ඒ වෙලාවට කියනවා කමක් නැහැ මම හරි දේ කළා නම් හරි කියලා එයා තෘප්තිමත් විදිහට රැකියාව කරගෙන යනවා. විදෙස් රටවල් වලින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන්න ආව අවස්ථා ඔක්කොම එයා අපේ රටේ දරුවන් වෙනුවෙන් කැප කරන්න ඕන කියලා මඟ හැරියා. ඒ නිසා එයාට නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දීලා පුළුවන් විදිහට එයාට හයියක් වෙලා ඉන්නවා. දරුවෝ ගෙදර කටයුතු ගැන මම ටිකක් වැඩිපුර බලනවා. මඟ හැරෙන අවස්ථාත් නැතුවම නෙමෙයි .

ඇයත් ඔබ වෙනුවෙන් ලංකාවට එන්නේ..?

එයා එංගලන්තයේ තමයි අධ්‍යාපන කටයුතු කළේ. අවුරුදු දහයක් විතර එහේ හිටියා. PHD එක ඉවර කරලා මම නිසා ලංකාවට ඇවිත් සෙට්ල් වුණා , ඇත්තටම කිව්වොත් මට වඩා එයයි කැපවීම කළේ. ඒ කාලේ මගේ පීක්ම කාලේ. ඒ වැඩ වෙන රටක ගිහිං කරන්න බැහැ ඔයා ලංකාවේ ඉඳලා වැඩ කරන්න ඕන කෙනෙක් කියලා එයා ලංකාවට ආවා. ආයේ ගියේ නැහැ .

ලංකාවේ බුද්ධිගලනය එක්ක දිනුෂාගේ බුද්ධියත් පිටරටක පාවිච්චි කරන්න දවස ළඟද..?

හොඳ අවස්ථා කිහිපයක් ආවා. තවම ඒ ආරාධනා තියෙනවා. ඕනෑම වෙලාවක විදෙස්ගත වෙන්න පුළුවන්. දවසක දිනුෂා කැමති වුණොත් දරුවන් ගැන හිතලා අපිත් විදෙස් ගත වෙයි.

දිනුෂා කියන්නේ ඔබේ හොදම මිතුරියක් දෙහිත්වල ආදරේ හිතුණාට ඒ ආදරේ ප්‍රකාශ කරන්න ලොකු කාලයක් ගත්තා කියන්නේ ඇත්තද..?

එයා මට වඩා අවුරුදු 10ක් බාලයි. එයා එංගලන්තයේ ඉන්න කාලේ ඉඳලා අපි හොඳ යාළුවෝ. නිතරම කතා බහ කරනවා. දෙන්නම දෙන්නට ආදරේ බව දැනුණත් ආදරේ ප්‍රකාශ කළේ නැහැ. ආදරේ ප්‍රකාශ කරලා අර යාළුකම නැති වෙයි කියන බය මට තිබුණා. අන්තිමට කොහොම හරි යාළුවෝ වගේ හිටිය අපිට විවාහ වෙන මට්ටමට ආදරේ වැඩි වුණා. දැන් අපි විවාහ වෙලා අවුරුදු 11ක් වෙනවා. තවම දෙන්නට දෙන්නා තේරුම් අරන් සතුටින් ජීවත් වෙනවා

කොහොමද තාත්තාගේ භූමිකාව..?

දැන් මම දරුවෝ තුන් දෙනෙකුගෙ තාත්තා කෙනෙක්. ලොකු පුතා අකේන්. එයාගේ වයස අවුරුදු 10ක්. දෙවැනියා යනික්. එයාට අවුරුදු හතරයි. තුන් වෙනි පුතා රුටෙල්. එයාට අවුරුද්දයි මාස දෙකයි. කොල්ලොම තුනක්. දඟකාරකම් එක්ක හරි සතුටින් ජීවත් වෙනවා. ජීවිතේ විඳිනවා කියන්න පුළුවන්. එයාලට අම්මා එක්ක වැරදි කරන්න බැහැ. මම තමයි ඒ දඟවැඩවල බේරුම්කාරයා. පුතාලා ශේප් එකේ මා ළඟට එනවා. ඒ අත්දැකීම් හරි ලස්සනයි.

තාත්තා රූපවාහිනීයේ ඉන්නෙ ඇයි කියලා පුතාලා නොතේරුම්කමට අහලා ඇති ..? ඒ ගැනත් කියලා මේ කතාබහට සමු දෙමු..?

ගෙදර ටිවි එක දාන්නෙ අධ්‍යාපන වැඩසටහන් බලන්න විතරයි. ඒත් කොහෙන් හරි මම ඉන්න වැඩසටහනක් දැක්කොත් ලොකු පුතා අහලා තියෙනවා ඇයි තාත්තී ටීවී එකේ ඉන්නෙ කියලා. එයාට ක්ලියර් පික්චර් එකක් නැහැ මම කවුද මොනවද කරන්නේ කියලා. නමුත් ලොකු පුතා නම් එක එක විදිහට ප්‍රතිචාර දක්වනවා. අනිත් දෙන්නා තවම නොතේරෙන වයස්වල ඉන්නේ.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division