Home » ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ණය ප්‍රතිව්‍යුහගතකරණය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ණය ප්‍රතිව්‍යුහගතකරණය

by sachintha
April 20, 2024 12:54 am 0 comment

අධිවේගී මාර්ගයන්ගෙන් වාර්ෂිකව ලැබෙන ලාභය බිලියන 5කි. එහෙත් අධිවේගී මාර්ග වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදල බිලියන 800කි. ඒ අනුව වසරකට බිලියන 5ක් බැගින් ගෙවීම් කළහොත් වසර 160ක් එම ණය ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කඩාවැටීම හමුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසරේ සිට ආරම්භ කරන ලදි. ණය ප්‍රතිව්‍යුහගතකරණය හා මෙරට ආර්ථිකයේ ගමන් මඟ කෙසේ සිදු විය යුතුද? මෙරට සිටින එකම ආර්ථික විද්‍යා මහාචාර්ය හිමියන් වන සණස විශ්වවිද්‍යාලයේ උපකුලපති හා ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන නා හිමියන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන හා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ රූපවාහිනි නාළිකාවකදී පැවසූ අදහස් ඇසුරින් මේ ලිපිය සකසා ඇත.

එහිදී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන එම වැඩසටහනට සහභාගි වූයේ ආර්ථික විද්‍යා විශ්ලේෂකයකු ලෙසිනි.

රටක් ලෙස ණය ගැනීමෙහි කිසිදු ගැටලුවක් නැත. එහෙත් එහිදී ගැටලු මතු වන්නේ එම ණය ඉහළ ඵලදායී සහිත අංශයන්හි ආයෝජනය නොකළහොත්ය.

අපට ණය ගෙවීමට නොහැකි තරමට රට පත්වූයේ ඇයි? අද වන තුරුත් අපේ ආර්ථිකය රඳාපවත්වා ගන්නේ සංචාරක ව්‍යාපාරය, අතීතයේ සිට පවත්වා ගත්තේ, රබර්, පොල් අපනයනය හා 90 දශකයේ සිට ආරම්භ කළ ඇඟලුම් කර්මාන්ත ඔස්සේ පමණකි. එසේම රජ කල සිට පැවත ආ කුළුබඩු අපනයනයෙන්ද යම් ආදායමක් උපයා ගැන්මට හැකිව ඇත.

මෙරට සිට විදේශීය රැකියා පිණිස ගොස් සිටින අය මෙරටට පැමිණ මෙරට ආයෝජනය කිරීමට මැළිකමක් දක්වයි. එසේ විශ්‍රාම ගොස් සිටින අය හා විදේශයන්හි සේවය කරන අය මෙරට ආයෝජනය කරන්නේ නම් මෙරටට ගෙවන්නට ඇති ණය ගෙවීම අපට ගැටලුවක් නොවනු ඇත. අපට ණය ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය වන්නේ නැත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ගෙවා ගැනීමට නොහැකි වූ ණය ක්‍රමානුකූලව ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගැනීමය. ඒ සඳහා ණය ලබා දුන් පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන අතර, එහිදී අප ලබාගත් ණය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදා වෙන් කළ හැකිය. එහි පළමු වැන්න වෙළෙඳ පොළෙන් ලබාගත් ණය වන අතර, දෙවැන්න ජපානය, ඉන්දියාව, චීනය වැනි රටවලින් ලබා ගත් ද්වි පාර්ශ්වීය ණයයි. තුන්වැන්න ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ලබාගත් බහු පාර්ශ්වීය ණයයි.

එවන් තත්ත්වයක් මත අප තීරණය කළ යුත්තේ අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කර ගන්නවාද නැද්ද යන්න ගැනය. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අප අත්සන් කළ ගිවිසුම නිසා ‘යාන්තම් හුස්ම ගත හැකි’ ශ්‍රී ලංකාවක් නිර්මාණය වී ඇත. වසර දෙකකට පෙර එනම් 2022 වසරේ ආර්ථිකය ඍණ වී පැවතුණු තත්ත්වය අප අමතක නොකළ යුතුය.

අපේ විදේශ සංචිත බිංදුවටම හිඳී ගියේය. ඒ හරහා සිදුවූ විශාලම ව්‍යසනය වූයේ අපට ණය ගෙවා ගැනීමට නොහැකි වීමයි. මේ තත්ත්වය උදාවීමෙන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට ආර්ථිකය ශක්තිමත් කර අපට විසඳුමක් සොයා ගත හැකි ආකාරයේ අන්තර්ජාතික අයදුම්පත් කැඳවන ලදී.

ලෝකයේ ණය ගෙවා ගැනීමට නොහැකි රටවල් ඒ ලෙසින් කටයුතු කිරීම සිදු වේ. ඒ අනුව මෙරට ආර්ථිකයට විසඳුම ලබාදීමට කැඳ වූ අයදුම්පත් 28ක් ලැබී තිබුණු අතර එයින් 20ක් සුදුසුකම් ලැබූවන් විය. ඒ අවස්ථාවේදී සුදුසුම සමාගම තෝරා ගැනීම පිණිස කැබිනට් අනුකාරක සභාවක් පත් කරන ලදි. එම අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස නීතිය මහාචාර්යවරයකු වන ජී.එල්. පීරිස් පත්කළ අතර කරුණු අධ්‍යයනයෙන් අනතුරුව ප්‍රංශයේ ලසාඩ් සමාගම තෝරාගන්නා ලදි.

එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කළ යුතු බවට වූ නිර්දේශ අනුව අප කටයුතු කිරීමට සූදානම් වූ අතර අප විසින් ණය නොගෙවා සිටීම නිසා අ‍ෙමරිකා එක්සත් ජනපදයේ හැමිල්ටන් උසාවියේ මිලියන 250ක නඩුවක්ද පවරන ලදි. එවැනි නඩුවලට අපට පෙනී සිටීමට අත්දැකීම් ඇති නීතිඥයන් නොමැති නිසා අත්දැකීම් ඇති නීතිඥ සමාගමක් වන ක්ලිෆර්ඩ් හාන්ස් සමාගම ඒ වෙනුවෙන් යොදවන ලදි. මේ එකල අප පත්වූ අපහසුතාවයන්ය.

ඊට අමතරව අප විසින් ගෙවිය යුතු ණය පිළිබඳව ඉන්දීය ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා සමඟ වත්මන් ජනාධිපතිවරයා සාකච්ඡා කරන ලදි. එසේම චීනයට චීන අගමැතිවරයා සමඟද එලෙසින්ම සාකච්ඡා කරන ලදි.

එසේම බහු පාර්ශ්වික ණය වන ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ආදී ණය ගෙවීම් සිදු කරමින් පවතී. අනෙක් ණය ගෙවීම් සම්බන්ධව එකඟතා ඇති කරගෙන යාම් සිදු කෙරේ.

වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව අපි ඇති කරගෙන තියෙන ගිවිසුම අනුව ණය ගෙවීම ආරම්භ කිරීමෙන් පසු පළමු අවුරුදු 5 -6 ඇතුළත ගෙවන්නේ මේ වන විට ගෙවීමට නොහැකිව ඇති ණය මුදලෙන් 37%ක් පමණකි. අවුරුදු 6 සිට තවත් අවුරුදු 20 දක්වා ගෙවීමට සිදු වන්නේ ණයවලින් 51%ක් පමණකි. ඉතිරි ණය මුදල වන 12%ක මුදල ගෙවීම සිදු වෙන්නේ වසර 20කින් ද පසුවය.

ඒ අනුව වසර 2048 වන විට කවුරුන් ජනාධිපති ධුරය හෙබවුවද කවුරුන් ආණ්ඩු කළද මේ එකඟතාවයන්ගෙන් දශමයක් හෝ වෙනස් කළ නොහැකිය. එසේ වෙනස් කළහොත් අපට රටක් වශයෙන් ඉදිරියට යා නොහැකි වනු ඇත. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට සම්බන්ධව කටයුතු කළ ප්‍රධානියා මෙරටින් පිටව යාමට පෙර ‘ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මාවත වැටී ඇත්තේ පිහිතල ඇතිරූ මාවතක බව ‘පවසා සිටියේය.

අපේ රටට අතිවිශාල ධනස්කන්දයක් උපදවිය නොහැකිය. පෝට් සිටිය යනු අ‍ෙමරිකන් ඩොලර් බිලියන 1.4ක් වන අතර හම්බන්තොට වරාය විකිණීමෙන් උපයා ගෙන ඇත්තේද බිලියන 1.4ක් පමණි. එවන් තත්ත්වයක් යටතේ රට ණය බරින් ටිකෙන් ටික හෝ අඩු කිරීමට පියවර ගත යුතුය.

අධිවේගී මාර්ග අපට ඉතා පහසු හා අත්‍යවශ්‍ය වන නමුත් එය තවත් මහා ණය කන්දකි. එම නිසා අධිවේගී මාර්ග සහස්‍යා ආයෝජන සමාගමට පවරන ලදී. අධිවේගී මාර්ගයන්ගෙන් ලාභ ලබන බව සැබෑය. වාර්ෂික ලාභය බිලියන 5කි. එහෙත් අධිවේගී මාර්ග වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදල රුපියල් බිලියන 800කි. ඒ අනුව වසරකට බිලියන 5ක් බැගින් ලැබෙන ලාභයෙන් ගෙවීම් කළහොත් තවත් වසර 160ක් එම ණය ගෙවිය යුතුය.

තේ අපනයනයෙන් අපට උපරිම වශයෙන් ලැබිය හැක්කේ බිලියන 1.3කි. රබර් හා පොල් අපනයනයෙන් බිලියනයක් බැගින් බිලියන 2ක් උපයා ගැන්මට හැකියාව තිබේ. එවන් තත්ත්වයක් තිබියදී අප කළ යුත්තේ නවෝත්පාදන හා තාක්ෂණික අංශයන්ට යොමුව කටයුතු කිරීමය.

මේ නිසා මේ වන විට ගෙවීමට ඇති ද්වි පාර්ශ්වික හා වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසියාකාරව ක්‍රමවේදයක් අනුව සිදු කළ යුතුමය. එසේ නොවුවහොත් වන විනාශයන් ගැන අපට ලතින් අ‍ෙමරිකානු හා අප්‍රිකානු රටවලින් දැකගත හැකිය. ණය අර්බුදයන්ට ලක් වුණු එම රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන අප අවධානය යොමු කළ යුතුය.

1980 වසරේ සිට 2022 වසර දක්වා වන වසර 32ක කාල සීමාව තුළදී ණය ප්‍රතිව­්‍යුහගත කිරීම් 433ක් සිදු කර ඇත. ඒ උදෙසා රටවල් 95ක් සම්බන්ධ වී ඇත. ඒ අනුව ඇතැම් රටවල් අවස්ථා 4ක් 5ක් පමණ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කර ඇත. මෙක්සිකෝව, චිලී රටවල් දෙක පමණක් පළමු ප්‍රතිව්‍යුහගත කිරීමෙන්ම ආර්ථිකය සවිමත් කර ගන්නට හැකියාව උදා කර ගන්නා ලදී.

නමුත් ආජන්ටිනාව අවස්ථා 5කදී ණය ප්‍රතිව්‍යුහගත කර ඇත. බ්‍රසීලය අවස්ථා 2කදීද, වෙනිසියුලාව අවස්ථා 6ක්ද ඉක්වදෝරය අවස්ථා 5කදීද ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ඇත.

එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යනුවෙන් නොසිතා ආර්ථික විද්‍යා මූලධර්ම ලෙස සලකා අපට ණය අර්බුදයෙන් ගොඩ ඒමට හැකි ක්‍රමවේද ගැන අප අවධානය යොමු කළ යුතුය.

අපට දිගින් දිගටම ගෙවුම් ශේෂ හිඟ රැගෙන යා නොහැකිය. ණය අර්බුදයකට පත්වීමෙන් පසුව ඒ රටේ ආනයන අපනයන පමණක් නොව සමස්ත ආර්ථිකයටම එයින් විශාල හානියක් සිදු වේ. විදේශ රටවලින් එම රටේ බැංකු පද්ධතිය පිළි නොගැනීම නිසා ණයවර ලිපි විවෘත කිරීමේදී ගැටලු මතු වේ. එමෙන්ම එම රටේ සමාගම්වල එතෙර ආයෝජනය සිදු කිරීමට ගැටලු මතු වේ. එමෙන්ම ආයෝජකයන්ගේ නොපැමිණීමෙන් ආර්ථිකය තවත් බිඳ වැටේ.

එම නිසා ආර්ථික විද්‍යාත්මකව ණය අර්බුදයට මුහුණ දිය යුතුය. මේ වැඩසටහන කිසිසේත්ම ආපසු හැරවිය නොහැකිය. එසේ උත්සාහ කළහොත් 2022 වසරටත් වඩා වැඩි අාගාධයකට අප ඇද වැටෙනු ඇත. ඉදිරි අවුරුදු 5 ඇතුළතදී ආජන්ටිනාවක් බිහි වනු ඇත. එමෙන්ම මෙහිදී විශේෂයෙන්ම පෙන්වා දිය යුත්තේ එවන් තත්ත්වයකට පත්වන විට රටේ ශ්‍රමය අපට අහිමි වීමයි. මේ වන විටත් රටේ තරුණ පිරිස් ක්‍රමයෙන් විදෙස්ගත වන තත්ත්වයක්ට පත්ව තිබේ. අවසානයේ ඉතිරි වන්නේ කිසිවක් කර කියා ගත නොහැකි එතෙර ගොස් රැකියාවක් කර ගත නොහැකි මිනිසුන් පිරිසකි. ලතින් අ‍ෙමරිකානු හා අප්‍රිකානු රටවල මේ තත්ත්වය උදා වී තිබේ.

අපේ රටේ ආර්ථිකය මෙතරම් පහළට වැටුණේ රාජ්‍ය සේවාවේ අතිවිශාල පිරිස් නඩත්තුව, වැඩි ගණනට ඉන්ධන රැගෙන විත් අඩු මිලට ලබා දීම, වැනි සාධක නිසාය.

රාජ්‍ය ආදායමද එතරම් ඉහළ මට්ටමක නොපවතී. උදාහරණයක් ලෙස 2022 වසරේදී රජයේ මුළු බදු ආදායම මිලියන 1751ක් වන අතර රාජ්‍ය සේවාව වෙනුවෙන් මිලියන 1265ක්ද සහනාධාර ලෙස මිලියන 506ක්ද වැය කළ විට අය වැය හිඟයක් පවතී.

2023 වසරේදීද සියලුම මාර්ගවලින් රජයට ලැබුණු ආදායම ට්‍රිලියන 3ක් වන අතර වියදම ට්‍රිලියන 4ක් බවට පත් විය.

ඒ තත්ත්වය අනුව යම් සහනාධාරයක් ලබා දෙන්නේ නම් ඒ සඳහා ආදායම් එන මාර්ගයක් තිබිය යුතුය.

ඕනෑම අයකුට ඕනෑම සහනයක් ලබා දෙන බව පැවසිය හැකිය. එහෙත් ගැටලුව වන්නේ කිසිදු අයෙක් තමන්ගේ පෞද්ගලික බූදලයෙන් කිසිවක් ලබා නොදීමයි. ඒ සඳහා බදු ආදායම ඉහළ නැංවිය යුතු වේ. උදාහරණයක් ලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර කිහිපයකට පෙර මෙන් 15%ක පොලී අනුපාතයක් ලබා දිය යුතු බවට මතයක් සමාජයට ගෙනැවිත් ඇත. ඒ වෙනුවෙන් වැට් බද්ද 1%කින් වැඩි කළ යුතු වේ. මේ සත්‍ය ජනතතාවද තෙරුම් ගත යුතු වේ. වෙනත් රටවල බදු ආදායම වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක් තරම් වන ප්‍රමාණයකි. එහෙත් අපේ රටේ එවැන්නක් දක්නටවත් නැත. ඉතිහාසය පුරාම දකින්නට ඇත්තේ ‘3.50ට පාන් දෙන්නම්’, ‘රුපියල් 10,000කින් වැටුප් වැඩි කරන්නම්’, ‘ස්ථාවර ගිණුමට රුපියල් 25,000ක් දමන්නම්’ වැනි රට බංකොලොත්භාවයට පත්වන කතාවන්ය.

මෙවන් තත්ත්වයක් යටතේ අපි උපරිම වේගයෙන් ගමන් කළද මේ ණය අර්බුදයත් සමඟ අපට ඒක පුද්ගල ආදායම ඩොලර් 13000කට වැඩි කළ නොහැකිය. ඉන්දියාව මේ වන විට සැලසුම් කර ඇති ආකාරයට එම ආදායම ඩොලර් 26000ක් දක්වා ඉහළ නංවා ගනිමින් සිටී. එමනිසා ඉදිරියේදී ‘ඉන්දියානු ජනතාව මෙරටට අඩු වැටුපට පැමිණේවි’ යන්න අප බැහැර කළ යුතු කරුණකි. අපට අවශ්‍යව ඇත්තේ නිවරැදි නායකත්වයක් හා බුද්ධිමත් ජනතාවක් පමණකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division