Home » EDGE ව්‍යාපෘතිය තුළින් ආදර්ශමත් ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකට ඇගයුම්

EDGE ව්‍යාපෘතිය තුළින් ආදර්ශමත් ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකට ඇගයුම්

by sachintha
April 20, 2024 12:54 am 0 comment

British Council මෑතකදී Child Fund Sri Lanka සමග එක් වී ශ්‍රී ලාංකික කාන්තාවන් තම ප්‍රජාවන් තුළ අත්කරගෙන ඇති විශේෂ ජයග්‍රහණ ඇගයීම සඳහා විශේෂ තරගයක් සංවිධානය කළේ ය. මෙහිදී එම ආදර්ශමත් කාන්තාවන් හඳුනාගෙන ඔවුන් ඇගැයීමට ලක්කිරීම සඳහා ගැහැනු දරුවන්ට අවස්ථාව ලබාදෙන ලදී. English and Digital for Girls’ Education (EDGE)ව්‍යාපෘතියේ කණ්ඩායම් නායිකාවන් සහ සාමාජිකාවන් වෙනුවෙන් සැලසුම් කරන ලද මෙම තරගයේ අරමුණ වූයේ, එබඳු ආදර්ශමත් චරිත බවට පත්වීම සඳහා මෙම ගැහැනු දරුවන්ද දිරිගැන්වීම ය.

තරගයේ සම්මාන උළෙල 2024 මාර්තු 22 දින කොළඹ ටවර් හෝල් රඟහලේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින EDGE සාමාජිකාවන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂාංග පෙළක් ඊට ඇතුළත් වූ අතර, සමාජයට කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළ කාන්තාවෝ පිරිසක් එහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ. ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත විලාසිතා නිර්මාණ ශිල්පිනිය ලෙස සැලකෙන නයනා ආශ්චර්යා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

දැරියන් විසින් තෝරාගන්නා ලද ආදර්ශමත් කාන්තාවන් අතරට මවුවරුන්, සහෝදරියන්, වෛද්‍යවරියන් සහ ගුරුවරියන් ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් කාන්තාවෝ ඇතුළත් වී සිටියහ. එමෙන්ම එම දැරියන් විසින් 4 දෙනා බැගින් වූ කණ්ඩායම් වශයෙන් එක් වී එම ආදර්ශමත් කාන්තාවන් නිරූපණය වන පෝස්ටර්ද නිර්මාණය කරන ලද අතර, මෙම පෝස්ටර් අතරින් සමාජ, දිස්ත්‍රික් සහ ජාතික මට්ටම්වලින් ජයග්‍රාහී පෝස්ටර් තෝරාගන්නා ලදි.

“මෙම තරගයේදී ආදර්ශමත් කාන්තාවන් ලෙස තෝරාගනු ලැබූ සහ ඇගයීමට ලක් වූ කාන්තාවන් සියලුම දෙනාට මගේ උණුසුම් සුබපැතුම්! ඔවුන්ගේ මෙහෙවර අගය කරන සහ ප්‍රජාවන් තුළ ඔවුන්ගේ භූමිකාවේ වැදගත්කම අවධාරණය කරන මෙවැනි වැඩසටහන් වලට දායක වීමට ලැබීම අප ලද ගෞරවයකි. EDGE ව්‍යාපෘතිය මේ වනවිට ගැහැනු දරුවන්ට බලපාන ගැටලු විවෘතව කතා කිරීමට සුරක්ෂිත අවකාශයක් බවට පත් වීතිබීම සතුටට කරුණක්. එමෙන්ම එය ඔවුන්ට තම ජීවිත සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීමට හැකි වන ආකාරයට ඔවුන් සවිබල ගන්වමින්, ඔවුන් සිහින දකින අනාගතය උදාකර ගැනීමට ඔවුන්ට අත්වැලක් වෙමින් තිබෙනවා.” ශ්‍රී ලංකාවේ British Council හි අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.

“English and Digital for Girls’ Education (EDGE) ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ British Council සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ ගැහැනු දරුවන් අතර ඉංග්‍රීසි භාෂාව, ඩිජිටල් දැනුම සහ සමාජයීය කුසලතා නංවාලීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා.” Child Fund Sri Lanka හි මෙරට අධ්‍යක්ෂිකා අදිති ඝෝෂ් මහත්මිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින ප්‍රජාවන්ට අයත්, වයස අවුරුදු 13 ත් 19 ත් අතර ගැහැනු දරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා EDGE ව්‍යාපෘතිය 2023 වසරේ සිට උත්සාහ දරමින් සිටී. ගැහැනු දරුවන් මුහුණදෙන බාධක අවම කිරීම, ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ ඔවුන්ට හිමිවන අධ්‍යාපනික, සමාජයීය හා ආර්ථික අවස්ථා පුළුල් කිරීම මෙහි අරමුණයි. මේ වනවිට නුවරඑළිය, පුත්තලම, කොළඹ(කොම්පඤ්ඤවීදිය), මොණරාගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල EDGE ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. ප්‍රජා මූලික සමාජයන් හරහා මේවන විට ගැහැනු දරුවන් 720කගේ සහ කණ්ඩායම් නායිකාවන් 60 දෙනෙකුගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන්, ඩිජිටල් කුසලතා, සමාජයීය දැනුම සහ නායකත්ව කුසලතා වර්ධනය කරවීමට මෙම ව්‍යාපෘතිය සමත් වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division