Home » ටික් – ටොක් අපට නොදැනී අප ගැන සොයනවාද

ටික් – ටොක් අපට නොදැනී අප ගැන සොයනවාද

-ටික් ටොක් ByteDance සමාගම විසින් අවභාවිත කිරීම නැවැත්වීම සඳහා පියවර ගත යුතුයි

by sachintha
April 20, 2024 12:53 am 0 comment

මේදිනවල කවුරුත් සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳව කතා කරනු දක්නට ලැබෙයි. එසේ කතා කරන්නේ ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය යම් නියාමනයකට ලක්කිරීම සම්බන්ධව කටයුතු කරන මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත රජය විසින් සම්මත කිරීම නිසාය. එහෙත් ලොව බොහෝ රටවල් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඉතා තියුණු සැලකිල්ලක් යොමු කරනු දක්නට ලැබෙන අතර සමාජ මාධ්‍ය නියාමනය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධව සමාජ කතිකාවන් ගොඩනැඟෙනු ද දක්නට ලැබෙයි. විශේෂයෙන් අමෙරිකා එක්සත් ජනපදය පවා ඒ පිළිබඳව අවධානය වැඩි වශයෙන් යොමු කළ අතර ටික් ටොක් සමාජ මාධ්‍යය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

2016 දී බෙයිජිං හි මව් සමාගමක් වන බයිට්ඩෑන්ස් (ByteDance) විසින් ආරම්භ කරන ලද ටික් ටොක් එක රැයකින් ජනප්‍රිය වූ විනෝදාස්වාදය ලබාදෙන සමාජ මාධ්‍යයක් ලෙස පෙනුණද එය වසර ගණනාවක් තිස්සේ මියුසිකල්. ලී (Musical.ly) නමැති උපාංගය හරහා වීඩියෝ හුවමාරු කිරීමේ සමාජ වේදිකාවක් වශයෙන් පැවතුණි. මෙය මුලින්ම චීනයේ ජෙ ඉසෙඩ් භාවිත කරන්නන් අතර ක්‍ෂණිකව ජනප්‍රිය වූ සමාජ ජාලයක් විය. මෙය උතුරු අමෙරිකාවේ සහ යුරෝපයේ ආරම්භ වූයේ 2017දී ය. 2018 වසර වන විට ටික්ටොක් හි මාසික සක්‍රිය පරිශීලකයින් මිලියන 55 ක් සිටියහ. මේ වන විට එය බිලියන දෙකේ සීමාවට පැමිණ තිබේ.

ටික් ටොක් ගැන බොහෝ දෙනෙක් හරියට දන්නේ නැත. විවිධ මතවාද එළියට එන්නේ ඒ නොදැනුම්වත්භාවය නිසාය. එනිසා ටික් ටොක් ගැනත් එහි විවිධ පරාස ගැනත් අධ්‍යයනය කළ යුතුව තිබේ. ටික් ටොක් කලාවක් කර ගැනීමත්, විකලාවක් කර ගැනීමත් ඇත්තේ එය භාවිත කරන්නා අතය. මෙම ටික් ටොක් යෙදවුම ලොව පුරා බිලියන දෙකකට ආසන්න ජනතාවක් අතට පත්ව ඇති අති විශාල හා සාර්ථක ව්‍යාපෘතියකි. මෙමඟින් ලොව පුරා සිටින ජනතාව සමඟ තම නිර්මාණ සාර්ථකව බෙදා හදා ගැනීමේ අවස්ථාවක් විවර කර දී තිබේ.

නමුත් ගැටලුව වන්නේ එහි වත්මන් තත්ත්වය විමසා බලන විටය. සත්‍ය වශයෙන්ම සමාජ මාධ්‍ය තුළ චීන ව්‍යාපෘති සඳහා තමන්ගේ දත්ත භාවිත කරනවාද යන කාරණයවත් නොදැන අප විසින් අපේ සියලු පෞද්ගලික දත්තයන් අද වන විට ටික් ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ සමාගම්වලට ලබාදෙමින් තිබීමය. මෙනිසා ටික් ටොක් හිමිකාරීත්වය දරන ByteDance සමාගම විසින් සිය පරිශීලකයින්ගේ දත්ත අවභාවිත කිරීම වහාම නැවැත්වීම සඳහා පියවර ගත යුතු අතර එසේ අවභාවිත කිරීමට නොහැකි වන ලෙස නීති සැකසීම සඳහා සියලුම රාජ්‍යයන් විසින් ද කටයුතු කළ යුතුව ඇත. මේ සම්බන්ධව වර්තමානයේ දැඩි ලෙස ප්‍රතිචාරය දක්වන ලද්දේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන් කොංග්‍රස් මණ්ඩලය විසින් ටික් ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන කෙටුම්පත දේශපාලන භේදයකින් තොරව ඒකමතිකව සම්මත කිරීමට පියවර ගත්තේය.

මෙරට බොහෝදෙනා මෙම යෙදවුම හරහා ජනප්‍රිය වීමට භාවිත කරන්නේ තම නිර්මාණශීලී හැකියාව නොව නිරුවත හා අඩ නිරුවත ප්‍රදර්ශනය කරන නර්තනයන් හා රඟ දැක්වීම්ය. තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් ප්‍රදර්ශනය කිරීම යනු එලෙස හෙලුව පෙන්වීම නොවේ. ඒවා බැලීමට අවැසි අයට ඒ සඳහා ඕනෑතරම් මාර්ග තිබේ.

එනිසා මෙම යෙදවුම විශිෂ්ට විනෝදාස්වාද සපයන වේදිකාවක් ලෙස කැපී පෙනීමට අමතරව බොහෝ මතභේදාත්මක සමාජ ජාලයක් ලෙස ද ඉදිරියට පැමිණ තිබේ. බොහෝ රටවල මෙම යෙදුවුම භාවිත කරන්නන්ගෙන් සියයට 80 පමණ නව යොවුන්වියේ හා යොවුන්විය නොඉක්ම වූ අයවලුන් වීම කැපී පෙනේ. මෙනිසා ඔවුන් තම ගිණුමට බොහෝදෙනා ආකර්ෂණය කර ගැනීම සඳහා නිරුවත් අඩ නිරුවත් වීඩියෝ මෙන්ම ලිංගික ආශාවන් ඇති කරන කතා හා අභිනයන් දැක්වීමට පෙලඹී සිටිති. මෙමඟින් සජීවීව ඔවුන් හා සම්බන්ධ විය හැකි නිසා ඇතැම් ලිංගික ශ්‍රමිකයින්ට මෙය තම වෘත්තිය කර ගැනීමට මාර්ගයක් බවට පත්ව ඇත. විවිධ සමාජ ගැටලු රාශියක් ද මේ නිසා පැන නැඟී ඇත. එසේම කොවිඩ් තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල ජනතාව නිවාසවල සිරවී සිටින අවස්ථාවේ ඔවුන් තම ආතතිය මුදා හැරීම සඳහා ද මෙම යෙදවුම යොදාගෙන තිබුණි. එසේ වුවත් වයස අවුරුදු 13ට වැඩි ඕනෑම කෙනෙකුට මෙය පරිහරණය කළ හැකි බැවින් බාල වයස්කාර දැරියන් ලිංගිත අතවරයන්ට ලක්වූ අවස්ථාද වාර්තා වී තිබේ. මීට එල්ල වී ඇති අනෙක් චෝදනාව වන්නේ ආබාධ සහිත පුද්ගලයින්ට වෙනස් කොට සැලකීමත්, ඔවුන්ගේ වීඩියෝ දින නියමයක් නොමැතිව සඟවා තැබීමත්ය. එවැනි අවස්ථා කිහිපයක් ද වාර්තා වී තිබේ. මෙකී හේතු නිසා මෙම යෙදුම විවිධ රටවල්වල වාරණය කර ඇත. ඉන්දුනීසියාව, බ්‍රසීලය, එක්සත් ජනපදය, කුවේට් සහ ඉන්දියාව ඒ අතර ප්‍රධානය.

ටික් – ටොක් මෘදුකාංගය භාවිතය ජනප්‍රියභාවයත් සමඟ එය චීන ආණ්ඩුව සමඟ සම්බන්ධතාවක් දක්වන බවට චෝදනා එල්ල විය. සිය ගනුදෙනුකරුවන්ගේ තොරතුරු චීන රජය ලබාගන්නා බවට අමෙරිකා එක්සත් ජනපදය චෝදනා කළේය. ඒ අතර අමෙරිකානු සෙනෙට් සභිකයන් ද විය. ඔවුන් ටික්-ටොක් සමාගම සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කර එය නවතා දැමීමට පියවර ගත්තේ ඉන් අනතුරුවය.

ෆේස්බුක්වලට වඩා ක්ෂණිකව ටික් ටොක් උපාංගය ජනප්‍රිය වීමට පටන්ගෙන ඇති අතර ළමුන්ගේ තොරතුරු අනිසි ලෙස පරිහරණය කර ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ තොරතුරු කොමසාරිස් එලිසබත් ඩෙනම් හෙළි කළාය. මෙනිසා මෙම උපාංගය ඇතැම් රටවල දේශපාලනඥයන්ගේ බරපතළ අවධානයට යොමුව තිබේ. චීන ජාතික සමාගමකට (Bytedance) අයිති මෙම ඇප් එක (App) තම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ඔවුහු සැක පළ කරති. මේ වන විට ඉන්දියානු රජය විසින් එරට ස්වෛරීභාවය, ආරක්ෂක තත්ත්වය සහ මහජන සාමය යන හේතුන්ට හානියක් වීමේ අවදානම සලකමින් TikTok, WeChat, Cam Scanner ඇතුළු චීන ජංගම යෙදුම් (Mobile Apps) 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට තීරණය කළේය. මෙම සිදුවීම ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක් වූ ප්‍රවෘත්තියක් බවට පත් විය. මේ වන විට ටික්-ටොක් හඳුන්වා දුන් චීන සමාගමේ ආදායම ඩොලර් බිලියන 75කට අධික බවට ඇස්තමේන්තු කර තිබේ.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division